කදිර දිව්‍යරාජ – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 6, 2024 75 Views 0 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

මහාචාර්‍ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “කදිර දිව්‍යරාජ” සිනමාපටය ද, මෙවර 09වන දෙරණ Lux සිනමා (Derana Lux Film Awards) උළෙලේදී සම්මාන අංශ රැසකට නිර්දේශව තිබෙනවා.

මෙම සිනමාපටයට පාදක වී තිබෙන්නේ පටයට පාදක වී තිබෙන්නේ මෙරට ජනප්‍රවාදයේ එන ප්‍රසිද්ධ දේව කතාවක් වන, ශ්‍රී ස්කන්ධ (කඳ සුරිඳු) සහ වල්ලි මාතාවගේ කතා පුවතයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තිරගත වීම ඇරඹි මෙය සිංහල සිනමාවේ ආදායම් වාර්තා පවා අලුත් කරමින්, වාර්තාගත ආදායමක් රැස් කරගන්නටත් සමත් වුනා.

දෙවි කෙනෙකුට පෙම් කළ දෙවි කෙනෙකුගේ ප්‍රේමය ලද එකම මනුෂ්‍ය ස්ත්‍රිය ‘වල්ලි’ සහ මනුෂ්‍ය ස්ත්‍රියකගේ ආදරයේ ප්‍රාතිහාර්යය විඳීමටදෙව්ලොවින් මනුලොවට පැමිනි ‘ස්කන්ධගේ’ අපූර්ව ප්‍රේම වෘතාන්තය මෙම චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැකියි. පැවසෙන අන්දමට, සිංහල සිනමාවට නැඟුනු මුල්ම දේව කතාවක් ඇතුළත් සිනමාපටය වන්නේ ද මෙයයි.

ඉන්දියානු වෙළඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් වන සමර් විර්මානි (Samar Vermani), ස්කන්ධ හෙවත් කඳ සුරිඳුගේ චරිතය රඟන අතර වල්ලි මාතාවගේ භූමිකාව රඟපාන්නේ සෝනාක්ෂි රාවත් (Sonakshi Rawat) නැමැති තවත් දකුණු ඉන්දියානු නිළියක විසිනුයි.

කදිර දිව්‍යරාජ තිර පිටපත වසර 4-5කට වැඩි කාලයක් පර්යේෂණ කරමින්, කරුණු සොයමින් ලියූවක් වන අතර ඉන්පසුව වසරකට අධික කාලයක් පුරාවට, රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය සහ මෙරට දකුණු පළාත ආශ්‍රිතව චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවුනා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට අමතරව දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි. මෙය ඔහුගේ 25වන සිනමා අධ්‍යක්ෂණය වීම තවත් සුවිශේෂීත්වයක්!

1978 වර්ෂයේදී අනූපමා සිනමාපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු සරුංගලේ, බඹර ගීතය, උප්පලවණ්ණා, කුස පබා, පත්තිනි, ක්ෂීර සාගරය කැළඹින, විජයබා කොල්ලය වැනි ලාංකීය වාණිජ සිනමාවේ ජනප්‍රිය නිර්මාණ ගණනාවක් අධ්‍යක්ෂණය කළා.

මෙරට ජනප්‍රිය නලු නිළියන් බොහෝමයක් ද කදිරි දිව්‍යරාජ හි රංගන දායකත්වය ලබා දෙනවා.
නාරද ඍෂි ලෙසින් ජගත් චමිල
ගණ දෙවිඳු ලෙසින් හශාන් රත්නායක
අසුර සේනාවේ නායක- තාරක අසුර ලෙසින් වසන්ත කුමාරවිල
මහා බ්‍රහ්මයා ලෙසින් සම්පත් තෙන්නකෝන්
ශිව දෙවිඳු ලෙසින් සමිත හෙට්ටිගේ
දුටුගැමුණු කුමරු ලෙසින් චරිත් අබේසිංහ
කතරගම දෙවිඳුගේ බිරිඳ- තේවානි මාතාව ලෙසින් නදීපා රණසිංහ මෙන්ම,
රොශාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදාරි සිරිවර්ධන, රංගි රාජපක්ෂ, ෂෙල්ටන් කැකුලාවල ආදී ප්‍රසිද්ධ ලාංකීය නලු නිළියන් ගණනාවක්ම මෙම චිත්‍රපටයට සම්බන්ධව සිටිනවා.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකළේ චන්න දේශප්‍රිය විසිනි. ධම්මික හේවාදුත්ත කලා අධ්‍යක්ෂණයෙන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වුනා. නිමල් විජේසිරි සේනාධීර චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුයි. රවීන් කනිෂ්ක – නිරෝශා විරාජිනී ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනය සිදු කළා. සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසිනි. සටන් අධ්‍යක්ෂකවරයා සුමුදු අමල්කයි. චමත් පරණවිතාන චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයකරණයට එක්වුනා.
සංඛ අබේසිංහගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුනු කදිර දිව්‍යරාජ සිනමාපටයෙ හි සහාය අධ්‍යක්ෂකවරයා විමල් දේශප්‍රියයි. ප්‍රියන්ත දිසානායක මෙහි වේෂ නිරූපණ ශිල්පියායි. ඇඳුම් නිර්මාණකරණය වෙනුක වික්‍රමාරච්චිගෙනි.

Raigam Creations වෙනුවෙන් ‘කදිර දිව්‍යරාජ’ නිෂ්පාදනය කළේ ආචාර්ය රවී ලියනගේ විසිනුයි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

75 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.