ආක්ෂේ කුමාර් ක්‍රියාදාම චිත්‍රපටවලින් සමු ගනීද?

Avatar Kavinu Weerakkody | March 17, 2024 109 Views 0 Likes 5 On 1 Rating

109 Views 5 On 1 Rating Rate it

වර්තමාන ඉන්දියානු සිනමාව තුළ සිටින කාර්යබහුලම රංගන ශිල්පියා ලෙසට බොලිවුඩ් නලු අක්ෂේ කුමාර්ව (Akshay Kumar) හැඳින්වූවාට කිසිදු වරදක් නැහැ. උතුරු ඉන්දියානු කලාපය මූලික කරගත් හින්දි සිනමාව; එසේත් නැතිනම් බොලිවුඩයේ ජනප්‍රියම රංගන ශිල්පියෙකු වන ඔහුට ඉන්දියාව පුරාම වගේම ඉන් පිටතත් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් සිටිනවා.

දැන් වසර කිහිපයක සිට බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම්ලාභී සහ රජයට වැඩිම බදු මුදලක් ගෙවන නලුවා ලෙසින් පළමු තැනට පත්වුනේත් Akshay Kumarයි. ඒ තරමටම ඔහු සිය රංගන ජීවිතය නිසා කාර්යබහුල වී සිටින අතර වෙනත් ජනප්‍රිය බොලිවුඩ් නලුවන් මෙන් නොවී, එක් වසරකට වැඩි චිත්‍රපට ගණනකට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් සම්බන්ධ වනවා.
2022 වසර තුළ පමණක් Akshay Kumar ප්‍රධාන රංගනයෙන් දායක වූ සිනමාපට සංඛ්‍යාව පහක්. පසුගිය ඔක්තෝබර් මාසයේදී තිරගත වූ Mission Raniganj චිත්‍රපටය, 2023 ඇතුළතදී අක්ෂේ කුමාර් රඟපෑ තුන්වන නිර්මාණයයි.

නමුත් වසරක් තුළ මෙසේ විශාල චිත්‍රපට සංඛ්‍යාවකට සම්බන්ධ වීම නිසාම, වෙනත් නලුවන්ට වඩා වැඩි ශානරීය විවිධත්වයක් Akshay Kumarගේ චිත්‍රපට නාමාවලිය තුළින් දැකගන්නට ලැබෙනවා. ක්‍රියාදාම චිත්‍රපට – ඵෙතිහාසික කතාපුවත් – රහස් පරීක්ෂක නිර්මාණ – හාස්‍යමය චිත්‍රපට වැනි එකිනෙකට වෙනස් සිනමාපට බොහෝමයක් ඊට ඇතුළත්…

මේ දිනවලත් ඔහුගේ Bade Miyan Chote Miyan, Sky Force, Khel Khel Mein, Shankara සහ Singham Again යන චිත්‍රපටවල රූගත කිරීම් සිදුවෙමිනුයි තිබෙන්නේ. ඊට අමතරව ප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක් වන, සූරියා රඟපෑ Soorarai Pottru හි නිල හින්දි ප්‍රතිනිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද ආක්ෂේ විසිනි. මේ වනවිට එහි රූගත කිරීම් අවසන් වී පසු – නිෂ්පාදන කටයුතු පටන් ගෙන තිබෙනවා.

මෙලෙස එක පෙළට රූගත කරන ඔහුගේ චිත්‍රපට නිසා අක්ෂේ කුමාර්ට අතිශය කාර්යබහුල රංගන ජීවිතයක් ගත කරන්නට සිදුව තිබෙන්නේ නිරායාසයෙන්මයි. නමුත් කෙතරම් කාර්යබහුල වුවත්, තාවකාලිකව හෝ සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම යන්නට අදහසකුත් ඔහු සතුව නැහැ.
මෙම upcoming නිර්මාණවලට අමතරව, ආක්ෂේ කුමාර් ප්‍රධාන රංගනයෙන් දායක වීමට නියමිත, නමුත් තවමත් රූගත කිරීම් ආරම්භ නොකළ තවත් අලුත්ම සිනමාපට කිහිපයක් සඳහාත් ඔහු ගිවිසුම්ගත වී තිබෙනවා.

