ගෙවී යන වසරේ underrated හින්දි සිනමාපට පෙළක්

Avatar Kavinu Weerakkody | December 31, 2021 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

2021 වසරේ නිකුත් වුණු බොලිවුඩ් සිනමාපට ගොන්නෙන් බහුතරයක් ඔබ දැනටමත් නරඹා ඇති. කෝවිඩ් තත්වය නිසා අඩපණ වූ ලෝක සිනමාව 2021 වසරත් සමඟ නැවතත් තමන්ගේ හුරුපුරුදු රිද්මයට පැමිණීම ආරම්භ කළා. ඉතින් උතුරු ඉන්දියාව ප්‍රමුඛ කරගත් බොලිවුඩ් සිනමාවෙනුත් ගුණාත්මක සිනමාපට විශාල ගණනක් නරඹන්න රසිකයින්ට අවස්ථාව උදා වුනා. ප්‍රධාන ධාරාවේ නලු නිළියන් රඟපෑ වාණිජ නිර්මාණ වගේම විචාරක කතාබහට ලක්වුණු සම්භාව්‍ය ගණයේ චිත්‍රපටත් මේ අතරේ තිබෙනවා.

නමුත් වැඩි රසිකයින් පිරිසකට ඇස නොගැටුණු, නැරඹිය යුතුම නිර්මාණ ගණනාවකුත් මේ වසර පුරාවටම ඉන්දියාවෙන් release වුණා. සමාජ මාධ්‍ය තුළ පවා ඒවාට එතරම් කතාබහක් ඇති නොවුණු නිසාම එවැනි නිර්මාණ කිහිපයක් ගැන විස්තර ගේන්නයි මේ ලිපියෙන් සූදානම් වෙන්නේ… බොහෝවිට ඔබ තවමත් නරඹා නැති එහෙත්, වසරේ නැරඹිය යුතුම හින්දි චිත්‍රපට විදිහට මේවා හැඳින්වූවත් වරදක් නැහැ!

State of Siege: Temple Attack – ZEE5

2002 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ අක්ෂර්ධම් (akshardham) දේවස්ථානයට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය අළලා තමයි State of Siege: Temple Attack චිත්‍රපටය නිර්මාණය වුනේ. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් ZEE5 හරහා අන්තර්ජාලයට නිකුත් වුණු වූ මෙය Ken Ghoshගේ අධ්‍යක්ෂණයක්. ඉන්දියාවෙන් වසරකට බොහෝ සිනමාපට ප්‍රමාණයක් බිහි වුණත්, War/Action චිත්‍රපට බිහිවෙන්නේ බොහොම අඩුවෙන්. ඊට හේතුව තමයි යුධමය චිත්‍රපට සඳහා වැය වන අධික පිරිවැය! නමුත් අධික පිරිවැයක් වියදම් නොකර ගුණාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීම එතරම් අභියෝගයක් නොවන බව State of Siege: Temple Attack නිෂ්පාදක කණ්ඩායම දැන් ඔප්පු කර අවසන්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එකතු වෙන්නේ Akshaye Khanna නැමැති රංගන ශිල්පියායි. ඔහු හොඳින් තෝරා ගත් තිරපිටපත්වලට පමණක් රංගනයෙන් එක්වන, නිතරම දැකගන්න ලැබෙන සිනමා නලුවෙක් නෙමෙයි. හැබැයි State of Siege: Temple Attack සමඟ Akshaye Khannaගේ, රසික ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබෙන බවත් දැකගන්න පුලුවන්. මෙහි ක්‍රියාදාම දර්ශනවලට ලැබුණු ධනාත්මක විචාරක ප්‍රතිචාර ඒ අතරින් විශේෂයි.

Sandeep Aur Pinky Faraar

Arjun Kapoor සහ Parineeti Chopra කියන්නේ බොහෝ දෙනෙක් කැමැත්ත දක්වන රංගන ශිල්පීන් දෙදෙනෙක් නෙමෙයි. අර්ජුන් සහ පරිනිති දෙදෙනාට ශක්තිමත් ප්‍රේක්ෂකාගාරයක් දැකගන්න ලැබෙන්නේත් නැහැ. ඒ නිසාම ඔවුන්ගේ බොහෝ නිර්මාණ ආදායම් අතින් සාර්ථක වෙන්න තිබෙන අවස්ථාව අඩුයි. නිර්මාණය මොන තරම් ගුණාත්මක වුණත්, ආදායම් වාර්තා පැත්තෙන් සාර්ථකත්වයක් දැකගන්න ලැබෙන්නේම නැහැ. මේ වසරේ නිකුත් වුණු ඔවුන් දෙදෙනා රඟපාන නවතම සිනමාපටය, Sandeep Aur Pinky Faraarට වුණෙත් එයමයි.

රාත්‍රී රාජකාරියක් සඳහා පිටත් වුණු පොලිස් නිලධාරියෙක් සහ කාන්තාවක් මුල් කරගමින් ගොඩ නැඟුනු මේ චිත්‍රපටය මුල සිටම කුතුහලයෙන් නරඹන්න පුලුවන්. Sandeep Aur Pinky Faraar තුළ මුල සිට අග දක්වාම දැකගන්න ලැබෙන්නේ අහම්බයක් නිසා මරණයෙන් ගැළවෙන ඔවුන් දෙදෙනාගේ කතාවයි. අනවශ්‍යකාරී අන්දමට දීර්ඝ වෙලා නැති නිසාම බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාව මේ චිත්‍රපටයට ලැබී තිබුනා. Dibakar Banerjeeගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු මෙහි නිෂ්පාදනය සහ තිර පිටපත රචනා කර තිබෙන්නේත් ඔහු විසිනි. හින්දි සිනමා රසිකයින් අතරේ ජනප්‍රිය නොවුණත් Sandeep Aur Pinky Faraar කියන්නේ ඔබ මඟ නොහැර ගත යුතු නිර්මාණයක්!

