රන්ජන් රාමනායක සිරගත වීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපටය – The Game
රංගන ශිල්පී රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game සිංහල චිත්‍රපටය පසුගිය ජුනි 17 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීම ඇරඹුනා. මෑතකාලයේදී සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් වෙන් වූ පුළුල්ම සිනමාශාලා ප්‍රමාණය The Game වෙත හිමිව තිබෙන අතර, සිරගත වීමට ප්‍රථම රන්ජන් රාමනායක රඟපෑ අවසාන චිත්‍රපටය වන්නේ ද මෙයයි.
අඳුරු දේශපාලනය හා ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන මෙහි කතාව ආගමික ත්‍රස්තවාදයට එරෙහිව පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙක් වටා ගෙතී තිබෙනවා. රන්ජන් රාමනායක රංගනයෙන් එක්වන්නේ විජය නැමැති එම පොලිස් නිලධාරියාගේ ප්‍රධාන චරිතයටයි. The Game සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පස්වන සිනමා නිර්මාණය ද වනවා. රන්ජන් රාමනායක සමඟින් ඔහුගේ සහාය පොලිස් නිලධාරියාගේ උප-ප්‍රධාන චරිතයට (අජය) රඟපාන්නේ ජනිත් වික්‍රමගේයි.
ඊට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, සැන්ඩෝ හැරිස්, සුදේශ් වසන්ත පීරිස්, වසන්ත කුමාරවිල, නිම්මි කෝට්ටේගොඩ, චතූ රාජපක්ෂ, දුලාෂි නිම්නදී සහ තුෂිනි ෆර්නෑන්ඩෝ ඇතුළු නළු නිළියන් බොහෝ දෙනෙකු The Game චිත්‍රපටයෙන් දැකගත හැකියි. ටෙලිනාට්‍ය ගණනාවකින් රසිකයින්ට සමීප වූ රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂගේ පළමු වෘතාන්ත සිනමා නිර්මාණය ද The Game බව පැවසෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නිළි තරින්දි ප්‍රනාන්දුයි.
රජහොරු සිනමාපටය හරහා සුරංග ද අල්විස් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2013 වර්ෂයේදී යි. ඉන්පසුව බන්දු සමරසිංහ රඟපෑ My Name is Bandu චිත්‍රපටයත්, මහේන්ද්‍ර පෙරේරා රඟපෑ හොරා පොලිස් චිත්‍රපටයත් ඔහු විසින් නිර්මාණය කළා. නමුත් ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ Kidnap තවමත් ලාංකික රසිකයින්ට දැකගැනීමට අවස්ථාවක් උදා වූයේ නැහැ. Kidnap චිත්‍රපටයෙන් පසුව ඔහු අධ්‍යක්ෂණය කළ මෙම The Game සිනමාපටය, සුරංග ද අල්විස්ගේ පස්වන සිනමා නිර්මාණයයි.
එමෙන්ම ඔහුගේ පළමු චිත්‍රපටය වූ රජහොරු හි ප්‍රධාන චරිතයත් රන්ජන් රාමනායක විසින් රඟ දැක්වීම විශේෂත්වයක්! මේ සුරංග ද අල්විස් – රන්ජන් රාමනායක සුසංයෝගයෙන් නිෂ්පාදනය වූ දෙවන වෘතාන්ත සිනමාපටයයි.
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ සෙසු චිත්‍රපටවලට වඩා වැඩි පිරිවැයක් සහ කාලයක් The Game වෙනුවෙන් වැය වී තිබෙන බව සඳහන් වනවා. මෙහි මිනිත්තු 2-3 ධාවන කාලයක් සහිත කුඩා චරිතවලට පවා ඔහු තෝරාගෙන තිබෙන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත රංගන ශිල්පීන් පිරිසකුයි. The Game හි ප්‍රධාන නිෂ්පාදකවරයා අනූෂ සමරජීව වන අතර පෙර නිෂ්පාදන සාකච්ඡාවලදී සියලු දෙනාගේම එකඟතාවය අනුව රන්ජන් රාමනායකව ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබෙනවා.
