“මහසෝනා” සමගින් ලංකා, CANNES සිනමා උළෙලට

Avatar Nisanka Weheraduwa | June 9, 2021 148 Views 0 Likes 1 On 1 Rating

148 Views 1 On 1 Rating Rate it

ලොව පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ සිනමා උළෙලක් වන ප්‍රංශයේ CANNES සිනමා උළෙල 74 වැනි වරටත් පැවැත්වෙනවා. ජූලි 06 වැනිදා සිට 17 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ තරගකාරී නොවන අංශය යටතේ (Cannes corner) ලාංකික සිනමා නිර්මාණයක් තෝරාගෙන තිබෙනවා.

නාට්‍යවෙදිනියක්, රංගන ශිල්පිනියක්, කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණකරණයේ යෙදෙන ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ඇගේ තුන්වැනි කෙටි චිත්‍රපටය වූ “මහසෝනා” මෙලෙස Cannes සිනමා උළෙල නියෝජනය කරනු ලබනවා. මීට පෙර “සම්ප්‍රදාය” සහ “උරුමය” යන කෙටි චිත්‍රපට නිර්මාණය කළ ලංකා, එම නිර්මාණ උදෙසා දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වුනා.

ඓතිහාසික සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාස මත එල්බගත් ලාංකික සමාජය නූතන මානව සමාජීය ගැටළු විසඳා ගැනීම උදෙසාත් එම මිත්‍යා විශ්වාසයන්ගේම සහය පැතීම ඔස්සේ අනාගත දරු පරපුර මුහුණදෙන ඛේදාන්තය පිළිබඳව ලංකා, “මහසෝනා” හරහා කතාබහට ලක්කරනවා. හේසර රන්මිණ කපුගේ මෙහි ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන අතරම මේ ඔහුගේ පළමු සිනමා රංගනයද වනවා. නිස්මං රණසිංහ, අසංක සායක්කාර, අමරදාස පෙරේරා, කුමුදු කුමාරසිංහ, අමිල කොඩිතුවක්කු, සෙසු චරිත සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණයෙන් චානක විජමුනි, සංස්කරණය සහ ශබ්ද නිර්මාණයෙන් නන්දා නන්දි ජයකොඩි, වේශ නිරූණයෙන් ප්‍රේම්ජයන්ත කපුගේ, සහය අධ්‍යක්ෂණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන කලමනාකරණයෙන් හිමාෂි මොරිස්, විශේෂ ප්‍රයෝග නිර්මාණයෙන් අකිල වනිගරත්න, වර්ණ සංයෝජණයෙන්  ලහිරු මධුශංක, උපසිරැසි නිර්මාණයෙන් උපාලි අමරසිංහ, නිශ්චල ඡායාරූපකරණයෙන් ධනුෂ්ක විජේසූරිය, කලා අධ්‍යක්ෂණයෙන්  ලක්මා වීරසේකර, මේ චිත්‍රපටයට දායකත්වය ලබාදී තිබෙනවා. තිර රචනය රන්සිරි පෙරේරා සහ ලංකා බණ්ඩාරනායක විසින් සිදුකළ “මහසෝනා”, Eleithya Productions නිෂ්පාදනය කොට තිබෙනවා.

“මහසෝනා” සමගින් තවත් දෙස් විදෙස් ජයග්‍රහණ අත්කර ගනිමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට කීර්තිය අත්පත් කරගැනීමට ලංකාට සහ කණ්ඩායමට cinema.lk අපිත්, සුබපැතුම් එක්කරනවා.

 

Share

148 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.