රිවස්ටන් – විෂම භාග ඔබ වෙත ගෙනා ලලිත් රත්නායකගේ නවතම සිනමාපටය

Avatar Kavinu Weerakkody | December 7, 2023 119 Views 0 Likes 0 Ratings

119 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාවට එකතුවීමට නියමිතව තිබෙන, වෙනස්ම කතා තේමාවක් සහිත නවතම වෘතාන්ත සිනමාපටයක් පසුගියදා ආරම්භ වුනා. ඒ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන “රිවස්ටන්” (Riverston) සිංහල චිත්‍රපටයයි.

මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වන මෙම නවතම චිත්‍රපටයේ රූපගත කිරීම් මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ඇරඹි අතර මේ වනවිට එහි දර්ශනවලින් බොහෝ ප්‍රමාණයක් සිදු කොට අවසානයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ මෙරට සිනමා රසිකයින්ට හුරුපුරුදු මුහුණු කිහිපයක් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර සමඟින් රන්දික ගුණතිලකයි.

මහේන්ද්‍ර පෙරේරා දශක ගණනාවක් තිස්සේ මෙරට සිනමාවට සම්බන්ධව සිටින අතිශය දක්ෂ සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මිල්ලෙ සොයා, ගිනිඅවි සහ ගිනිකෙළි, සිරි රජ සිරි, කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරී, 28 වැනි වැනි චිත්‍රපටවල එකිනෙකට වෙනස් චරිත රැසකින් ඔහු මෙරට රසිකයින්ට සමීප වුනා.
පැවසෙන පරිදි ඔහු මෙතෙක් රංගනයෙන් දායක වී තිබෙන සිනමාපට සංඛ්‍යාව 80කට ආසන්නයි. මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන, කතුරු මිතුරු චිත්‍රපටය තුළිනුත් මහේන්ද්‍ර පෙරේරාව දැකගන්නට පුලුවන්.

ඔබ නැතුව ඔබ එක්ක, ඇවිලෙන සුලුයි, ප්‍රේමය නම්, සිනේමා වැනි නිර්මාණවල පෙරළිකාර චරිත රැසක් රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු 2022 වසරේදී අග්‍රගණ්‍ය ඉන්දීය අධ්‍යක්ෂක මනිරත්නම් යටතේ Ponniyin Selvan දමිළ චිත්‍රපටයටත් සම්බන්ධ වුනා.

ප්‍රියන්ත සිරිකුමාර මෙරට රසිකයින්ගේ අවධානයට නතු වුනේ ගින්නෙන් උපන් සීතල, තාල, හෝ ගානා පොකුණ වැනි සිනමාපට හරහායි. වර්තමාන රංගන ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තරුණ නලුවෙකු වන රන්දික ගුණතිලක පුංචි තිරයේ ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රධාන භූමිකාවට එක්ව තිබෙනවා.
සිහින සමීකරණ සහ පාංශු මීට පෙර ඔහු රඟපෑ සිනමාපට කිහිපයක්.

පසුගියදා රූගත කිරීම් ආරම්භ වුනු ලලිත් රත්නායකගේ “රිවස්ටන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මොවුන් සිව්දෙනා විසිනුයි. ඊට අමතරව තවත් නලු නිළියන් කිහිප දෙනෙකුම එහි සහාය චරිතවලින් දැකගන්නට පුලුවන්.

රිවස්ටන් චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙන්නේ ද ලලිත් රත්නායක විසිනුයි. තාත්තා, අරුංගල්, ජීවිතයේ එක් දවසක් වැනි රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි කතාමාලා කිහිපයක්ම ඔහු අධ්‍යක්ණය කර තිබෙනවා.
ලලිත් රත්නායකගේ දෙවන චිත්‍රපටය වන්නේ මෙම “රිවස්ටන්” සිනමා නිර්මාණයයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ විෂම භාග (The Other Half) ලෝ පුරා සම්මාන උළෙල ගණනාවකදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ පසුගියදා අප අතුරින් සමුගත්, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසිනි.

රිවස්ටන් චිත්‍රපටයේ කැමරාකරණය සිදු කරන්නේ මෙරට ක්ෂේත්‍රයේ සිටින අත්දැකීම් බහුල කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රබාත් රොශාන් විසිනුයි. 2018 වසරේ දෙරණ සිනමා උළෙලේ හොඳම කැමරාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු සිංහාවලෝකනය – ස්පන්ධන – අලෝකෝ උදපාදී වැනි චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වුනා.

කැමරාකරණයට අමතරව චිත්‍රපටයේ සම – නිෂ්පාදනයෙනුත් ඔහු මීට එකතු වනවා. රිවස්ටන් නිෂ්පාදන දායකත්වය නිමන්ති පෝරගේ විසිනි. අංග රචනයෙන් චිත්‍රපටයට සම්බන්ධ වුනේ ප්‍රියන්ත දිසානායකයි.

Share

119 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.