කමිලගේ “Corona Possitive” වැඩ නිමවෙමින්

Avatar Nisanka Weheraduwa | November 24, 2020 219 Views 2 Likes 5 On 4 Ratings

219 Views 5 On 4 Ratings Rate it

කොරෝනා වසංගතයට මුහුණදෙමින්, හුදෙකලාව සිටින අතරතුර පසුගිය කාල වකවානුවේ බොහෝ දෙනෙක් තමන්ගේ කලා හැකියාවන්ට ඉඩක්, වෙලාවක් වෙන් කරනවා අපට දකින්න ලැබුනා. චිත්‍ර, නවකතා, කෙටිකතා, කවි, අත්කම් නිර්මාණ වගේ බොහෝදේ තනි පුද්ගල නිර්මාණ විදිහට එළියට ආවා. ඒ වගේම දුරස්ථ ක්‍රම වලින්  නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට, මාලා නාට්‍ය වැනි දේත් තිබුනා. කොරෝනා වසංගතය මර්ධනය වෙනුවෙන් කොළඹ නගරය හුදෙකලා කොට තිබෙන අවදියේ නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටයක් ගැන තොරතුරු දැනගන්න ලැබෙනවා. චිත්‍රපටයේ නම “CORONA POSSITIVE”. චිත්‍රපටයේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය කමිල මේදිස් විසින් සිදුකොට තිබෙනවා.

ප්‍රදේශ රැසක් හුදෙකලා කොට තිබෙන අවදියක නිර්මාණය කෙරුණ මේ කෙටි චිත්‍රපටයට අසල්වැසියන් හිතවතුන්ගේ දායකත්වය ලබාදුන් බවයි අධ්‍යක්ෂ කමිල මේදිස් පවසන්නේ. ටෙලිනාට්‍ය සහ කෙටි චිත්‍රපට රංගනයේ අත්දැකීම් සහිත රංගන ශිල්පිනියක වන ආශා විතානගේ මේ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඇය සමගින් අනෙක් ප්‍රධාන චරිතයට ජනප්‍රිය නිරූපණ ශිල්පියකු වන Tymeron Huban Carvalho රන්ගනයෙක් එකතු වනවා. සෙසු චරිත සඳහා චිත්රා අමරසිංහ,මාලනී දි සිල්වා, නදීශානි දයාරත්න රන්ගනයෙක් එක්ව තිබෙනවා. සහය අධ්‍යක්ෂණයෙන්  ලක්ෂිත රුද්‍රිගු, සම නිෂ්පාදනයෙන් අසංක කුමාර, නිෂ්පාදන කළමනාකරණයෙන් සංජු ඩිල්ශාන් සහ රනුක සෙනෙවිරත්න, සංගීත සංයෝජනයෙන් ගයාන් සඳමාල්  (Dhamorga Productions), වේශ නිරූපණයෙන්  ජාලිකා හර්ෂණි හා ඉන්ද්රානි ගල්ලැස්ස මේ නිර්මාණයට දායකත්වය ලබා දී තිබෙනවා.  අවශ්‍ය ඇඳුම් සැපයීමට ලහිරු බණ්ඩාරගේ දායකත්වය ලැබුන බව අධ්‍යක්ෂ කමිල මේදිස් පවසනවා.

මම ඉන්දියාවේ මුම්බායි වල FX Film පෞද්ගලික සිනමා පාසලෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය සහ තිර රචනය පිළිබඳ උපාධියක් ලබා ගත්ත. උපාධි පාඨමාලාවේ විවිධ අදියර වලදී මම නිර්මාණය කළ කෙටි චිත්‍රපට බොහොමයකට අන්තර්ජාතික ඇගයීම් මට ලැබුනා. ඉන්දියාවේදී මට YashRaj studio එකේ වැඩ කරන්න අවස්ථාව ලැබුනත් මට ඕන උනේ ලංකාවට ඇවිත් මගේ මව් භාෂාවෙන් මගේ රටේදී නිර්මාණ කරන්න. ඒ නිසා මම ලංකාවට ආවා. මම මේ වෙනකොට A Hope, Wheel Chair, Horizon කියන කෙටි චිත්‍රපට නිර්මාණය කරලා තියෙනවා. 2nd Ahamednagar Short Film Festival 2019, 9th CLAP national Film Festival 2019, Roshini International short film festival 2020, International inter university short film festival 2019, Indian panorama film festival Delhi 2019, first time film maker session 2019, The lift off session 2019, කියන චිත්‍රපට උළෙල වලදී හොඳම කතා සාරය, හොඳම කතාව, අධ්‍යක්ෂණය, වගේ සම්මාන කිහිපයක්ම ලබා ගන්නත් මට පුළුවන් වුනා.  ලංකාවේ පැවැත්වුණු Raigam SoMe Awardsහි ජනප්‍රිය කාණ්ඩයේ තරගකාරී අංශය නියෝජනය කිරීමට Horizon කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා. ඒ වගේම Wheel Chair කෙටි චිත්‍රපටය Jaffna International Film Festival 2020 නියෝජනය කරමින් පවතිනවා. මේ සැරේ මම නිර්මාණය කළ මේ “කොරෝනා පොසිටිව්” කියන කෙටි චිත්‍රපටය, කොරෝනා කාලය තුළම ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය කරන නිර්මාණයක්. කණ්ඩායමක් ලෙස මගේ මිතුරන්, අසල්වාසීන් කීපදෙනෙකු එකතු වෙලා තමයි මේ වැඩේ කලේ. ඉතින් ඒ සම්බන්ධ වුන උදවු කළ හැමෝටමත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ” කමිල cinema.lk සමග එලෙස පැවසුවා.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට ඇති හැකියාව ගැන විමසූ විට කමිල පැවසුවේ බොහෝවිට ජාතික සහ ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකට මෙය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ඉන් පසුව බොහෝවිට අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත්. කෙසේ නමුත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ළඟදීම නිකුත් කිරීමට ඔහු සූදානම්. චිත්‍රපටයේ අධ්‍යක්ෂ කමිල ඇතුළු කණ්ඩායමට cinema.lk වෙතින් සුබපැතුම්…!

Share

219 Views 5 On 4 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.