යුගාත්‍රා – සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව
චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිංහල සිනමාපටය, “ යුගාත්‍රා (Yugathra) ” දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. මෙරට සිනමාවෙන් එතරම් දැකගත නොහැකි Psychosocial Thriller ශානරයේ චිත්‍රපටයක් වන මෙය, ආදරය සහ ප්‍රේමය කැටි කොටගත් කතා තේමාවක් ඔස්සේ දිවයන අපූරු නිර්මාණයක්.
අධ්යක්ෂණයට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ද චන්න පෙරේරා විසින්මයි. යුගාත්‍රා හි ප්‍රධාන කාන්තා චරිත ද්විත්වය සඳහා මාෂි සිරිවර්ධන සමඟින් අසන්කි ද සිල්වා එකතු වී තිබෙනවා. මෙය මාෂි සිර්වර්ධනගේ තුන්වන චිත්‍රපටය වන අතර අසන්කි ද සිල්වා සම්බන්ධ වන දෙවන වෘතාන්ත සිනමාපටයයි.
මෙම සිනමාපටය චන්න පෙරේරාගේ සෙසු නිර්මාණවලට වඩා බෙහෙවින්ම වෙනස් කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන්නක්. තරුණයෙකු සහ ඔහුට ප්‍රේම කරන කාන්තාවන් දෙදෙනෙකු මැදිවූ තුන්කොන් ආදර කතාවක් යුගාත්‍රා සිංහල සිනමාපටයෙන් ඔබට නරඹන්නට පුලුවන්.
ආදරය මුසුවුනු ප්‍රේමණීය සිනමාපටයක් වුවත්, වසර 30කට අධික කාලයක් තිස්සේ නොවිසඳුනු අබිරහසක් ගැන කතාවකුත් ‘යුගාත්‍රා’ හි ගැබ්ව තිබෙනවා. එනිසාම, romantic චිත්‍රපට රසිකයින්ට මෙන්ම Thriller | Mystery නිර්මාණවලට ආශක්ත වුනු ප්රේක්ෂකයින්ටත් යුගාත්‍රා හොඳින්ම ගැළපේවි.
යුගාත්‍රා සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නගරයේදී පැවැත්වුනු අතර ඊට එරට සිටින ලාංකිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී තිබුනා. යුගාත්‍රා නැරඹූ ඔවුන් සියලු දෙනාම පැවසූයේ චිත්‍රපටය ගැන බොහොම ධනාත්මක ප්‍රතිචාරයක්. ඉන්පසුව පසුගිය පෙබරවාරි 14 වනදා ආදරවන්තයින්ගේ දිනයේදී, කොළඹ CCC පරිශ්‍රයේදී යුගාත්‍රා පූර්ව ප්‍රචාරකපටය සහ ගීත එළි දැක්වීමේ උළෙලක්ද සංවිධානය කර තිබුනේ චිත්‍රපටයේ රඟපෑ නලු නිළියන්ගේ සහභාගීත්වයෙන්…!
යුගාත්‍රා හි නිල පූර්ව ප්‍රචාරකපටය පහත සබැඳිය තුළින් නරඹන්න
චන්න පෙරේරා නිරූපණය කරන්නේ මෙහි ප්‍රධාන භූමිකාව වන විසල් නැමැති චරිතයයි. අසන්කි ද සිල්වා විසින් එරන්දිගේ චරිතයත්, මාෂි සිරිවර්ධන විසින් සමාධිගේ චරිතයත් රඟ දක්වනවා.
මීට අමතරව සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ දක්ෂ නලු නිළියන් රැසක් යුගාත්‍රා තුළින් ඔබට දැකගත හැකියි.
චිත්‍රපටයේ කතාව සහ තිරපිටපත රචනා කර තිබෙන්නේ ද අධ්‍යක්ෂකවරයා විසින්මයි. ශබ්ද පරිපාලනය සිදු කොට තිබෙන්නේ සශික රුවන් මාරසිංහයි. කාවින්ද කොළඹගේ වර්ණ සංයෝජනයෙනුත්, කවිත සල්ගාදු පරිගණක දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණයෙනුත් මීට එක්ව තිබෙනවා.
