ඇමරිකානු කළු ජාතික කලාකරුවන්ටම වෙන් වූ NAACP Image Awards හි 54 වන දිගහැරුම
NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු entertainment ක්ෂේත්‍රය හා සබැඳිව සංවිධානය වන ඇගයීම් උළෙල අතුරින් දැකගත හැකි ප්‍රධානම සම්මාන රාත්‍රියක් ලෙසයි. Oscars සහ Grammy සම්මාන උත්සව මෙන්ම දැවැන්ත උළෙලක් වන මෙහි විවිධ අංශ 40කට අධික ප්‍රමාණයකට වාර්ෂිකව සම්මාන ප්‍රදානය කෙරෙනවා.
NAACP Image Awards හි විශිෂ්ටතම නිර්මාණ ඇගයීමේදී සිනමාව, ටෙලිවිෂනය, වේදිකාව, සංගීතය සහ සාහිත්‍යය යන වර්ගීකරණ පහම සැලකිල්ලට ගන්නා නමුත්, මෙහි සම්මාන පිරිනැමෙන්නේ එක් විශේෂ කාණ්ඩයට පමණක් වීමත් සැලකිය යුතු කරුණක්. National Association for the Advancement of Colored People හෙවත් NAACP සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන රාත්‍රිය වෙන් වෙන්නේ, අදාළ තරඟ අංශ තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ කළු ජාතිකයින් වෙනුවෙනුයි.
එනම් NAACP Image Awards වෙන්වෙන්නේ සිනමාව, සාහිත්‍ය, වේදිකාව ආදියෙන් දක්ෂතා දැක්වූ ඇමරිකානු කළු ජාතිකයින් උදෙසාම පමණයි.
හොලිවුඩයේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවලදී කළු ජාතිකයින්ට සිදුවූ නොසලකා හැරීම් නිසාත්, ඔවුන්ගේ නිර්මාණ සිතාමතාම ඉවත් කිරීම නිසාත් මීට වසර 55කට පෙර NAACP සංවිධානයේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කෙරුනා. මෙතෙක් NAACP Image Awards ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයක් ජයගත් තනි පුද්ගලයාගේ වාර්තාව සුප්‍රසිද්ධ ගායන ශිල්පිනී Beyonce සතුවන අතර මෙතෙක් ඇය දිනාගෙන තිබෙන NAACP සම්මාන ගණන 25ක්.
1967 අගෝස්තු 13වනදා පළමු වරට ඇරඹි මෙම උළෙලෙ හි 54වන දිගහැරුම පැවැත්වුනේ පසුගිය පෙබරවාරි 25 වනදායි. ග්‍රැමි සම්මානලාභී ගායන ශිල්පිනියක වන Queen Latifah මෙවර උත්සවයේ මෙහෙයවන්නිය ලෙස කටයුතු කළා. කාණ්ඩ දොළහක අවසන් නිර්දේශවීම් අතරට පැමිණෙමින් වැඩිම nominations ගණනක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්ව තිබුනේ Black Panther: Wakanda Forever සිනමාපටයයි. සම්මාන ප්‍රදානයේදීත් එය nominate වූ ප්‍රධාන කාණ්ඩ බොහෝමයකින් ජය ලබා, උත්සවයේ වැඩිම අවධානය ලක් වූ චිත්‍රපටය බවට පත් වීමටත් එයට හැකි වුනා.
කෙසේ වුවත් වසරේ විශිෂ්ටතම චිත්‍රපටය (Outstanding Motion Picture) ලෙසින්, උළෙලේ ප්‍රධානම සම්මානය දිනා ගත්තේ ද Black Panther: Wakanda Forever චිත්‍රපටයයි. එය සමඟින් හොඳම චිත්‍රපටය උදෙසා තරඟ වැදුනේ පසුගිය වසරේ ප්‍රේක්ෂක අවධානයට ලක්වූ A Jazzman’s Blues, Emancipation, The Woman King සහ Till යන නිර්මාණ කිහිපයයි. විල් ස්මිත් රඟපෑ Emancipation සිනමාපටය මෙවර හොඳම නිර්මාණය බවට පත් වේවියැයි බොහෝ දෙනෙකු විශ්වාස කළත්, එය පරදවමින් Black Panther: Wakanda Forever ජයග්‍රහණය කළා.