නමුත් රන්ජන් රාමනායක විසින් පැවති රජයේ අමාත්‍ය ධූරයක් හෙබවූ නිසා The Game රූගත කරන කාල වකවානුවේදී ඊට දින වෙන් කරගැනීමේ ගැටළුවක් පැන නැඟී තිබෙනවා. එමෙන්ම ඔහුව පොලිස් අත්ඩංගුවට පත්වීම සිදු වූයේ ත් The Game නිෂ්පාදන කටයුතු සිදුවූ කාල සීමාවේදීමයි. චිත්‍රපටයේ රන්ජන් රාමනායකට අයත් හඬ කැවීම් කටයුතු පවා සිදු වී තිබෙන්නේ එවැනි ගැටළු සමඟ ගැටෙමින් බවයි අධ්‍යක්ෂක සුරංග ද අල්විස් පවසන්නේ.
ගාමිණි මොරගොල්ලාගම කැමරාව හසුරුවන මෙහි සංස්කරණය සිදු කොට තිබෙන්නේ රුවන් වීරසිංහ විසිනුයි. නිශාන්ත වීරසිංහ, අරුණ ශාන්ත හා නදීශ සමිත් තිදෙනා එක්වයි මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ. අධ්‍යක්ෂකවරයාගේ පියා වන සරත් ද අල්විස් සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වී තිබෙන අතර කලා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඇහැලියගොඩ සෝමතිලකයි. සංඛ දිනෙත්, උදයංග සුරේෂ්, බුද්ධික උෂාන් හා ශානිකා වනිගසේකර විසින් ගායනා කරන ගීත කිහිපයකින්ම The Game හැඩවී තිබෙනවා. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනි. කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන්ද, අකිල කාන්චන පරිගණක සජීවීකරණයෙන්ද එක්ව තිබෙනවා. සටන් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන්නේ සමන්ත මායාදුන්නේ යි. The Game සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
ඉන්දීය බොලිවුඩ් මාසාලා ශානරයට සමීප The Game සිනමා නිර්මාණයට Item Song ගීත ජවනිකාවක් ද ඇතුළත් වනවා. ඒ සඳහා සුප්‍රසිද්ධ “ජීවන මේ ගමන සංසාරේ” ගීතය යළිත් ප්‍රතිනිර්මාණය (remake) කරන්නටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ. පැය 36කට අධික කාලයක් රූගත කර තිබෙන මේ ගීතයට නර්තනයෙන් දායක වන්නේ තරින්දි ප්‍රනාන්දුයි.
2018 වසරේදී “මගේ යාලු මාලු 2” සිනමාපටයෙන් පසුව දීර්ඝ කාලයක් සිනමාවෙන් දැකගත නොහැකි වූ රන්ජන් රාමනායක The Game තුළින් නැවතත් තමන්ට සුපුරුදු ක්‍රියාදාම නළු භූමිකාවට පිවිස තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.
පසුගිය ජුනි 16 වනදා කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවේදී මෙම නිර්මාණයේ මංගල දර්ශනය පැවැත්වූ අතර චිත්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන්, තාක්ෂණික ශිල්පීන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙකු ඊට සහභාගී වී තිබුනා.
දිස්ත්‍රික්ක 14ක් ආවරණය කරමින් සිනමාශාලා 60කට ආසන්න ප්‍රමාණනකදී මේ වනවිට The Game ක්‍රියාදාම සිනමාපටය තිරගත වනවා. මීට සමගාමීව විදේශ රටවල් කිහිපයක ද මෙය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම තීරණයක් ගෙන ඇති බවත් පැවසෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව සහ ඉතාලිය තුළ මෙය පුළුල් තිර ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට නියමිතයි. එහි පළමු පියවර ඇරඹෙන්නේ එළඹෙන 24 වනදා සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙනුයි.
Written by Kavinu Weerakkody