Kaagaz

වර්තමාන හින්දි සිනමාවේ සිටින ජනප්‍රියම චරිතාංග නලුවෙක් විදිහට Pankaj Tripathiව හඳුන්වන්න පුලුවන්. ඔහු රංගනයෙන් දායක වෙන නිර්මාණවල විවිධත්වය නිසාම ඔහු වටා එකතු වෙලා සිටින රසිකයින්ගේ සංඛ්‍යාවත් විශාලයි. Kaagaz, Mimi, Bunty Aur Babli 2 වැනි චිත්‍රපට ගණනාවකට 2021 වසරේදී Pankaj රංගනයෙන් සම්බන්ධ වුනා. ඔහුගේ බහුතරයක් නිර්මාණ වගේම Kaagaz කියන්නෙත් සමාජ ගැටලුවක් මුල් කරගත් චිත්‍රපටයක්. සුප්‍රසිද්ධ හින්දි නලු සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයක් වන මෙය Satish Kaushikගේ 14වන අධ්‍යක්ෂණයයි.

මීට පාදක වෙන්නේ අතපසුවීමක් නිසා මිය ගියා යැයි සඳහන් වුණු සාමාන්‍ය ගොවියෙකුගේ (භාරත්ලාල්) කතාවකුයි. ඔහු තමන්ගේ මරණය වැරදීමක් බවට සනාථ කරන්නට දරන උත්සාහය හාස්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් වුණත්, ප්‍රබල යටි පෙල අර්ථයක් මතු කරන්නට අධ්‍යක්ෂකවරයා උත්සාහ ගෙන තිබෙනවා. මේ වැරදීම නිසා ඔහුට තමන්ගේ රැකියාව අහිමි වෙනවා. බිරිඳ සහ දරුවන් අහිමි වෙනවා. නමුත් ඒ හැම බාධකයක්ම මඟ හරිමින් තමන්ට සාධාරණයක් ඉටු වන තුරුම ඔහු තමන්ගේ උත්සාහය ගෙනියනවා.

අවසානයේ කුමක් වෙයිද? භාරත්ලාල්ට ජය ගන්න හැකි වෙයිද? මේ ගැන දැනගන්නට නම් ඔබට Kaagaz නරඹන්නම සිදු වෙනවා!

Dial 100

මහ රෑක මැදියමේ පොලිස් හදිසි ඇමතුම් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ නොහඳුනන ස්ත්‍රියකගෙන්. තමන් මිනී මැරුමක් කරන්නට මාස ගණනක් තිස්සේ සැලසුම් කරපු බවත්, ඒ සඳහා තුවක්කුවක් පවා ගත් බවත් ඇය පොලීසියට කියනවා. අද දවස ඇතුළත තමන්ගේ සැලසුම සාර්ථක කර ගන්න පුලුවන් බවයි ඇය පොලීසියට ප්‍රකාශ කරන්නේ.

මේ නොහඳුනන ස්ත්‍රියගේ ඇමතුම බාර වෙන්නේ නිකිල් සූඩ් නැමැති පොලිස් නිලධාරියාට. නොහඳුනන ස්ත්‍රියකගෙන් මැදියමේ ලැබෙන දුරකතන ඇමතුමක් නිසා පොලිස් පරීක්ෂක නිකිල්ගේ මුලු ජීවිතයම කණපිට හැරෙනවා. Dial 100 කියන්නේ මේ දුරකතන ඇමතුමේ විස්තරේ!

24 කතා මාලාවේ ඉන්දියානු අනුවාදය තුළින් ජනප්‍රිය වුණු Rensil D’Silvaගේ නවතම අධ්‍යක්ෂණය වන Dial 100 චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදීයි. ප්‍රවීණ රංගන ශිල්පී Manoj Bajpayeeගේ දක්ෂ රංගනයෙන් සුපුරුදු පරිදිම චිත්‍රපටය හැඩ වෙලා තියෙනවා. අන්තර්ජාලයේ සඳහන් වන ආකාරයට මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ 2018 වසරේදී නිකුත් වුණු The Guilty නැමැති ඩෙන්මාර්ක් චිත්‍රපටයයි. ඔබ crime thriller ශානරයට උනන්දුවක් දක්වන අයෙක් නම්, වැඩි දෙනෙකුගේ ඇහැ නොගැටුණු මේ අපූරු චිත්‍රපටය ඔබට හොඳ තෝරා ගැනීමක් වේවි.

මීට අමතරව, සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් මේ වසරේදී OTT මාධ්‍ය හරහා නිකුත් වූ තවත් ගුණාත්මක හා ජනප්‍රිය බොලිවුඩ් නිර්මාණ විදිහට
Ajeeb Daastaans
Sardar Udham
Shershaah
Sherni
Mimi
The White Tiger
The Big Bull
Bhuj: The Pride of India
Pagglait වැනි චිත්‍රපටත් හඳුන්වන්නට පුලුවන්.

Share

59 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.