යුගාත්‍රා හි සංස්කරණ කටයුතු සිදු කරන්නේ සරිගම, A Level, මහරජ අජාසත්, එක දවසක අපි, Goal, කවුරුවත් දන්නෙ නෑ, Underpants Thief වැනි ජනප්‍රිය ලාංකීය සිනමාපට රැසක් සංස්කරණය කළ- ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන අජිත් රාමනායකයි.
චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා ලෙස්ලි වීරවංශයි. ලක්මාල් පෙරේරා නිශ්චල ඡායාරූප ශිල්පියායි. දෙබස් පටිගත කිරීම් ඩිරාන් විජයසිංහ සහ, නිෂ්පාදන කළමනාකරණය මහේෂ් වනිගසූරිය විසින් සිදු කර තිබෙනවා. චාමර බලන්ගොඩ යුගාත්‍රා හි සහාය අධ්යක්ෂකවරයායි.
මෙරට සිටින තරුණ සහ දක්ෂ සංගීතවේදියෙකු වන දිනේෂ් සුබසිංහ විසින් මෙම සිනමාපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් එක්ව සිටිනවා. වරිගපොජ්ජ, ඩොක්ටර් නවරියන් වැනි සිනමාපටවල සංගීතය නිමැවූ ඔහු මෙරට රසිකයින් අතරේ වැඩිම ජනප්‍රියත්වයට පත්වුනේ “හෝ ගානා පොකුණ” සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසටයි.
මෙය දිනේෂ් සුබසිංහ සහ චන්න පෙරේරා සුසංයෝගයෙන් නිමැවෙන දෙවන සිනමාපටය වන අතර මින් පෙර 2014 වසරේදී චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ “කල්පාන්තේ සිහිනයක්” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනුයි.
දිනේෂ් සුබසිංහගේ ස්වර නාදවලට සංඛ දිනෙත්, උරේෂා රවිහාරි සමඟින් චේතනා රණසිංහගේ කටහඬ මුසු වූ අලංකාර ගීත කිහිපයකින්ම මේ සිනමා නිර්මාණය හැඩවී තිබෙනවා.
යුගාත්‍රා, චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ සිව්වන සිනමාපටයයි. ඔහුගේ පළමු සිනමාපටය, “අංජලීකා” මෑතකාලීන ලාංකීය සිනමාවේ වැඩිම රසික ආකර්ෂණයක් දිනාගත් ජනප්‍රියම චිත්‍රපටයක් ලෙස අදටත් හැඳින්වෙන අතර ඉන්දියානු රංගන ශිල්පිනියක වූ පූජා උමාශන්කර්ව ලාංකීය සිනමාවට හඳුන්වා දුන්නේ ද ඒ හරහායි. ඉන්පසුව ඔහු අධ්‍යක්ෂණය කළේ “කල්පාන්තේ සිහිනයක්” චිත්‍රපටයයි. පසුගියදා පැවැති සිනමාභිමාන 2023- සිනමා උළෙලේදී චන්න පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ, ඉදිරියේදී තිරගත වීමට නියමිත “සිහින අනන්නේ” චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරයකුත් තිරගත වුනා.
යුගාත්රාට පසු සිහින අනන්තේ සිනමාපටයත් නුදුරු දිනකදීම නැරඹීමට මෙරට චිත්‍රපට ලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇති.
යුගාත්‍රා නිෂ්පාදනය කරන්නේ ඉසුරු විජේසිංහ – ජානක එදිරිසූරිය – ශ්‍රියානි සේනානායක – වසන්ත පෙරේරා – ආචාර්ය ජයන්ත ධර්මදාස එකතුවෙනුයි. මෙය විශ්මිත ෆිල්ම්ස් ඉදිරිපත්කිරීමක්.
Written by Kavinu Weerakkody