වසර ගණනාවක් කල් ගිය Indiana Jones එළඹෙන 2023දී ලෝ පුරා සිනමාහල්වලට

Avatar Kavinu Weerakkody | June 14, 2022 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ලෝක ප්‍රසිද්ධ Indiana Jones චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම එළඹෙන 2023 ජූනි මාසයේදී නිකුත් වන බවට තහවුරු වුනා. මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් එහි නිෂ්පාදකවරුන් පැවසූයේ එළඹෙන 2023 ජූනි 30 වනදා සිට ලෝ පුරා සිනමා තිර දහස් ගණනකට මෙය මුදාහරින බවයි. ලෝ පුරා අතිශය ජනාදරයට පත් වූ Indiana Jones චිත්‍රපට මාලාවේ 05වන චිත්‍රපටය වන මෙය සුපුරුදු පරිදිම ක්‍රියාදාම පිරුනු Harrison Hordගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වීමට නියමිතයි.

1981 වසරේ ඇරඹි, Harrison Hordගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුනු මෙම චිත්‍රපට මාලාවට තවමත් ලෝ පුරා දක්නට ලැබෙන්නේ අතිශය ජනප්‍රියත්වයක්… ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් ඇඳ බැඳ තබා ගන්නා තිර රචනය මෙන්ම Harrison Ford ඇතුළු රංගන ශිල්පීන්ගේ තාත්වික ක්‍රියාදාම දර්ශන නිසා පුරා වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ සිය රසික ප්‍රසාදය එලෙසම පවත්වා ගැනීමට Indiana Jones චිත්‍රපට මාලාවට හැකි වී තිබෙනවා.
1981දී තිරගත වූ පළමු Indiana Jones චිත්‍රපටය වන Raiders of the Lost Ark සිට 2008 වසරේදී නිකුත් වූ සිව්වන Indiana Jones චිත්‍රපටය වන Indiana Jones and the Kingdom of the Crystal Skull දක්වාම මේ ජනප්‍රියතාවය එකලෙස දැකගන්නට පුලුවන්. 2008 වසරේදී දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් සමඟින් නිකුත් වූ Indiana Jones and the Kingdom of the Crystal Skull සිනමාපටය ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර සමඟින් අති සාර්ථක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගත්තද, ඇතැම් die-hard රසිකයින් නම් එයින් එතරම් සතුටට පත් වූයේ නැහැ. මෙතරම් iconic චිත්‍රපට මාලාවකට නිසි අවසානයක් එයින් නොලැබුණු බවයි ඔවුන් එදා පැවසූයේ. කෙසේ වුවත් එයින් වසර ගණනාවක් යන තුරුත් නව ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයක් ගැන කිසිදු තොරතුරක් යාවත්කාලීන වූයේ ද නැහැ.

එවැනි පසුබිමක 2012 වසරේදී පමණ නව Indiana Jones නිර්මාණයක තිර පිටපත රචනා කිරීමට සහ පෙර නිෂ්පාදන කටයුතු ඇරඹීමට සූදානම් බවට සිනමා රසිකයින්ට මාධ්‍ය හරහා වාර්තා වුනා. නවතම නිර්මාණයේ තිර පිටපත රචනා කිරීම සුපුරුදු පරිදි මුල් චිත්‍රපට රචක George Lucasට බාර වී තිබුණත් ඇතැම් හේතූන් නිසා ඔහු පසුව එයින් ඉවත් වුනා. 2016 වසරේදී එය Mission Impossible, Spider Man, Inferno වැනි නිර්මාණ රචනා කළ David Koeppට යොමු වීම නිසා රසිකයින් නැවතත් මේ ගැන උනන්දු වන්නට පටන් ගත්තා.
නමුත් අවසානයේදී ඔහුත් මේ චිත්‍රපටයෙන් ඉවත් වී ඒ වෙනුවට Jonathan Kasdonහට මෙහි වගකීම බාර වුනා. මේ ආකාරයෙන් තිර රචනයේ සිදු වූ වෙනස්කම් නිසා සිව් වසරකට වැඩි කාලයක් තිස්සේ 05වන ඉන්ඩියානා ජෝන්ස් සිනමාපටයේ productions දිගින් දිගටම ඇණහිටියා. මුල් චිත්‍රපට සියල්ලම අධ්‍යක්ෂණය කළ Steven Spielbergද මෙම නව Indiana Jones චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත්වන බව දැනුම් දුන්නේ ඒ අතරතුරේදී යි.