බොලිවුඩය තුළ මෙන්ම දකුණු ඉන්දියාව තුළත් එක ලෙස ප්‍රසිද්ධ සිනමාකරුවෙකු වන Priyadarshanගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වීමට නියමිත නවතම චිත්‍රපටයත් එයින් එකක්. එම චිත්‍රපටයේ තිර පිටපත පිළිබඳව අදහස් ගැනීමට මේ දිනවල අක්ෂේ කුමාර් සහ ප්‍රියදර්ශන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා. Akshay Kumar රඟන Singham Again හි රූගත කිරීම් සිදුවන හයිද්‍රාබාද් චිත්‍රාගාරයටත් ප්‍රියදර්ශන් පැමිණි අතර එහිදීත් ඔවුන් දෙදෙනා සිය නවතම චිත්‍රපටය ගැන විශාල ලෙසින් සාකච්ඡා කළ බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ…

ආක්ෂේ කුමාර් සහ ප්‍රියදර්ශන් හින්දි සිනමා ලෝලීන්ට නුහුරු සුසංයෝගයක් නම් නොවෙයි. මීට පෙරත් අවස්ථා ගණනාවකදීම ප්‍රියදර්ශනගේ අධ්‍යක්ෂණය යටතේ සිදුවුනු චිත්‍රපට ගණනාවකට ආක්ෂේ රංගනයෙන් දායක වුනු අතර එම නිර්මාණ සියල්ලම පාහේ ඔවුන් දෙදෙනාගේම සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉම් සලකුණු කරන්නට සමත් වුනා.

ආක්ෂේ කුමාර් – ප්‍රියදර්ශන් සුසංයෝගයෙන් නිර්මාණය කළ Hera Pheri, Bhool Bhulaiyaa, Bhagam Bhag, De Daaa Dan සහ Garam Masala ආදී ප්‍රසහන චිත්‍රපට වර්තමානයේදී පවා රසිකයින්ගේ ප්‍රසාදයට ලක් වුනු සාර්ථක සිනමාපට කිහිපයක්. විශේෂයෙන්ම Hera Pheri (2000) සහ Bhool Bhulaiyaa (2007) යන චිත්‍රපට සැලකෙන්නේ ‘2000 දශකයෙන් පසු බොලිවුඩ් සිනමාව තුළින් බිහිවුනු හොඳම ප්‍රසහන චිත්‍රපට පෙළක් ලෙසටයි.

මෙවැනි දිගු සබැඳියාවක් තිබෙන අධ්‍යක්ෂකවරයෙකු සහ නලුවෙකු වන මොවුන් දෙදෙනා මෙවර තවත් අලුත්ම චිත්‍රපටයකට සුසංයෝග වන බවට ලැබුනු ආරංචියත් සමඟ, බොහෝ බොලිවුඩ් රසිකයින්ගේ අවධානය මෙම නව චිත්‍රපටය වෙත ලැබී තිබෙනවා.
පෙර චිත්‍රපට සේ ම, මෙයත් ප්‍රසහන ශානරයේ Comedy සිනමාපටයක් වන අතර මෙය ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් බිහිවන හත්වන සිනමා නිර්මාණයයි. එසේම අධ්‍යක්ෂක ප්‍රියදර්ශන් සම්බන්ධ වන 100වන ඉන්දියානු චිත්‍රපටය වන්නේ ද මෙයයි.

මේ දිනවල චිත්‍රපටයේ තිර පිටපත රචනා කරමින් තිබෙන අතර මෙහි රූගත කිරීම් මේ වසර අවසානයේදී ඇරඹීමට නියමිතයි. නමුත් මෙය මීට පෙර රූගත කරන්නට සැලසුම් කර තිබූ නිර්මාණයක්. ප්‍රියදර්ශන් සහ අක්ෂේ කුමාර් දෙදෙනා අවසන් වතාවට එකතු වූ Garam Masala චිත්‍රපටයෙන් පසු තවත් අලුත් නිර්මාණයක් ගැන අදහසක් ප්‍රියදර්ශන් පවසමින් සිටියේ දැනට වසර කීපයක සිටයි. ඇත්තෙන්ම කොවඩි වසංගයතයටත් පෙර මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නට සූදානම් වුවත්, ලෝකයටම බලපෑ එම වසංගත තත්වය නිසා මෙම ව්‍යාපෘතිය අතරම නතර වුනා.