නමුත් රසිකයින් බලාපොරොත්තු වූ පරිදිම හොඳම නලුවාට හිමි සම්මානය ජයගැනීමට විල් ස්මිත් සමත්වුනා. ඒ Emancipation චිත්‍රපටය තුළ දැක්වූ කැපී පෙනෙන රංගනය වෙනුවෙනුයි. The Woman King වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනිය ලෙස ජයග්‍රහණය කළේ Viola Davis විසිනුයි. මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් . The Woman King චිත්‍රපටයටම ලැබුනු අතර එහි අධ්‍යක්ෂිකාව වූ Gina Prince-Bythewood විසින් එම සම්මානය බාර ගත්තා.
Black Panther: Wakanda Forever චිත්‍රපටය දිනාගත් සෙසු සම්මාන අතුරින් විශිෂ්ටතම සහාය නලුවාට හිමි සම්මානය සහ විශිෂ්ටතම සහාය නිළියට හිමි සම්මානයත් වැදගත්. Outstanding Supporting Actor in a Motion Picture කාණ්ඩය යටතේ එහි “නේමාර්ගේ” චරිතය නිරූපණය කළ Tenoch Huerta Mejía ද, Outstanding Supporting Actress in a Motion Picture කාණ්ඩය යටතේ එහි “රමෝඩා රැජිනගේ” චරිතය නිරූපණය කළ Angela Bassett ද සම්මානයට පාත්‍ර වුනා. මීට අතරව වසරේ හොඳම තිර පිටපත් රචනයට හිමි Outstanding Writing in a Motion Picture කාණ්ඩයේ ජයග්‍රහණයත් වකන්ඩා සිනමාපටය රචනය කළ Ryan Coogler විසින් දිනාගත්තා.
මෙවර NAACP උළෙලේදී හොඳම ජාත්‍යන්තර සිනමාපටය ලෙසින් ජය ගත්තේ Bantú Mama නැමැති ඩොමිනිකන් රාජ්‍යයේ නිෂ්පාදනය කළ නිර්මාණයයි. හොඳම ස්වාධීන චිත්‍රපටය බවට පත්වීමට The Inspectionට හැකියාව ලැබුනා. එය මීට පෙර Golden Globes නිර්දේශයට පවා ලක්වුනු චිත්‍රපටයක්.
වෘතාන්ත සිනමාපටයක දක්නට ලැබුනු හොඳම නලු නිළි තෝරා ගැනීම වෙනුවෙන් Black Panther: Wakanda Forever නැවත වතාවක් සම්මානයට පාත්‍ර වූ අතර Till සිනමාපටයෙ හි දැක්වූ රංගනය උදෙසා ජූරියේ විශිෂ්ට සම්මානයක් දිනා ගැනීමට Jalyn Hall සමත් වුනා.
Animation කාණ්ඩයේ සම්මාන අතුරින්, හොඳම පරිගණක සජීවීකරණ සිනමාපටය බවට පත් වුනේ Wendell & Wild සජීවීකරණ සිනමාපටයයි. මෙම කාණ්ඩයේ නිර්දේශවීම් අතරට
DC League of Super-Pets
Guillermo del Toro’s Pinocchio
Puss in Boots: The Last Wish
Turning Red වැනි ජනප්‍රිය ඇනිමේෂන් නිර්මාණ ගණනාවක්ම තේරීපත්ව තිබුනත් එහි ජයග්‍රහණය Wendell & Wildට හිමි වීම ගැන නම් රසිකයින් තුළ එතරම් සතුටක් දැකගත හැකිවුනේ නැහැ. ලෝ පුරා ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපට මාලාවක් වූ Toy Story හි සීක්වල් චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කළ Lightyear සජීවීකරණ සිනමාපටයේ ඉසීට හඬකැවූ Keke Palmer, ඇනිමේෂන් සිනමාපටයක තිබූ විශිෂ්ටතම හඬ කැවීමට හිමි සම්මානය දිනාගත්තා. හොඳම කෙටි සජීවීකරණ චිත්‍රපටය වූයේ More Than I Want To Rememberයි.
මීට අමතරව ඇමරිකානු ගායන ක්ෂේත්‍රය, රූපවාහිනී සහ සාහිත්‍යය උදෙසා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ කළු ජාතිකයින් රැසකට මෙවර NAACP උළෙලේදී සම්මාන පිරිනැමුනා.
Written by Kavinu Weerakkody