මාරි සෙල්වරාජ් කබඩි චිත්‍රපටයකට සූදානම් වෙයි

Avatar Kavinu Weerakkody | December 25, 2021 25 Views 0 Likes 0 Ratings

25 Views 0 Ratings Rate it

කොලිවුඩ් සිනමාවේ වර්තමාන තරුණ පරපුර නියෝජනය කරන දක්ෂතම සිනමාකරුවෙකු විදිහට Mari Selvarajව හඳුන්වන්නට පුලුවන්. තමන්ගේ දෙවන චිත්‍රපටය වූ Karnan තුළින් ඔහු ඒ බව නැවතත් සනාථ කළා.  Karnan සිනමාපටයෙන් පසු Mari Selvarajගේ අලුත්ම නිර්මාණයේ වැඩ කටයුතු මේ වනවිට ඇරඹිලා තියෙනවා. ඒ ප්‍රවීණ රංගන ශිල්පී වික්‍රම්ගේ (Chiyaan Vikram) පුත්‍රයා වන Dhruv Vikram සමඟින්…

Karnan චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය වන දිනවල සිටම Dhruv සහ Mari සුසංයෝගය ගැන නිල නොවන ආරංචි පළ වුණත්, එහි වැඩිදුර විස්තරයක් දැන ගන්නට ලැබුණේ නැහැ. නමුත් අද වනවිට පිළිගත් කොලිවුඩ් මාධ්‍ය ගණනාවක්ම මේ ආරංචිය තහවුරු කර තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටයට සම්බන්ධ ඡායාරූප පවා අන්තර්ජාලයේ දැකගන්න ලැබෙනවා. ඔවුන් වාර්තා කරන අන්දටම මේ නිර්මාණය Sports based ක්‍රියාදාම චිත්‍රපටයක්ලු. නමුත් Mari Selvarajගේ සිනමා භාවිතයේ තියෙන වෙනස්කම් නිසා මසාලා ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක් නම් අපිට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නට බැහැ. සුපුරුදු පරිදිම ග්‍රාමීය ප්‍රදේශයක් මුල් වුණු කතා තේමාවක් මේ නිර්මාණයේදීත් රසිකයින්ට දැක ගන්නට හැකි වේවි.

ප්‍රමුඛ පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදිහට Mari විසින් Dhruv Vikramට යෝජනා කර තිබෙන්නේ ගම්බද ප්‍රදේශයක කබඩි ක්‍රීඩාව මුල් කරගත් පිටපතක්. ඒ වගේම Dhruv ඊට කැමැත්ත පළ කරලා තියෙනවා. නමුත් ඔහුගේ අවශ්‍යතාවය මත පිටපතේ ඇතැම් කරුණුවල වෙනස්කම් කිහිපයක් කරන්නටත් දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. Mari Selvarajගේ පෙර චිත්‍රපට විලසටම, මේ තුළිනුත් සමාජ ගැටළුවක් පිළිබඳව සිදු කෙරෙන යටිපෙළ සංවාදයක් ගොඩ නඟන්නට අධ්‍යක්ෂකවරයා උත්සාහ කරනු ඇති බවට රසිකයින් දැනටමත් ඉඟි පළ කර තිබෙනවා. මේ දිනවල Dhruv Vikram තමන්ගේ චරිතය වෙනුවෙන් පෙර පුහුණුවීම් සිදු කරමින් සිටින බවටයි ආරංචි වෙන්නේ. ඔහු කබඩි උපදේශකයෙකු යටතේ කබඩි පුහුණුවීම්වල නියෙළෙන බවටත් අන්තර්ජාලයේ සඳහන්…
නමුත් Dhruv හැර චිත්‍රපටයට සම්බන්ධ වන අනෙකුත් නලු නිළියන් ගැන තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.

