“ස්නේහ” සමග මහේල තබන පළමු පියවර

Avatar Nisanka Weheraduwa | May 14, 2021 167 Views 1 Like 5 On 1 Rating

167 Views 5 On 1 Rating Rate it

සටහන : කවිනු වීරක්කොඩි

ලාංකීය සිනමා කර්මාන්තයට දවසින් දවස තරුණ නිර්මාණකරුවන් එකතු වෙනවා. නිතරම විවිධ නිර්මාණ, කෙටි චිත්‍රපටි කරමින් තමන්ගේ දැනුම යාවත්කාලීන කරගන්න පෙළඹෙනවා. Cinema lk අපි, එවැනි තරුණ නිර්මාණකරුවන්ගේ අදහස් වලට සහ නිර්මාණ වලට ඉඩක් වෙන් කරනවා.  මහේල හෙට්ටිආරච්චි සමග ඔහුගේ පළමු කෙටි චිත්‍රපටිය “ස්නේහ- Sneha” ගැන කතාබහ කරන්න අපි අමතක කලේ නැහැ. ඉතින්, මෙතැන් පටන් කතාබහ “ස්නේහ” ගැන.

Q: ඔබේ පළමු අධ්‍යක්ෂණය, ස්නේහ ගැන පොඩි හැඳින්වීමක් කළොත්..?

මේක හරි සරළ කතාවක්. මම තේරුම් ගත්ත විදිහට ස්නේහ කියන්නේ, මෘදු බව සහ රළු බව අතර වෙනස, සරලවම. එක පැත්තකින් ඉන්නවා ජීවිතේ ලොකු අත්දැකීම් නැති මෘදු ගෑණු ළමයෙක්. ඇයට ජීවිතේ ගැන ලොකු අත්දැකීමක් නැහැ. විඳලා නැහැ. අනිත් පැත්තෙ ඉන්නවා ටිකක් රළු කෙනෙක්. ජීවිතේ ගැන අත්දැකීම් තියෙන, දුක් කරදර විඳලා තියෙන, අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්. සරලවම මේ දෙදෙනා අතර වෙනස තමයි ස්නේහ කියන්නේ. මේ දෙපිරිස අතර වෙනස සහ ඝට්ටනය තමයි ස්නේහ කෙටි චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියන්නේ.

Q: ස්නේහ කෙටි චිත්‍රපටිය නිර්මාණය වෙන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද..?

වෘතාන්ත චිත්‍රපටියක් කරන්න මට කාලයක් තිස්සේ හීනයක් තියෙනවා. ඉතින් මට හිතුණා ඒ ගමන මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියලා. කෙටි චිත්‍රපටියකින්. ඒ වගේම මම හරි ආසයි වාණිජ සිනමාවට. මන් හිතුවා අපේ තියෙන කෙටි චිත්‍රපටිවලට වඩා වෙනස් වුණු, වාණිජත්වයට බර වුණු, මිනිස්සුන්ගේ ඇහැට ප්‍රිය වෙන විදිහෙ කතාවක් කරන්න. තිර රචනය, සංගීතය, රූප… මේ හැමදෙයක් එක්කම ‘ආකර්ෂණීය’ නිර්මාණයක් කරන්නයි මට ඕනෙ වුණේ.

Q: මේ වෙනකොට ඔබේ පළවෙනි නිර්මාණය ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව ලැබිලා තියන්නේ. පළවෙනිම උත්සාහය ගැන මේ මොහොතේදි ඔබට හිතෙන්නේ මොනවද?

