බයිස්කෝප් කතා: ස්විප් ටිකට් (1965)
පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ෆ්ලොරිඩා ජයලත් අධ්‍යක්ෂණය කළ, 1965දි තිරගත වූ “ස්විප් ටිකට්” චිත්‍රපටය වෙනුවෙනුයි.
තිරගත කළ දිනය – 1965/11/05
121වන චිත්‍රපටය
අධ්‍යක්ෂණය – ෆ්ලොරිඩා ජයලත්
නිෂ්පාදනය – ආර්. රාජබ් අලී (RR FILMS)
ලාංකීය සිනමා ඉතිහාසය තුළ අධ්‍යක්ෂකවරුන් අතිවිශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මෙරට සිනමාව මුල සිට මේ දක්වාම කාන්තා අධ්‍යක්ෂකවරියන් දක්නට ලැබෙන්නේ බොහොම සුලු ප්‍රමාණයක්. නමුත් ඔවුන් විසින් මෙරට සිනමාවට දැක්වූ දායකත්වය නම් කිසිසේත්ම සුලුපටු නැහැ.
එම කාන්තා අධ්‍යක්ෂකවරියන් අතුරින් ප්‍රථමයා ලෙස හැඳින්වෙන්නේ ෆ්ලොරිඩා ජයලත් මහත්මියයි. ඇය පළමු වරට අධ්‍යක්ෂණය කළ මේ “ස්විප් ටිකට්” සිනමාපටය, මෙරට කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය ලෙසට වාර්තා පොතට එක්වුනා.
’70 දශකයේ සිනමාව තුළ දක්නට ලැබුනු දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය කලෙක, ලංකාවේ සිටි ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙසත් හඳුන්වනවා. මෙරට සිටි නිළියක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි පළමු අවස්ථාව ලෙස හැඳින්වෙන්නේ ද මෙම අවස්ථාවයි.
සිංහල සිනමාවේ ස්වර්ණතම දශකවල සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ෆ්ලොරිඩා ජයලත් රඟපෑ සෑම චිත්‍රපටයක්ම පාහේ අතිශය සාර්ථක වුනා. රසික ජනප්‍රියතාවයෙන් කිසිවෙකුට සම කළ නොහැකි මට්ටමක සිටි ඇය කාගේත් ආදරය දිනූ රංගන ශිල්පිනියක්.
සැඟවුන පිළිතුර, සුජාතා, සැඩ සුළං, සරදම, සේපාලි, සුවිනීත ලාලනී වැනි චිත්‍රපට එසේ ඇගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ ජනප්‍රිය නිර්මාණ කිහිපයක්… ඒවා ආදායම් වාර්තා බිඳ හෙළමින් දිවයින පුරා සිනමාශාලාවල එකල තිරගත වුනා.
එපමණක් නොවෙයි, භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් ලවා පසුබිම් ගීතයක් ගායනා කරවා ගත් ප්‍රථම සහ එකම ලාංකීය නිලිය වන්නේ ද ෆ්ලොරිඩා ජයලත් මහත්මියයි. ඒ 1955 වසරේදී සැඩ සුළං සිනමාපටය වෙනුවෙනුයි.
එසේ සාර්ථක නිළියක වූ ෆ්ලොරිඩා ජයලත්, තමන් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයෙන්ම සාර්ථක අධ්‍යක්ෂිකාවක ලෙසත් රසිකයින් අතරේ නම තබා ගන්නට සමත් වූවා. ආදයම් වාර්තා තමබින් තිරගත වූ ඇගේ “ස්විප් ටිකට්” (1965) චිත්‍රපටය එම වසරේ වැඩිම ආදායම්ලාභී චිත්‍රපට ලැයිස්තුවටත් එකතු වී තිබෙනවා.
විචාරකයින් පවසන පරිදි, මෙතෙක් ලාංකීය සිනමාවෙන් බිහිවූ හොඳම විනෝදාත්මක චිත්‍රපට 05 අතරට ද “ස්විප් ටිකට්” (1965) ඇතුළත්!
අධ්‍යක්ෂක – ෆ්ලොරිඩා ජයලත්
නිෂ්පාදක – ආර්. ආර්. රාජබ් අලී
කැමරාකරණය – ලෙනින් මොරායස්
රංගන ශිල්පීන් –
ජෝ අබේවික්‍රම, ෆ්ලොරිඩා ජයලත්, සුදේශ් ගුණරත්න, බන්දු මුණසිංහ, අසෝක පොන්නම්පෙරුම, එම්.වී. බාලන්, විජිතා මල්ලිකා, රීටා රත්නායක, චාන් කොලින්, ඩී නෙත්ති කුමාර, ඩී ගුණසේන, වර්ණා කැස්පර්ස්
ස්විප් ටිකට් සඳහා පසුමිබ් ගායනයෙන් එච් ආර් ජෝතිපාල එක්ව සිටින අතර ඔහු විසින් මේ චිත්‍රපටයට ගායනා කළ ගීත කිහිපයක් ම අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. ආවා සොයා ආදරේ, මෙලෝකේ සියල්ලෝ වැනි ජෝතිපාලගේ ජනප්‍රියම ගීත කිහිපයක්ම ඔහු විසින් ගායනා කර තිබෙන්නේ මේ සිනමාපටය වෙනුවෙනුයි.
ඒ සියලුම ගීත හින්දි තනු ආශ්‍රයෙන් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්! ඊට අමතරව ඇන්ජලී ගුණතිලක සහ සුජාතා පෙරේරා ද ස්විට් ටිකට් පසුබිම් ගායනයට සම්බන්ධව තිබෙනවා.
මෙහි තිර පිටපත් රචනයෙන් සහාය වී තිබෙන්නේ ලෙනින් මොරායස් වන අතර ස්විප් ටිකට් කැමරාකරණය සිදු කර තිබෙන්නේ ද ඔහු විසිනි.
ජෝ අබේවික්‍රමගේ විශිෂ්ට රංගනයක් සහිත ස්විප් ටිකට් චිත්‍රපටය ආදායම් වාර්තා අතින් මෙන්ම විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර තුළිනුත් හොඳ සාර්ථකත්වයක් ලැබූ නිර්මාණයක්…
Written by Kavinu Weerakkody