‘මිදුණු විශ්වය’ දැන් තිරගත වේ!!!

Avatar Kavinu Weerakkody | June 24, 2023 915 Views 3 Likes 4 On 1 Rating

915 Views 4 On 1 Rating Rate it

“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පිදෙන නවතම සිනමා කෘතියක්. 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා සහ අතීතයත්, වර්තමානයත් අතර මුහුවන ප්‍රේමණීය කතා පුවතක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය පසුගිය ජුනි 22 වනදා සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීම ඇරඹුනා.

එමෙන්ම, මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූරු ආදරයක් පිළිබඳව රසවත් වෘත්තාන්තයක් දැකබලා ගන්නට ත් ප්‍රේක්ෂකයින්ට හැකියාව තිබෙනවා.
සිංහල සිනමාවට නුපුරුදු, වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලා යන මෙය, විද්‍යාව සහ මනෝකාය අතර දෝලනය වන, Sci – Fi | Romance ශානරවල නිර්’මාණයක් ලෙසින් හැඳින්විය හැකියි.

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කළ “මිදුණු විශ්වය” සිනමාපටයට ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ උද්දික ප්‍රේමරත්න සමඟින් උදාරි වර්ණකුලසූරියයි. ‘වරේණ්‍ය’ නැමැති රංගන ගුරුවරයාගේ චරිතය උද්දික ප්‍රේමරත්න විසින් නිරූපණය කරන අතර උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන්නේ 60 දශකයේ සිටි ජනප්‍රිය නිළියක වන ‘රාජිනි මදිරාක්ෂි’ගේ භූමිකාවයි.
වරේණ්‍යගේ රංගන පාඨමාලාවට පැමිණෙන ‘සුමධ්‍යා’ නැමැති තරුණියගේ චරිතය චුලක්ෂි රණතුංග විසින් රඟපානවා. මිදුනු විශ්වය චිත්‍රපටය ගලා යන්නේ මොවුන් තිදෙනාගේ චරිත ත්‍රිත්වය මුල් කරගෙනයි.

ඊට අමතරව බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, වසන්ත විට්ටච්චි, නිල්වලා විශ්වමාලි, ලක්ෂ්මි දමයන්ති, සුදත් ඇන්තනි සහ කුසුම් රේණු වැනි මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම මෙහි සෙසු චරිතවලට රංගනයෙන් දායක වනවා.

මිදුණු විශ්වය, ජයන්ත චන්ද්‍රසිරිගේ හයවන සිනමා අධ්‍යක්ෂණයයි. වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි විශිෂ්ට ටෙලි කතාමාලා නිර්මාණය කළ ජයන්ත චන්ද්‍රසිරි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2002 වසරේදී අග්නිදාහය සිනමාපටය හරහායි. ඉන්පසුව ගරිල්ලා මාකටින්, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු සිනමාපට අධ්‍යක්ෂණය කළ ඔහුගේ අවසන් සිනමා නිර්මාණය වුණේ 2018 වසරේ එළි දැක්වූ “ඝරසරප” චිත්‍රපටයයි. තම පෙර සිනමාපට හරහා අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ජයන්ත චන්ද්‍රසිරි ලබා ගත් රසික ප්‍රසාදය නිසාම, මෙම සිනමාපටයටත් ලැබී තිබෙන්නේ විශාල ප්‍රේක්ෂක අවධානයක්…

මිදුණු විශ්වය චිත්‍රපටය මුල්වරට තිරගත වීමට නියමිත තිබුනේ 2021 වසරේදී වුවත් කෝවිඩ් වසංගතය සහ නොයෙකුත් හේතූන් නිසා එහි ප්‍රදර්ශනය වසර ගණනාවක් කල් ගියා. නමුත් ඒ සියලු බාධක මඟ හරිමින් පසුගිය ජූනි 22 වනදා සිට මෙය දිවයින පුරා සිනමාශාලා රාශියක ප්‍රදර්ශනය ඇරඹුනු අතර මේ වනවිට දැඩි රසික ප්‍රසාදයක් සමඟින්, සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රවීන් ජයරත්න එකතු වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සහ වර්ණ සංයෝජනය සිදු කළේ ද ප්‍රවීන් ජයරත්නයි. අධ්‍යක්ෂකවරයාගේම කතාවකට අනුව ඔහු විසින්ම තිර පිටපත රචනා කළ අතර ගීත රචනය සඳහාත් ඔහු එක්වී තිබෙනවා.
ඉන්දික උදාර කුමාර මෙහි වේෂ නිරූපණ ශිල්පියායි. නිෂ්පාදන කළමනාකරණය ප්‍රසන්න ඉත්තෑපාන සහ නිමල් විජේසිරිගේ එකතුවෙනි. තිස්ස ගුණතිලක සහ සරත් සේනාරත්න සම්බන්ධ වී තිබෙන්නේ සහාය අධ්‍යක්ෂකරුවන් ලෙසයි. ශබ්ද පරිපාලනය ශෂින් ගිම්හාන්ගෙනි.

නිමල් ෆ්‍රැන්සිස් පළමු සහය අධ්‍යක්ෂණයෙන් ද පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද සහය වූ මිදුණු විශ්වය සිනමාපටය, රුවන් ජයසිංහගේ නිෂ්පාදනයක්. මීට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධ්වනිය නිෂ්පාදනය කළේද රුවන් ජයසිංහ විසින්මයි.

PVR, Savoy, KCC ඇතුළු දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයකදී මිදුනු විශ්වය (Frozen Cosmos) සිනමාපටය ඔබට දැන් නැරඹිය හැකියි. චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමා හල්වල සම්පූර්’ණ ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙනවා.

සිටි සිනමා – ගල්කිස්ස
ප්ලාසා – කළුතර
ලීඩෝ – බොරැල්ල
රීගල් – ගම්පහ
නිකාඩෝ – කඩවත
MC – බම්බලපිටිය
රෝයල් – මීගමුව
CK – කිරිඳිවැල
රීගල් – අම්බලන්ගොඩ
ඇමිටි ලයිට් – මහරගම
විස්ටා ලයිට් – ජා ඇල
ස්කයි ලයිට් – මාලඹේ
EDC – කැකිරාව
විජේන්ද්‍ර – අනුරාධපුර
මහලේකම් – කුලියාපිටිය
හිමාලි – කිරිබත්ගොඩ
KCC – මහනුවර
මිලානෝ – කෑගල්ල
CCC – කොළඹ
රූ සිනමා – කටුනායක
PVR – කොළඹ
Liberty by Scopes – කිරිබත්ගොඩ
වොක්ස් ලයිට් – අවිස්සාවේල්ල
නිව් චම්පිකා – ඉංගිරිය
නිව් නන්ද – නිකවැරටිය
මැක්ස් ලයිට් – මොරටුව
ස්කයි ලයිට් – මාතර
ජෝති – රත්නපුර
සිනෙක්ස්පෝ – කුරුණෑගල
රීගල් – කටුබැද්ද
පිස්කා – කළුතර
සැවෝයි – වැල්ලවත්ත
විල්මැක්ස් – අනුරාධපුර
Liberty by Scopes – කොල්ලුපිටිය
ලයිට් – හෝමාගම
සැවෝයි – මහරගම
ඒමීස් – මොරටුව
NIT – කුරුණෑගල
NIT – රත්නපුර

Share

915 Views 4 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.