එක පැත්තකින් ස්නේහ නරඹපු ප්‍රේක්ෂකයින් එය විඳපු විදිහ… ලැබුණු විචාර… අදහස්… සහ අනිත් පැත්තෙන් ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුණු ප්‍රශංසා… මේ හැමදෙයක් එක්කම බලපුවාම ස්නේහ කියන්නේ හරිම සතුටුදායක අවසානයක් තියෙන ප්‍රයත්නයක්. සමහරවෙලාවට මම වුණත් දෙයක් පළවෙනි වතාවට කළහම, ඒක ගැන තෘප්තිමත් නොවුණොත් හිතනවා, “මේ පළවෙනි වතාවනෙ! ඒක හන්දා අවුලක් වුනාට කමක් නැහැ!” වගේ හැඟීමක්. හැබැයි මට එහෙමවත් හිතුණේ නැති අවස්ථාවක් මේක. ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

Q: ස්නේහ කෙටි චිත්‍රපටය, අන්තර්ජාතික රූපවාහිනී ප්‍රදර්ශනයකට ලෑස්ති වෙන බවත් දැනගන්න ලැබුණා. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්. Cinemaworld Asia අන්තර්ජාතික නාළිකාවේ Shorts කෙටි චිත්‍රපට උළෙලට අපේ නිර්මාණයත් නිර්දේශ වුණා. ඔවුන් ලෝකය පුරා හැදෙන දහස් ගාණක් කෙටි චිත්‍රපට අතරින් සතියකට එක බැගින් තෝරගෙන ඔවුන්ගේ නාලිකාවේ ප්‍රදර්ශනය කරනවා. එම අවස්ථාව අපේ ස්නේහ කෙටි චිත්‍රපටයටත් ලැබුණා. රටවල් 24ක භාෂා 28ක් කතා කරන මිනිස්සු වෙනුවෙන් අපේ ස්නේහ ප්‍රදර්ශනයට හැමදෙයක්ම ලෑස්තියි. මන් හිතන්නේ ලංකාවේ කෙටි චිත්‍රපටියක් අන්තර්ජාතික නාලිකාවක ප්‍රදර්ශනය වෙන පළවෙනි වතාව මේ. ලාංකීය වෘතාන්තමය චිත්‍රපටියකට පවා බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මේ. එක පැත්තකින් මට පෞද්ගලිකව සතුටුයි, මගේ අධ්‍යක්ෂණය කරපු නිර්මාණයක් රටවල් 24ක මිනිස්සු දකිනවා. ඒ වගේම අපේ රටේ නම, අපේ රටේ ලස්සන පරිසරය පෙන්නන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම, ඒ දෙවෙනි කාරණය ගැන ලොකු සතුටක් තියන්නේ මට. මොකද ලංකාවේ චිත්‍රපටි විදිහට ජාත්‍යන්තරයට යන අතිශය බහුතරයක් නිර්මාණවල තියන්නේ අපේ දුප්පත්කම, ලංකාවේ සිස්ටම් එකේ අවුල, සංස්කෘතික කඩා වැටීම් වගේ දේවල්. ඒත් ඒ වෙනුවට ස්නේහ තුළින් එයාලට දකින්න ලැබෙන්නේ ප්‍රියමනාප පරිසර දර්ශන තියෙන, මිනිස්සුන්ගේ ඇහැට කතා කරන නිර්මාණයක්. මට ඒ ගැන තමයි ලොකුම සතුටක් තියන්නේ.

Q: ස්නේහ වෙනුවෙන් එකතු වුණු පිරිස ගැන කතා කළොත්?

