න්‍යශ්ටික ආයුධ පසුපස හඹා යන මලයාලම් සිනමාපටය: RAM

Avatar Kavinu Weerakkody | January 2, 2022 46 Views 0 Likes 5 On 1 Rating

46 Views 5 On 1 Rating Rate it

ලෝක සිනමාවේ බිහිවන ඇතැම් අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග දිහා ප්‍රේක්ෂකයින් බලා සිටින්නේ බොහොම විමසිල්ලෙන්. මොකද ඔවුන් හොඳාකාරයෙන් දන්නවා, මේ පුද්ගලයන් යම් සිනමාපටයක් වෙනුවෙන් එකට ගිවිසුම්ගත වුණොත් එතන අනිවාර්යෙන්ම බිහිවෙන්නේ “Massive” Hit එකක් කියලා… මේ කාරණාව දකුණු ඉන්දියානු සිනමාවටත් එක විදිහටම පොදුයි. දකුණු ඉන්දියානු සිනමාවෙනුත් මෙවැනි iconic pairings රාශියක්ම දැක බලාගන්න රසිකයින්ට අවස්ථාව තියෙනවා. දකුණු ඉන්දියාවේ ජනප්‍රියතම අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග අතරේ Jeethu Joseph – Mohanlal දෙදෙනාට තිබෙන්නේ සුවිශේෂි ස්ථානයක්.
අධ්‍යක්ෂක Jeethu Josephගේ චිත්‍රපට නිසා රංගන ශිල්පී Mohanlalගේ නම සමස්ත ඉන්දියාව තුළම නැවත ජනප්‍රිය වුණා වගේම, කුඩා ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන මලයාලම් සිනමාවට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක් ලැබුණා. පසුගිය අවුරුදු කිහිපය තුළ සීග්‍රයෙන් වර්ධනය වන මලයාලම් ජනප්‍රියත්වයට මූලිකම හේතුවක් විදිහට Jeethu Joseph – Mohanlal සුසංයෝගයෙන් බිහිවූ Drishyam (2013) චිත්‍රපටයත් සැලකෙනවා.

Drishyam 01 සහ 02 චිත්‍රපටවලට පසුව ඔවුන් දෙදෙනාගේ සහයෝගයෙන් රූපගත කිරීම් ඇරඹීමට නියමිත අලුත්ම චිත්‍රපටය වන්නේ RAM නැමැති මලයාලම් සිනමාපටයයි. 2019 වසරේ සිටම මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුණත් ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ එහි රූපගත කිරීම් තාවකාලිකව නවත්තන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදු වුනා. ඒ ප්‍රමාදය වළක්වා ගනිමින්, RAM සිනමාපටය වෙනුවට කෝවිඩ් තත්වය මධ්‍යයේම රූපගත කිරීම් සිදු කිරීමට හැකි වෙනත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ජිතූ ජෝසප් කල්පනා කරන්නේ මේ අතරවාරයේදී යි. ඒ අනුව කේරළයේ ඉතාම සුලු දර්ශන තල ප්‍රමාණයකට සීමා වෙමින් මෝහන්ලාල් ප්‍රධාන චරිතය රඟන 12th Man  චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගිය අගෝස්තු මාසයේදී ඇරඹුනා. මේ වනවිට 12th Man හි පසු-නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් වී තිබෙන අතර මේ වසර මැද භාගයේදී Amazon Prime Video හරහා චිත්‍රපටය නිකුත් කිරීමට කටයුතු සූදානම් බවටත් පැවසෙනවා.

ඒ අනුව Drishyam, Drishyam 2: The Resumption සහ 12th Man යන චිත්‍රපටවලට පසුව ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වන 04වන නිර්මාණය වන්නේ මෙම RAM මලයාලම් චිත්‍රපටයයි. පසුගිය දිනයක පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අධ්‍යක්ෂක ජිතූ ජෝසප් විසින් RAM ගැන නවතම තොරතුරු රාශියක් මාධ්‍යයට අණාවරණය කළා.  12th Man චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් නිසා, තමන් මේ දිනවල වැඩිපුරම අවධානය යොමු කරන්නේ RAM හි ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා බවයි ඔහුගේ අදහස වුණේ. මේ චිත්‍රපටය Mass-Cinema ගණයේ දැවැන්ත entertaining චිත්‍රපටයක් මිසක්, Drishyam වැනි වෙනස් මාදිලියක කතාවක් නොවන බවත් ඔහු එහිදී පවසා සිටියා.

නමුත් Mass-Cinema කියූ පමණින්, තනි අතින් මැරයන් රොත්තකට පහර දෙන larger-than-life චරිතයක් විදිහට මෝහන්ලාල්ව බලාපොරොත්තු වෙන්න එපා කියලයි ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේ.
විශාල පිරිසකගේ කැපකිරීම මත, බොහොම තාත්වික අන්දමින් නිමැවුණු emotions සහ actions චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබේවි යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. එහිදී සාකච්ජා වුණු අන්දමට Jeethu Josephගේ සිනමා ජීවිතය තුළ වැඩිම වියදමක් දරා නිෂ්පාදන කළ චිත්‍රපටය වන්නේ ද මෙය වනවා. Abhishek Films සිනමා ආයතනය වෙනුවෙන් Ramesh P. Pillai, Sudhan S. Pillai සහ Ganesh V. Pillai යන සහෝදරයින් තිදෙනා එක්ව නිෂ්පාදනය කරන RAM හි නිෂ්පාදන පිරිවැය ආසන්න වශයෙන් ඉන්දීය කෝටි 25කට අධික බවත් අන්තර්ජාලයේ සඳහන්!

