ආදරය වෙනුවෙන් පළිය ගත් රතීගේ කතාව නුදුරේදීම
ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ විසින් ප්‍රධාන චරිත සඳහා එක්වන රතී නැමැති අලුත්ම සිංහල සිනමාපටය ළඟදීම තිරගත කිරීමට නියමිතව තිබෙනවා.
රතී අධ්‍යක්ෂණය කරන්නේ මෙරට ජනප්‍රිය සිනමාපට රැසක් ඔබ වෙත ගෙනා සුදේශ් වසන්ත පීරිස් විසිනි. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අවසන් වරට රඟපෑ ‘සීරුවෙන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඔහුයි.

රතී සිනමාපටය ගෙතෙන්නේ ධනවත් පවුලක ජීවත් වන මේනකා නැමැති රූමත් තරුණිය වටායි. Facebook තුළින් හඳුනාගන්නා සුරාජ් නැමැති තරුණයෙකු හා ඇය පෙමින් බැදුනත්, ඔහු මේනකාව රවටා දමා ඇගේ මුදල් රැගෙන පලා යනවා. මේ අනපේක්ෂිත විරහා වේදනාවේ පළිය ගන්නා මේනකාගේ කතාව එතැන් පටන් රතී සිනමාපටයෙන් දිග හැරෙනවා…
ඩිස්නි සහ චමීර සමඟින් චාන්දනී සෙනෙවිරත්න, කසුනි කාවින්දි, ග්‍රේස් තෙන්නකෝන්, රොජර් සෙනෙවිරත්න, ගීතා කාන්ති ජයකොඩි ඇතුලු තවත් නලු නිලියන් රැසක් මෙයින් දැකගන්නට පුලුවන්.

සරත් ධර්මසිරිගේ තිර රචනයෙන් හැඩවුනු මෙය ගාමිණී මොරගොල්ලාගමගේ කැමරා අධ්‍යක්ෂණයක්. කේෂාන් පෙරේරා සංගීත නිර්මාණයෙන් සහ තිවංක අමරසිරි සංස්කරණයෙන් මීට එක්වනවා. ශබ්ද සැලසුම්, ශෂික රුවන් මාරසිංහගෙනි.
ආදරයේ විශ්වාසය බිඳ වැටෙන විට, කාන්තාවකගේ පළිගැනීම කොතරම් නම් රුදුරු විය හැකිද..?
රතී සිනමාපටයෙන් ඔබට ඒ කතාව නරඹන්නට පුලුවන්.
ළඟදීම දිවයින පුරා සිනමා හල්වලදී රතී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.
Written by Kavinu Weerakkody
