මන්දාරා – සිංහල සිනමාවට එක්වන අලුත්ම චිත්‍රපටය
බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග සමඟින් මේඝ සූරියආරච්චි ප්‍රධාන චරිත රඟපාන මන්දාරා නවතම සිංහල චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා හල්වලදී සාර්ථකව තිරගත වනවා. පවුලේ සැමට නැරඹිය හැකි අපූරු කතා තේමාවක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වාම, ආදරය – ත්‍රාසය – කුතුහලය කැටි කරගත් නිර්මාණයක් ද වනවා.
මන්දරා සිනමාපටය ගෙතෙන්නේ හදිසි අනතුරක් නිසා අහම්බයකින් මුණගැසෙන විශ්ව සහ මන්දාරා නැමැති තරුණ පෙම්වතුන් යුවල වටායි. මාපියන්ගේ විරෝධය නොතකා ඔවුන් විවාහ වන නමුත්, කෙටි කාලයක් ගත වෙත්ම ඔවුන්ගේ ජීවිතය යළිත් දෙදරා යනවා.
ඒ ගැබිණි මන්දාරාට විශ්ව එල්ල කළ පහරක් නිසා ඔවුන්ගේ දරුවා මිය යෑමත් සමඟයි. මේ සිදුවීම නිසා විශ්ව සහ මන්දාරා විවාහයෙන් වෙන්වීමට තීරණය කරන අතර ඔවුන් දෙදෙනාම ජීවත් වන්නේ දැඩි කලකිරීමකින්…
මිනීමරු ඥාතියෙකුගෙන් බේරී, ඈත කඳුකරයේ සිට කොළඹට පලා එන යශෝරා නැමැති සිඟිති දියණියව ඔවුන්ට මුණ ගැසෙන්නේ මේ අතරවාරයේ දීයි. දේපළ උරුමයට කෑදරකමින්, තමන්ව ඝාතනය කරන්නට පැමිණෙන භාරත නැමැති මිනීමරුවාගෙන් පලා එන යශෝරාව රැක කරගන්නට ඉදිරිපත් වන්නේ විශ්වයි.
සුන්දර ගැමි පරිසරයත් ජනාකීර්ණ කොන්ක්‍රීට් නගරයත් පසුබිම් කොට මැවෙන මන්දාරා, මේ ජීවිත හතරේ ඉරණම කියාපාන සුන්දර වෘතාන්තයක්…
විශ්වගේ චරිතය මේඝ සූරියආරච්චි සහ මන්දාරාගේ චරිතය චුලක්ෂි රණතුංග විසින් නිරූපණය කරනවා. භාරතගේ චරිතය රඟපාන්නේ බිමල් ජයකොඩි යි. ඊට අමතරව සහේලි සතරසිංහ, සේමිණී ඉද්දමල්ගොඩ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මුතූ තරංගා, වසන්ත විට්ටච්චි වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක් මෙයින් ඔබට දැකගත හැකියි.
හසුරුවා ගත නොහැකි කෝපයේ පිපිරුමට හසුවී සුන්නද්දූලි කරගත් ආදර කතාවක අතරමං වූ විශ්වටත්, ප්‍රේමය පසුපස හඹා ගොස් දිනනු නොහැකි වූ අතිදක්ෂ ක්‍රීඩා තාරකාවක වන සුරූපී මන්දරාටත් අවසානයේදී කුමක් සිදුවෙයිද?
තම කුරිරු මහප්පා වන භාරතගේ මරණ වරෙන්තුවෙන් ගැලවී පලා එන යශෝරා නැමැති අහිංසක අනාථ දැරිවිය ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තු ඇති කරයිද?
නැතහොත්, වෛරයේ ගිනිසිළු අතරින් යශෝධරාව සොයා එන භාරත ඒ බලාපොරොත්තු සුන් කරයිද?
මේ ගැන දැනගන්නට නම්, ඔබට ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිනමාපටය නරඹන්නට ම සිදුවනවා!!
මන්දාරා සිනමාපටය අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ විසින් මීට පෙරත් මෙරට සිනමාවට ජනප්‍රිය වාණිජ සිනමාපට රැසක් දායාද කළා. දැහැන සිනමාපටය තුළින් 1998 වසරේදී සිනමාවට පිවිසෙන ඔහු අරුමෝසම් වැහි (2002), ආදරණීය කතාවක් (2016), දේදුනු ආකාසේ (2017) වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළා. මන්දාරා චිත්‍රපටයට පසුව, “සූරිය සුළඟ” නමින් ඔහුගේම තවත් සිනමාපටයක් ළඟදීම ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා.
මන්දාරා චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි එකතුවෙනි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් සහ, රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයෙන් මීට එකතු වුනා.
මංගල ප්‍රනාන්දු සහ ලෙස්ලි වීරසිංහ කලා අධ්‍යක්ෂණය සිදු කළ අතර ශබ්ද පරිපාලනය ඩිරාන් විජේසිංහයි. ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුනු මන්දාරා චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය දසුන් කොළඹගේ විසිනි. සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ යි. විශාරද සමන්ත පෙරේරා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයායි.
මන්දාරා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින් >>>>>>
චිත්‍රාල් සෝමපාල සහ මහේන් පෙරේරා එකතුවෙන් මෙහි සංගීත තනු නිර්මාණය කොට තිබෙනවා. මන්දරා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ද මහේන් පෙරේරා විසින්මයි.
Regal, PVR, Lite Cinemas ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී ඔබට දැන් මේ අපූරු සිනමා නිර්මාණය රස විඳිය හැකියි.
Written by Kavinu Weerakkody