Mohanlal ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි ප්‍රධාන කාන්තා චරිතයට තෝරාගෙන තිබෙන්නේ දමිළ නිලි Trisha Krishnanවයි. Trishaව ප්‍රධාන කාන්තා චරිතය සඳහා අධ්‍යක්ෂකවරයාට යෝජනා කර තිබෙන්නේත් Mohanlal විසින් වීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනා IPS සිවිල් නිලධාරීන් දෙදෙනෙකු ලෙස රංගනයෙන් දායක වන RAM චිත්‍රපටය Action Thriller ශානරයට අයත් වන්නක්. Mohanlal හා Trisha Krishnanට අමතරව Indrajith Sukumaran, Suman, Suresh Chandra Menon, Adil Hussain වැනි දෙමළ – තෙළිඟු – හින්දි – මලයාලම් රංගන ශිල්පීන් බොහෝ දෙනෙක්ව මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිත හරහා දැකගන්න පුලුවන්. මලයාලම් භාෂාවට සමගාමීව තෙළිඟු හා දමිළ භාෂාවලින් මෙය ප්‍රදර්ශනය කිරීමටත් නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙනවා.

RAM සිනමාපටයේ පෙර-නිෂ්පාදන කටයුතු ඇරඹුණේ මීට මීට වසර 03කට පෙර 2019 වසරේ අග භාගයේදීයි. Drishyamට පසුව මෝහන්ලාල් සහ ජිතූ තවත් සිනමාපටයක් වෙනුවෙන් ගිවිසුම්ගත වූ බව බොහෝ දෙනෙක් පැවසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වුනේ 2019 සැප්තැම්බර් මාසයේදීයි. ඒ සමඟම ත්‍රිෂාගේ චරිතය ගැනත් මාධ්‍යයට අණාවරණය වුනා. ඉන්පසුව චිත්‍රපටයේ පූජා උත්සවය සහ මාධ්‍ය සාකච්ඡාව තබමින් title announce කළේ 2019 දෙසැම්බර් 16වනදා යි.

තමන්ගේ Drishyam චිත්‍රපටය නරඹපු Pillai සහෝදරයින් මෝහන්ලාල් සමඟ තවත් චිත්‍රපටයක් සිදු කරන්නට Jeethuට ආරාධනා කරපු බවත්, ඒ ආරාධනාවෙන් වසර තුනකට පසුව තමන් ඉදිරිපත් කරපු තිර පිටපතකට ඔවුන් කැමැත්ත පළ කළ බවත්, චිත්‍රපටයේ පූජා උත්සවය දිනයේ අධ්‍යක්ෂක Jeethu Joseph පැවසුවා.  පූජා උත්සවය දිනයේදී 2020 ඔක්තෝබර් 20 වනදා සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන බවට නිෂ්පාදකවරුන් දැනුම් දුන්නත්, කෝවිඩ් වසංගත තත්වය නිසා 2022-2023 අතර දිනයක් තෙක් එය කල් දමන බව පසුකාලීනව දැනුම් දුන්නා.

චිත්‍රපටයේ මාධ්‍ය සාකච්ඡාව දිනයේ එළි දැක්වුණු RAM Title posterයේ දැකගන්න ලැබුණු Mohanlalගේ stylish පෙනුම නිසාම, බොහෝ රසිකයින් ඉඟි පළ කළේ Lucifer චිත්‍රපටයෙන් අනතුරුව යළිත් මෝහන්ලාල් රඟන dark – side චරිතයක් මේ තුළින් දැකගන්න ලැබේවි කියලයි. චිත්‍රපටයේ storyline details තවමත් දැනගන්නට නොලැබුණත්, කාලීන ප්‍රශ්නයක් ගැන මෙහි කතාව දිවෙන බවටයි ආරංචි වෙන්නේ…  න්‍යශ්ටික ආයුධ කිහිපයක් පසුපස හඹා යන ඉන්දීය නිලධාරීන් කිහිප දෙනෙකුගේ කතාවක් මෙහි ඇතුළත් බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කළත් ඒ පිළිබඳව කිසිවක් තහවුරු වී නැහැ.

කේරළයට අමතරව දිල්ලි, ධනුෂ්කොඩි, චෙන්නායි ආදී ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක රූපගතකිරීම් සිදු කළ මෙහි ඇතැම් සිද්ධීන්ට විදේශ රටවල දර්ශන තල කිහිපයකුත් යොදා ගැනීමට නියමිතයි. ඊජිප්තුව, බ්‍රිතාන්‍යය සහ තුර්කිය ආශ්‍රිතව සිදු කිරීමට නියමිත එම රූගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නමත් දැකගන්න පුලුවන්!
Mohanlal රඟන ක්‍රියාදාම දර්ශන කිහිපයක් කොළඹ නගරයේදී සිදු කිරීමට නියමිත තිබුණත්, කෝවිඩ් වසංගත තත්වය හමුවේ එය නවතා දැමුණු බවයි කේරළ මාධ්‍ය වාර්තා කරන්නේ. ජිතූ අධ්‍යක්ෂණය කරන 17වනි නිර්මාණය වන මෙහි කැමරාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ Satheesh Kurup විසිනුයි. V. S. Vinayak සංස්කරණ ශිල්පියා වශයෙනුත් Vishnu Shyam සංගීත අධ්‍යක්ෂවරයා වශයෙනුත් එක්ව සිටිනවා.

ගෝලීය කෝවිඩ් වසංගතය යම් තාක් දුරකට හෝ නැවත පාලනය වූවොත්, මෙම වසර අග භාගයදී හෝ RAM නරඹන්නට ලෝ පුරා මලයාලම් රසිකයින්ට හැකියාව ලැබේවි..

Share

46 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.