බිමල් සහ මහේන්ද්‍ර රඟන “අවාළු පැහැ වළාකුලක්” රූගත කිරීම් ඇරඹෙයි

Avatar Kavinu Weerakkody | June 23, 2023 168 Views 0 Likes 0 Ratings

168 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාවට එක්වන තවත් අලුත්ම දිගු වෘතාන්ත චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සහ මූලික රූපගත කිරීම් පසුගියදා ආරම්භ වුනා.

ඒ රුක්මල් නිරෝෂ්ගේ “අවාළු පැහැ වළාකුලක්” නැමැති සිංහල සිනමාපටයයි. දශක ගණනාවක් පුරාවට ලාංකීය සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින රුක්මල් නිරෝෂ්, නලුවෙක් සහ සංස්කරණ ශිල්පියෙක් වශයෙන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට එක්ව තිබෙනවා.
නමුත් ඔහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන පළමු වතාව වන්නේ මෙයයි.  “අවාළු පැහැ වළාකුලක්” රුක්මල් නිරෝෂ්ගේ පළමු සහ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

මෑතකාලීන සිනමාවේ දක්ෂ – චරිතාංග නලුවන් දෙදෙනෙකු ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන බිමල් ජයකොඩි සහ මහේන්ද්‍ර පෙරේරා මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. රංගන ශිල්පිනී ඩිනාරා පුංචිහේවා ත්, නැඟී ගෙන එන තරුණ නලුවෙකු වන මෞලි දුෂ්මන්ත ත්, “අවාළු පැහැ වළාකුලක්” සිනමාපටයේ සෙසු චරිත තුළින් ඔබට දැකගත හැකියි.

සිනමාපටයේ රූපගත කිරීම් ඇරඹුනු පළමු දිනයේ ඡායාරූප කිහිපයක් පහතින් >>>>

අධ්‍යක්ෂණයට අමතරව “අවාළු පැහැ වළාකුලක්” සිනමාපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ද රුක්මල් නිරෝෂ් විසිනුයි.මීට පෙර හිතුමතේ ජීවිතේ, බිම්බා දේවි හෙවත් යශෝදරා, ද නිවුස්පේපර් වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම සංස්කරණ ශිල්පියා ලෙසින් ඔහු සම්බන්ධ වුනා.
රංගන ශිල්පියෙකු ලෙසිනුත් නිර්’මාණ කිහිපයකින්ම ඔහු රසිකයින්ට සමීප වූ අතර 28, අසන්ධිමිත්තා, කලම්බෝ ආදිය ඔහු රඟපෑ චිත්‍රපට අතුරින් කිහිපයක්…

“අවාළු පැහැ වළාකුලක්” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කරන්නේ මංජුල අයගමයි. අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වනවා. වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත්, ශබ්ද සංයෝජනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චිත් එක්වීමට නියමිතයි.

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන චන්න දේශප්‍රිය විසිනුයි. අස්වැසුම, මේ මගේ සඳයි, පත්තිනි, විජයබා කොල්ලය, ඇල්බොරාදා, හෝ ගානා පොකුණ ආදී ලාංකීය චිත්‍රපට 30කට අධික ප්‍රමාණයකට ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබෙනවා. මෑතකදී තිරගත වූ “ක්ෂීර සාගරය කැළඹිණ” සිනමාපටයෙ හි කැමරාකරණය හැසිරවූයේ ද චන්න දේශප්‍රියයි.

අධ්‍යක්ෂක රුක්මල් නිරෝෂ් සමඟින් අවාළු පැහැ වළාකුලක්’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ නවකතාකරුවෙකු සහ මාධ්‍යවේදියෙකු වන මංජුල වෙඩිවර්ධනයි.
ජනප්‍රිය සංගීතවේදී කසුන් කල්හාරගේ ස්වර රටාමාලාවලින් චිත්‍රපටය සංගීතවත් වීමට නියමිතයි. කසුන් කල්හාර මෙලෙස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ වසර ගණනාවකට පසුවයි.

“අවාළු පැහැ වළාකුලක්” හසිත බස්නායකගේ නිෂ්පාදනයකි.

Share

168 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.