Indiana Jones රසිකයින් ඊට සිය අප්‍රසාදය සහ විරුද්ධත්වය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කළත් Steven Spielberg සිය තීරණය වෙනස් කලේ නැහැ. 2020 වසරේදී ඔහු තීරණය කර තිබුනේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත් වී ඒ වෙනුවට එහි නිෂ්පාදකවරයෙකු වශයෙන් සිය දායකත්වය ලබා දීම සඳහායි. මේ ආකාරයෙන් ලෝක සිනමාවේ iconicම සිනමා වෘතාන්තයක තිර පිටපත් රචකයින් සහ අධ්‍යක්ෂකවරුන් දිගින් දිගටම මාරු වීම හේතු කරගෙන රසිකයින් නැවතත් මීට සිය අප්‍රසාදය පළ කරන්නට පටන් ගත්තා.
අවසානයේදී මුල් තීරණ සියල්ලම වෙනස් වී නවතම අධ්‍යක්ෂකවරයෙකු සහ නවතම තිර පිටපත් රචකයෙකු ලවා මෙහි වැඩ නිම කරන්නටයි Lucasfilm LTD සහ ඊට සම්බන්ධ සෙසු නිෂ්පාදන ආයතන තීරණය කර තිබුනේ.

ඒ අනුව Steven Spielberg වෙනුවට පස්වන Indiana Jones සිනමාපටයේ අධ්‍යක්ෂක භූමිකාව ලැබුනේ ප්‍රකට හොලිවුඩ් වාණිජ නිර්මාණ කිහිපයකම නිර්මාණකරුවා වූ James Mangoldටයි. 3:10 to Yuma, Copland වැනි වාණිජමය චිත්‍රපට මෙන්ම The Wolverine, Logan වැනි ලෝක සිනමාවේ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි. James Mangold අවසාන වතාවට අධ්‍යක්ෂණය කළ Ford V Ferrari (2019) චිත්‍රපටය එම” වසරේ විශිෂ්ටතම සිනමාපටයට හිමි ඇකඩමි සම්මානය”ට පවා නිර්දේශ වුනා.

තිර රචකයින් ගණනාවකට පසුව මෙහි කතාව සහ තිර පිටපත ලිවීමට භාර වූ Jezz Butterworth ද හොලිවුඩයේ නම් දැරූ නිර්මාණ ගණනාවක්ම රචනා කිරීමට සම්බන්ධ වූ පුද්ගලයෙකු වනවා. Edge of Tomorrow, Spectre සහ The Last Legion ආදිය ඔහු තිර රචනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක්…

මෙම බාධාවීම් සහ කල්ගත වීම් සියල්ලටම පසු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට ඔවුන්ට හැකියාව ලැබූයේ 2021 වසරේදී ය. 2021 වසර පුරාම Harrison Ford රඟන දර්ශන තල සියල්ලම පාහේ රූගත කර අවසන් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. 2022 වසරේ මුල් භාගය තෙක්ම එකදිගට සිදු කරගෙන ආ නිෂ්පාදන කටයුතු පසුගිය පෙබරවාරි මාසය වනවිට අවසන් කරන්නට සමත් වී තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන්… හොලිවුඩයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය විසින් පළකල වාර්තා බොහෝමයක සඳහන්ව තිබෙන්නේ මේ වනවිට චිත්‍රපටයේ දර්ශන සියල්ලම රූගත කොට අවසන් බවයි. බ්‍රිතාන්‍යය, ස්කොට්ලන්තය, ඉතාලිය සහ මොරොක්කෝව ආශ්‍රිතව ඔවුන් මෙසේ Indiana Jones – 05 රූපගත කිරීම් සිදු කොට තිබෙනවා.