වර්තමාන දමිළ සිනමාවේ වෙනස්ම සිනමා භාවිතයක යෙදෙන Mari Selvaraj මේ වනවිට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ චිත්‍රපට දෙකක් පමණයි. 2018දී නිකුත් වුණු Pariyerum Perumal තුළින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත් ඔහු සිනමා සම්මාන උළෙලවල් විශාල ප්‍රමාණයකදී සම්මානයටත් පාත්‍ර වුනා. 66වන Filmfare (South) උළෙලේදී හොඳම දෙමළ සිනමාපටය ලෙසින් සම්මානයට පාත්‍ර වුණෙත් ඔහුගේ Pariyerum Perumal චිත්‍රපටයයි. ඉන් වසර තුනකට පසුව 2021දී Mari Selvaraj සහ Dhanush සුසංයෝගයෙන් නිපදවුණු Karnan සිනමාපටය ගැනත් බොහෝ විචාරකයින් දරන්නේ ධනාත්මක ප්‍රතිචාරයක්! එමෙන්ම වසරේ වැඩිම ආදායම්ලාභී දෙමළ චිත්‍රපට ලැයිස්තුවට ඇතුළු වන්නටත් එය සමත් වුණා. Pariyerum Perumal මෙන්ම Karnan තුළිනුත් කුල ප්‍රශ්නය ගැන යටිපෙළ සංවාදයක් ගොඩ නඟන්නට Mari Selvaraj උත්සාහ ගෙන තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී Vikramගේ පුත්‍රයා වන Dhruv Vikram රංගනයට පිවිසෙන්නේ 2018 වර්ෂයේ නිපද වුණු “Varmaa” දෙමළ සිනමාපටයෙන්. තමන්ගේ පුතාගේ රංගන ආගමනය වෙනුවෙන් එය නිෂ්පාදන කරන්නේත් රංගන ශිල්පී Chiyaan Vikram විසින්මයි. අතිශය ජනප්‍රිය Arjun Reddy තෙළිඟු සිනමාපටයේ නිල දෙමළ ප්‍රතිනිර්මාණය වුණු Varmaa අධ්‍යක්ෂණය කළේ Bala Palanisamy විසිනුයි. නමුත් අවසානයේදී Varmaa ගැන නොසතුටට පත් වන Vikram, අලුත් අධ්‍යක්ෂකවරයෙකු යටතේ පළමු නිර්මාණය Re-Shoot කරන්නට පෙළඹෙනවා. ඒ අනුව Dhruv Vikram නැවතත් “Adithya Varma” නැමැති නව නිර්මාණයට සම්බන්ධ වූ අතර පසුගිය නොවැම්බරයේදී එය තමිල්නාඩු ප්‍රාන්තය පුරා ප්‍රදර්ශනය ඇරඹුනා.

Varmaa සහ Adithya Varma ගැටලුවෙන් පසුව ඔහු සම්බන්ධ වූ තෙවෙනි නිර්මාණය ගැන දැනටමත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. Pizza, Petta, Jagame Thandiram වැනි ප්‍රසිද්ධ වාණිජ නිර්මාණය රාශියක් අධ්‍යක්ෂණය කළ Karthik Subbrajගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන එය “Mahaan” යනුවෙන් නම් කර තිබෙනවා. Dhruv Vikram සහ ඔහුගේ පියා Chiyaan Vikram යන දෙදෙනාම රංගනයෙන් එක් වන එම සිනමාපටය Gangster ශානරයට අයත් නිර්මාණයක් බවටයි ආරංචි වෙන්නේ. Mahaanගෙන් පසුව Dhruv Vikramගේ සිව්වන චිත්‍රපටය ලෙසින්, Mari Selvaraj අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම ඉන්දීය නිළි නයන්තාරාගේ සැමියා වන Vignesh Shivan අධ්‍යක්ෂණය කරන සිනමාපටයකුත් Dhruv Vikramගේ upcoming-movies ලැයිස්තුවෙන් දැකගත හැකියි.

Share

25 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.