සහෝ – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | November 2, 2024 19 Views 0 Likes 0 Ratings

19 Views 0 Ratings Rate it

තාරුණ්‍යය වෙනුවෙන්, තාරුණ්‍යෙය් කතා තේමාවක් ඔස්සේ නිර්මාණය කළ සහෝ – The Comrade චිත්‍රපටය, මෙවර දෙරණ සිනමා සම්මාන උළෙල වෙනුවෙන් නිර්දේශ වුනු තවත් ජනප්‍රිය ලාංකීය චිත්‍රපටයක්.

මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්ව විද්‍යාලයකදී මුණගැසෙන මිතුරන් සිව් දෙනෙකුගේ ජීවිත කතාවයි.

සඳූ – තරූ – රතූ – හිරූ නැමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සිව් දෙනෙකු වටා ගෙතෙන සහෝ – The Comrade සිනමාපටය තාරුණ්‍යය සහ ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනුවෙන්ම නිර්මාණය වූවක්. මිත්‍රත්වය, ප්‍රේමය, ශිෂ්‍ය අරගලය සහ විප්ලවය ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරන ආකාරයත්, නොසිතූ මොහොතක ගැන නඟන ප්‍රශ්නවලට මෙම මිතුරන් සිව්දෙනා පිළිතුරු සොයා යන ආකාරයත් “සහෝ – The Comrade” චිත්‍රපටය තුළින් ඔබට දැක ගත හැකියි.

එකිනෙකට වෙනස් චරිත තුළින් රසිකයින්ගේ ආදරය දිනාගත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය නලු නිළියන් සිව්දෙනෙකු මෙහි ප්‍රධාන භූමිකාවට රංගනයෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, බියංක අමරසිංහ සහ හර්ෂි අංජුමාලායි. ඔවුන් පිළිවෙළින් තරූ – සඳූ – රතූ – හිරූ නැමැති විශ්ව විද්‍යාල මිත්‍රයින් සිව්දෙනාගේ චරිත නිරූපණය කරනවා. ඊට අමතරව සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ මෙහි තවත් චරිත ද්විත්වයකට රංගනයෙන් එක් වනවා.

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී මූලික රූපගත කිරීම් සිදු කෙරුනු මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අවසාන වූයේ 2020 වසරේදී යි.

ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් ඉන්ටනැෂනල් සිනමා සම්මාන උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය, ඉතාලියේ රොබින්සන් සිනමා උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය, ඇමරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් ගෝල්ඩන් සිනමා උළෙලේදී ගෝල්ඩ් සම්මාන වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය, නිව්යෝර්ක් සහ ලන්ඩන් සිනමා සම්මාන උළෙලවලදී හොඳම ස්වාධීන චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු විදෙස් ඇගයුම් රැසක් “සහෝ – The Comrade” චිත්‍රපටයට ලැබී තිබෙනවා.

“සහෝ – The Comrade” සිනමාපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ ද මහාචාර්ය ආරියරත්න ඇතුගල විසිනි. ඔහු මීට පෙර ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කර තිබෙන නමුත් සිනමාවට පිවිසෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ 28, ද නිවුස්පේපර්, කාල, පියවි, යාය 4 වැනි මෙරට ජනප්‍රිය නිර්මාණ රැසක කැමරාව හැසිරවූ චන්දන ජයසිංහයි.

ලක්ෂිත සංකල්ප වේශ නිරූපණයෙනුත්, සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙනුත් සම්බන්ධව තිබෙනවා. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංකගෙනි. ඇඳුම් නිර්මාණකරණය පසිඳු කාරියකරනගේ සහ මනෝරි සුබසිංහයි. තිලක් වනසිංහ, සහෝ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරවරයායි.
ඩිලාන් ගුණවර්ධන මෙහි සංස්කරණ ශිල්පියායි. ඔහු මීට පෙර ශෙලීනා, ඝරසර්ප සහ නිම්හිම් යන ලාංකීය චිත්‍රපටවල සංස්කරණයෙන් සම්බන්ධව තිබෙනවා.

තරුපති මුණසිංහගේ සංගීතයට ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේඛා නිර්මානි විසින් ගායනා කරනු ලබන අලංකාර ගීත කිහිපයකින් ද මෙම චිත්‍රපටය පරිපූර්ණයි. සහෝ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ බන්දුල ගුණවර්ධන විසිනි. සම – නිෂ්පාදනයට එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ එක්ව තිබෙනවා. විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ විසිනි.

සහෝ – The Comrade චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

19 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.