මෙම මාර්තු මාසයේදී අධ්‍යක්ෂක James Mangold විසින් චිත්‍රපටය ගැන නවතම තොරතුරු කිහිපයක් රසිකයින්ට දැනුම් දුන් අතර ඔහු එහිදී පැවසූයේ චිත්‍රපටයේ පසු සංස්කරණ කටයුතු ද තමන් අරඹා ඇති බවයි. එහිදී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටයක් ගැන ඉඟියක් ඔහු ලබාදුන්නත් එය ළඟදීම නිකුත් වන බවක් නම් පෙනෙන්නට නැහැ.
ඒ කෙසේ වුවත්, සිනමාපටය තිරගත කරන දිනය නිල වශයෙන්ම ඔහු දැනුම් දුන් නිසා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා පුරා Indiana Jones – 05 ගැන යළිත් රසික අවධානයක් යොමුවී තිබෙනවා.
ඉන්ඩියානා ජෝන්ස්ගේ ප්‍රධාන චරිතය රඟන Harrison Ford විසින් රූගත කිරීම් අතරේදී ලබා ගත් ඡායාරූපයක් සමඟ සිය twitter ගිණුම හරහා මෙම යාවත්කාලීන කිරීම සිදු කළා. ඔහු දැනුම් දුන් ආකාරයට, එළඹෙන 2023 වසරේ ජූනි 30 වනදා සිට ලෝ පුරා සිනමාශාලාවලදී ඔබට මෙය නරඹන්නට හැකියාව ලැබෙනවා.

” In 2023, Harrison Ford returns as the legendary #IndianaJones. Check out this first look of the new James Mangold-directed film. “

(twitter.com/ @IndianaJones)

Harrison Fordට අමතරව Phoebe Waller, Mads Mikkelsen, Thomas Kretschmann, Boyd Holbrook, Toby Jones සහ Olivier Richters වැනි ඔබට හුරුපුරුදු හොලිවුඩ් රංගන ශිල්පීන් ගණනාවක්ම මීට සම්බන්ධ වී තිබෙනවා.

Indiana Jones චිත්‍රපට මාලාව සහ දෙවන ලෝක යුධ සමය අතර පවතින සබඳතාව ගැන එහි ප්‍රේක්ෂකයින්ට නම් අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැහැ. නාසි හමුදාවට විරුද්ධව පුරාණ නිධන් ගවේෂණය කරන ඉන්ඩියානා ජෝන්ස් වටා 1981-2008 චිත්‍රපට කිහිපය ගෙතී තිබුණද මෙම නව චිත්‍රපටය නම් දෙවන ලෝක යුධ සමයට අදාළ නොවන කතාවක් බවයි සැලවෙන්නේ. ඉන්ඩියානා ජෝන්ස්ට රඟන Harrison Ford ඇතුළු රංගන ශිල්පීන්ගේ පෙනුමෙ හි වෙනස්කම් නිසාම මෙම චිත්‍රපටය මුල් නිර්මාණවලට වඩා දශක කිහිපයක් පසුපසට ගෙන ඇති බවක් ආරංචි වනවා.
ඒ අනුව මෙම පස්වන Indiana Jones සිනමාපටය ගෙතී තිබෙන්නේ 1969 දශකයට අදාළ පසුබිමකයි. නමුත් එයින් මෙහි දෙවන ලෝක යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හැඟවෙන්නේ නැහැ. පසුබිම 1960 දශකයට අදාළ වුවත්, චිත්‍රපටයේ කතා තේමාව දෙවන ලෝක යුද්ධයේ පශ්චාත් යුධ සමය හා සම්බන්ධ වී තිබෙන්නට පුලුවන්.

Share

46 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.