රිදී තිරයේ චන්ඩියා, ජීවිතයෙන් සමුගෙන යයි.

Avatar Nisanka Weheraduwa | January 8, 2022 196 Views 0 Likes 0 Ratings

196 Views 0 Ratings Rate it

දශක ගණනාවක් තිස්සේ ලාංකීය සිනමාවේ රැඳුනු ජනප්‍රිය නළුවකු වූ රොබින් ප්‍රනාන්දු ජිවිතයෙන් සමුගනියි. ජනවාරි 8 වැනිදා සිය නිවසේදී මෙලෙස ඔහු මියගොස් ඇති බව සඳහන්. කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන විට 84 වැනි වියේ පසුවූවා.

1937 ජුනි 15 වැනිදා උපත ලැබූ ඔහු පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු වුවත් සිනමාවට ඔහු රොබින් ප්‍රනාන්දු වූවා.  කොටහේන ප්‍රදේශයේ උපත ලැබූ ඔහු වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුගෙන් සහ බාල සහෝදරියන් දෙදෙනෙකුගේ එකම සොහොයුරා වුනා. කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ ඔහු, කරාටේ සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ශූරයෙක් වූ බව සඳහන්. පාසල් කාලයෙන් පසුව කොළඹ Macwood පෞද්ගලික සමාගමට එක්ව සේවය කළ රොබින් 1964 වසරේ ඔක්තෝබර් 14 වැනිදා වයලට් ජයවීර සමග විවාහ වූවා. 1965 “චණ්ඩියා” චිත්‍රපටයත් සමග ප්‍රධාන චරිතයකින් සිනමාවට පිවිසෙන රොබින්, නළුවකු මෙන්ම සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද සිනමාවේ දශක ගණනාවක්ම රැඳී සිටියා.

සිනමාවේදී ආරියරත්න කහවිට ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්තයන් වෙත රොබින් ප්‍රනාන්දුව හඳුන්වා දීමෙන් පසු හිඟන කොල්ලා චිත්‍රපටයේ සටන් දර්ශනයකට පෙනී සිටීමේ අවස්ථාවක් ඔහුට හිමි වනවා. නමුත් ප්‍රධාන චරිතයකින් සිනමාවට පිවිසීමට ඔහුව අවස්ථාව හිමි වන්නේ චණ්ඩියා චිත්‍රපටය හරහායි. එය ආරියරත්න කහවිටගේ අධ්‍යක්ෂණයක්. කෙසේ නමුත් රොබින් ප්‍රනාන්දුගේ තිරගත වූ පළමු චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 1964 වසරේ තිරගත වූ ධීවරයෝ චිත්‍රපටයයි. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස රොබින් ප්‍රනාදු 1983 වසරේදී “සුර දූතියෝ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිය පළමු සිනමා අධ්‍යක්ෂණය සිනමාවට එක්කොට තිබෙනවා. දශක පහකට අධික කාලයක් සිනමාවේ රැඳී සිටි රොබින් ප්‍රනාන්දු, ටෙලි තිරයටද පසුකාලීනව සිය දායකත්වය ලබා දුන්නා. චිත්‍රපට 80කට අධික ගණනකට සිය රංගන දායකත්වය ලබාදුන් රොබින්, සිනමාවේ මෙන්ම ටෙලි තිරයේත් ජනප්‍රිය නළුවකු වූවා. සිනමාවේ හොඳම සහය නළුවා මෙන්ම හොඳම දුෂ්ට නළුවා ලෙසත් සම්මාන ලබා ගැනීමට රොබින් සමත්ව තිබෙනවා.

දශක ගණනාවක සිනමා ගමන මෙන්ම ජීවිත ගමනත් නිමා කරමින් 2022 ජනවාරි 8 වැනිදා සිය නිවසේදී ඔහු ජිවන ගමන අවසන් කොට තිබෙනවා. දේහය පිලිබඳ වසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

 

Share

196 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.