දෙරණ Blockbuster Evening – 2024 වසරේ වැඩිම ආදායම ලැබූ ලාංකීය චිත්‍රපට සම්මානයට

Avatar Kavinu Weerakkody | August 29, 2025 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

2024 වසර පුරාවට ශ්‍රී ලාංකේය සිනමා රසිකයින්ගේ ජනාදරය දිනාගත් සිනමාපට රැසක් අති සාර්ථකව තිරගත වුනා. විශාල ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනා ගනිමින් ලාංකේය සිනමාවේ Box Office වාර්තා අලුත් කරන්නටත් පසුගිය වසරේ සිනමාපට රැසකට හැකියාව ලැබුනා.

ඒ අතුරින්, වසරේ වැඩිම ආදායමක් හිමිකර ගත් චිත්‍රපට ගැන විස්තර ඔබ වෙත ගෙන එන්නට දෙරණ සිනමා උළෙලට සමගාමීව Blockbuster Evening වැඩසහටහනක් පසුගියදා සංවිධානය වුනා.

ඒ ලාංකේය සිනමාවේ ජනප්‍රිය සිනමා තරු සහ අධ්‍යක්ෂකවරුන් රැසකගේ සහභාගීත්වයෙන්…

ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල දත්ත මත පදනම් වී මෙම තෝරාගැනීම් සිදු කල අතර මෙහිදී වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 05 ගැන සිනමා කතිකාවතක් ද පැවැත්වුනා.

2024 වසරේ ලාංකීය සිනමාපට අතුරින් වැඩිම ආදායමක් වාර්තා කර තිබුනේ ‘සිංහබාහු’ චිත්‍රපටයයි. සිංහලයාගේ සම්භවයේ මුල් පුරුක ලෙසින් හැඳින්වෙන සිංහබාහු – සිංහසීවලී සාහිත්‍ය පුරාවෘත්තය වටා මෙම සිනමාපටය ගෙතෙනවා.
මෙහි ප්‍රධාන චරිත සඳහා එක් වුනේ අකිල ධනුද්දර, සජිත ඇන්තනි සහ දුශේනි සිල්වායි.

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, ශබ්ද සැලසුම් ශිල්පී සසික රුවන් මාරසිංහ, කැමරා අධ්‍යක්ෂක විශ්වා බාලසූරිය සහ සංස්කරණ ශිල්පී අජිත් රාමනායක සිංහබාහු චිත්‍රපටය වෙනුවෙන් Blockbuster Evening සිනමා කතාබහට සම්බන්ධ වුනා.

වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ‘විසල් ආදරේ’ සිනමාපටය වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ දෙවන තැනට පත්වී තිබෙනවා. ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයෙන් පසුව වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටය මෙයයි. විසල් ආදරේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වුනේ සචින් ලියනගේ, දිනක්ශි ප්‍රියසාද්, නිමේශ් වීරංග සහ රශිප්‍රභා සංදීපනී යි. යසස් මැදගෙදර මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කලා.

විසල් ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ නළු නිලියන් සමඟින් එහි තිර රචිකා දිල්ශි තත්සරණි ද මෙම අවස්ථාවට එක්වුනා.

හේමාල් රණසිංහගේ රංගනයෙන් හැඩ වුනු ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය 2024 වසරේ තෙවන වැඩිම ආදායමක් ලැබූ ලාංකීය චිත්‍රපටයි. හේමාල් සමඟින් පූජා උමාශංකර් සහ ශේශාද්‍රි ප්‍රියසාද් මෙහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් එක්වුනා.
සිහිනයකි ආදරේ වී සරෝව් – ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්ෂණයක්.

සිහිනයකි ආදරේ වෙනුවෙන් වෙන්වුනු සම්මානය බාර ගත්තේ ශේශාද්‍රි ප්‍රියසාද් සමඟින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක පසන් ලියනගේයි.

‘ගෞතම බුද්ධ මාතා’ පසුගිය වසරේදී මෙරට සිව්වන වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටයයි. සම්මානිත මහාචාර්‍ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වන්නේ ප්‍රජාපතී ගෝතමී දේවියගේ කතා පුවතයි.

ඉන්දීය නලු නිලියන් සමඟින් ලාංකීය ශිල්පීන් රැසකුත් ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයට රංගනයෙන් එක් වුනා.

එහි රඟපෑ ධනංජය සිරිවර්ධන, සූර්‍යා දයාරුවන් සහ ගෙවින් අභිශේක් Blockbuster Evening කතාබහට එකතු වුනේ අධ්‍යක්ෂක සුනිල් අරියරත්න සමඟයි.

පසුගිය වසරේ පස්වන වැඩිම ආදායම්ලාභී චිත්‍රපටය බවට පත්ව තිබුනේ ‘මන්දාරා’ සිනමාපටයයි. මේඝ සූරියආරච්චි, චුලක්ශි රණතුංග, බිමල් ජයකොඩි ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් එකතු වුනා. මන්දාරා අධ්‍යක්ෂණය කලේ මෙරට වාණිජ සිනමාවේ සිටින සාර්ථකම අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් සැලකෙන ප්‍රියන්ත කොලඹගේ විසිනි.

මන්දාරා වෙනුවෙන් ප්‍රියන්ත කොළඹගේ, චුලක්ශි රණතුංග, මේඝ සූරියාඅරච්චි, ළමා නිලි සිහෙලි සදිත්මා සහ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක රුවන් කොස්තා මෙම අවස්ථාවට සහභාගී වුනා.

 

Share

50 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.