නිෂ්පාදනයෙන් එකතු වුණු ජනිදු රාජකරුණා සහෝදරයා සහ මහාචාර්ය ඉන්දික ගවරම්මාන මහත්මයාව මුලින්ම මතක් කරන්න ඕනෙ. කෙටි චිත්‍රපටියකින් ආදායමක් ලැබෙන්නේ නැති බව දැන දැනම මේ වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලබා දීම ගැන ඔවුන් දෙදෙනාට බොහොම ස්තූතියි. ඔවුන් ඇතුලුව තව බොහෝ දෙනෙක් මෙයට දායක වුණා. රධිනි, තිලිණි තමන්ගේ රංගන රාජකාරිය හොඳටම කලා. ආධුනික, ප්‍රවීණ වෙනස නොපෙනෙන තරමටම ඔවුන්ගේ රංගනයන් බොහෝ අයට සමීප වෙලා තිබුණා. පසිඳු, ශාන් තමන්ගේ උපරිමය කැමරාවෙනුත්, සංස්කරණයෙන් සහ වර්ණ ගැන්වීමෙනුත් අපට දුන්නා. මාධව අයියගේ සංගීතය හිතාගන්න බැරි තරම් චිත්‍රපටය එක්ක බැඳිලා තිබුණා. යසරු, සංඛ, විහඟ, තිරාන්, හර්ශන මේ සියලු දෙනාම තමන්ගේ උපරිමය චිත්‍රපටය වෙනුවෙන් දුන්නා. ඒ වගේම මේකට බොහෝ දෙනෙක් උදවු කලා. මගේ යාලුවෝ, යාලුවන්ගෙ යාලුවෝ, සුභ පතන්නෝ, යන එන මග අපට හමුවුණ අපි නොහඳුනන බොහෝ අය පවා අපට උදවු කලා. ඒ හැමදෙනාගෙම උදවුවෙනුයි මේක හැදෙන්නේ.

Q: වර්තමානයේ අපේ කෙටි චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ඔබේ අදහස?

මගේ අදහස තමයි, අපිට කෙටි චිත්‍රපට කර්මාන්තය කියලා යමක් නැහැ. කර්මාන්තයක් වෙන්න නම් වාණිජමය පරමාර්ථයක් තියෙන්න අවශ්‍යයි. “මිනිස්සු මේවා බලාවි, මිනිස්සු මේවට ආකර්ෂණය වේවි” කියලා හැඟීමක්, බලාපොරොත්තුවක් තියෙන්න අවශ්‍යයි. ලංකාවේ බොහොමයක් අයට ඒ අරමුණ නැහැ. ඉතින් ලංකාවේ අපි අතරේ එහෙම කර්මාන්තයක් නැහැ. මම දකින අනිත් දේ තමයි, අපේ කෙටි චිත්‍රපට හැම එකක්ම වගේ දුවන්නේ එකම කොටුවක් ඇතුළේ. එකම මාතෘකා කිහිපයක් මුල් වෙන්නේ. දක්ශ කෙටි චිත්‍රපටකරුවෝ සාමාන්‍ය මිනිසු වෙනුවෙන් චිත්‍රපට කිරීම නවත්වලා, වෙනම තැනක් ආමන්ත්‍රණය කරන්න උත්සාහ ගන්නවා කියලයි මට හිතෙන්නේ.

අපේ කෙටි චිත්‍රපට බොහොමයක් ඇතුළේ Commercial Elements නැහැ. අපේ තියන්නෙම Art House Elements.

මගේ පෞද්ගලික අදහස තමයි මේ ආට්හවුස් රැල්ල වෙනුවට අපි Commercial Elements මේක ඇතුළට ගේන්න ඕනේ. සහ, අපේ වෘතාන්ත සිනමා කර්මාන්තය මීට වඩා වාණිජකරණය කරන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකට පළවෙනි පියවර කෙටි චිත්‍රපට වලින් තියන්න ඕන.

Q: තරුණ නිර්මාණකරුවෙක් විදිහට මෑතකාලීනව බිහිවෙන ලාංකීය සිනමා නිර්මාණ ගැන ඔබ සතුටු වෙනවද?