ඉන්පසුව ආක්ෂේ කුමාර් ඔහුගේ වෙනත් සිනමාපට සඳහා කාර්යබහුල වීමත් සමඟ ප්‍රියදර්ශන්ට සිය නිර්මාණය අත්හැර දමන්නටයි සිදුවුනේ. ප්‍රියදර්ශනුත් ඉන්පසුව හින්දි සිනමාවෙන් තාවකාලිකව සමුගෙන Marakkar: Lion of The Arabian Sea සහ Corona Papers වැනි දකුණු ඉන්දියානු මලයාලම් සිනමාව අධ්‍යක්ෂණය කළා. ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කළ හින්දි සිනමාපටය වන්නේ 2021 වසරේදී තිරගත වුනු Hungama 2 චිත්‍රපටයයි.

නමුත් දැන් නැවතත් මෙහි කතාබහ කරළියට පැමිණීමත් සමඟ බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකාවක වන Ektha Kapoor විසින් මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නට එකඟ වී තිබෙනවා.
Dream Girl – The Dirty Picture – Ek Villian – Udta Punjab – Freddy වැනි රසික ජනාදරය දිනගත් නිර්මාණ රැසක් නිෂ්පාදනය කළේ ඇයයි. ඊට අමතරව ඉන්දියානු රූපවාහිනිය තුළ ජනප්‍රිය කතාමාලා රැසක්ද ඇගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය කර තිබෙනවා.

මෙම චිත්‍රපටය සුප්‍රසිද්ධ Hera Pheri චිත්‍රපට මාලාවේ තුන්වන දිගහැරුම විය හැකි බවට ඇතැමුන් පැවසුවත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් ඒ බව තහවුරු කර නැහැ. ආක්ෂේ සහ ප්‍රියදර්ශන්ගේ සුසංයෝගයෙන් Hera Pheri පළමු චිත්‍රපටය නිකුත් වුනේ 2000 වසරේදී යි. එය ලැබූ සාර්ථකත්වය නිසා 2006 වසරේදී Phir Hera Pheri නමින් එහි දෙවන දිගහැරුමක් නිෂ්පාදනය වුවත් එය අධ්‍යක්ෂණය කළේ ප්‍රියදර්ශන් විසින් නොවෙයි.
ඒ නිසාම, සිය ප්‍රියතම අධ්‍යක්ෂකවරයා වන ප්‍රියදර්ශන්ගේ අධ්‍යක්ෂණය යටතේ නව Hera Pheri චිත්‍රපටයක් ගැන ප්‍රේක්ෂකයින් බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටියා. ආක්ෂේ – ප්‍රියදර්ශන් නව චිත්‍රපටයකට එක්වන බවට ආරංචි වීමත් සමඟ ඔවුන් බොහෝ දෙනෙකු මඟ බලා සිටින්නේ මෙම නව චිත්‍රපටය ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි Hera Pheri තුන්වන සීක්වල් චිත්‍රපටය වනු ඇත බවටයි.

තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති මෙම චිත්‍රපටය 2024 වසරේදී ඇරඹෙන බවට පැවසුවත්, බොහෝදුරට එය එළඹෙන වසරේ මුල් භාගය දක්වාම කල්ගත වන්නට පුලුවන්. ඊට හේතුව වන්නේ ආක්ෂේ රංගනයෙන් දායක වන තවත් චිත්‍රපට රැසකම රූගත කිරීම් මේ් වසර තුළ සිදු කරන්නට සැලසුම් කරමින් සිටින නිසායි.
Khel Khel Mein, Welcome to the Jungle, Housefull 5, Jolly LLB 3 ඇතුළු සිනමාපට පහකට වැඩි ප්‍රමාණයක් මෙලෙස එළඹෙන මාස කිහිිපය ඇතුළතදී රූගත කරන්නට නියමිතයි.

Share

109 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.