හිතුමතේ ජීවිතේ, දැකලා පුරුදු කෙනෙක්, ඇවිලෙන සුළුයි, යූ ටර්න්, ප්‍රේමය නම් වගේ මෑතකාලීන නිර්මාණ රාශියක්ම මගේ ප්‍රියතම චිත්‍රපටි ලැයිස්තුවේ තියෙනවා. හැබැයි මන් මෙහෙම දෙයක් කියන්න ඕනේ! අපේ සිනමාව ඇතුළේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා චිත්‍රපටියක් එක්කෝ අධිකව වාණිජකරණය කරන්න, නැත්නම් අධිකව කලාත්මක කරන්න. ඒ දෙවිදිහටම මගේ කැමැත්තක් නැහැ. මන් බලාපොරොත්තු වෙන්නේ ඔය දෙකේම සම්මිශ්‍රණයක්. නමුත් අවාසනාවකට වගේ ඔය පැති දෙකම බැලන්ස් කරගෙන බිහිවෙන චිත්‍රපටි ලංකාවේ හරි අඩුයි. උදාහරණයක් විදිහට ඉන්දියාවේ අලුත් පරපුරේ නිර්මාණකරුවෝ මේ වැඩේ හරියටම කරනවා. වෙට්‍රිමාරන්, මාරි සෙල්වරාජ්, කාර්තික් සුබ්බුරාජ්, ලෝකේශ් කනගරාජ් වගේ දමිළ සිනමාකරුවෝ මේ සම්මිශ්‍රණයත් එක්ක ලොකු වැඩ ගොඩක් කලා. ළඟකදි තිරගත කරපු මාරි සෙල්වරාජ් ගේ Karnan සිනමාපටයත් ඒ වගේ. කලාත්මක සිනමා කෝණ, කලාත්මක සංගීත ධාරා ඔස්සේ නිෂ්පාදනය වුණු වාණිජ චිත්‍රපටයක්!

මන් හිතනවා ඉදිරියට මේ වෙනස ලංකාවටත් ආවොත් සිනමාවට ලොකු යහපතක් වේවි කියලා.

Q: සිනමාව ඇතුළේ මහේල හෙට්ටිආරච්චිගේ ඉදිරි වැඩ කටයුතු මොනවද?

දැනට වැඩ දෙකක් ගැන හිතේ තියෙනවා. එකක් චිත්‍රපටයක්. ඒකේ තිරපිටපත ලියලා ඉවරයි. ඒක ටිකක් වෙනස් වැඩක්. දෙවෙනි එක Documentary Series එකක්. මේ වෙද්දි පූර්ව අධ්‍යයනයක යෙදිලා ඉන්නේ. මම අධ්‍යාපනය හදාරන විෂයටත් බොහොම සමීප ගණුදෙනුවක් තියෙන නිසාම ඒ ගැනත් මේ දිනවල ලොකු මහන්සියක් යොදවනවා. මේ නිර්මාණ වෙනුවෙන් අපිට තියෙන ලොකුම අභියෝගය තමයි නිෂ්පාදකවරයෙක් හොයා ගන්න එක. මේ කාලෙත් එක්ක මේ දේවල් ලේසි නෑ. අපි බලමු ඉස්සරහට.

මහේල හෙට්ටිආරච්චි සමඟ සිදුකරපු අපේ කතාබහ ඒ විදිහට අවසන් වුණා. ඔහුගේ පළවෙනි අධ්‍යක්ෂණය වුණු ස්නේහ කෙටි චිත්‍රපටය මේ මාසය අග වෙන තෙක්ම Ceyflix යූටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුලුවන්. cinema.lk  පාඨක ඔබ සැමට ස්නේහ නරඹන ලෙසත් අපි ආරාධනා කරනවා. ඒ වගේම, මහේල වැනි තරුණ නිර්මාණකරුවන්ගේ අලුත් නිර්මාණ ගැන කතාබහ කරන්න සහ සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින්, පාඨකයින් ඒ පිළිබඳව දැනුවත් කරන්න cinema.lk හැමවිටම ඉඩ වෙන් කරනවා. ඒ නිසා, ඔබේ නිර්මාණ ගැන තොරතුරු අපට ලියා දන්වන්නත් ඔබට පුළුවන්.

Email : editor.cinema@derana.lk

 

Share

167 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.