ශාරුක්ට එරෙහිව නඩු මගට ගිය කාන්තාවට ජය.

Avatar Nisanka Weheraduwa | October 5, 2021 117 Views 0 Likes 0 Ratings

117 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාවේ සදාතනික ආදරවන්තයා, Shah Rukh Khanගේ රංගනය අවසාන වතාවට දකින්න ලැබුනේ  2018දි ඔහු රඟපෑ Zero චිත්‍රපටය හරාහායි. නමුත් දැන් වසර තුනකට පසුව ඔහු රංගනයෙන් දායක වෙලා ඉන්න Lion, Pathan චිත්‍රපට නිසා මේ දිනවල Shah Rukh ගැන නැවත කතාබහක් ඇතිව තිබෙනවා. නමුත්, ශාරුක්ගේ අලුත් චිත්‍රපටි ගැන විතරක් නෙමෙයි, ඔහුගේ පරණ චිත්‍රපටයක් ගැනත් අලුත් update එකක් පහුගියදා අහන්න ලැබුනා. ඒ සිනමාව පැත්තෙන් නම් නෙමෙයි, ඉන්දියානු උසාවියෙන්.

මේ සිද්දියට හේතුවූයේ 2016දී Shah Rukh Khan රංගනයෙන් එකතු වුණු Fan හින්දි චිත්‍රපටයට විරුද්ධව ඉන්දීය අධිකරණය හමුවේ ගොනුකොට තිබූ නඩුවක්. Fan චිත්‍රපටයට පාදක වූයේ ශාරුක්ගේ රසිකයෙක් ඔහු සමඟින් අමනාපවී, ඔහුගේ සිනමා දිවිය විනාශ කරන්නට දරන උත්සාහයක් ගැනයි.  චිත්‍රපටයේ storyline එකට සමාන සිද්ධියක් ඇත්ත ජීවිතයෙදිත් ඉදුවීමට ඉඩ තිබූ බව කියමින් ඉන්දීය මාධ්‍ය මේ සිද්ධිය උපහාසයට නගා තිබුනා.

Afreen Fatima Zaidi නැමැති ගුරුවරිය ඉන්දීය අධිකරණය හමුවේ මේ විදිහට චිත්‍රපටයට විරුද්ධව පැමිණිල්ල ගොනු කොට තිබුනා.  Fan සිනමාපටයේ නිෂ්පාදකයින් වුණු Yash Raj Films කියන ඉන්දියාවේ දැවැන්තම සිනමා ආයතනයකට විරුද්ධව මෙම නඩුව විභාග වුනා.  Fan සිනමාපටයේ promotions සඳහා අන්තර්ජාලයට නිකුත් කරපු  “Jabra Fan” කියන ගීතය චිත්‍රපටයට ඇතුළත් කර නොතිබීම මෙලෙස නඩු පැවරීමට හේතුවී තිබුනා. ඒ ගීතය චිත්‍රපටයෙන් දැකගැනීමට නොඉවසිල්ලෙන් හිටියත්, අවසානයේදී තමන් දරුණු රැවටීමකට ලක්වූ බව ඇය මෙම නඩුව ගොනු කරමින් කියා සිටියා.

 ඇය මේ නඩුව 2016 වසරේදීම ගොනුකොට තිබූ නමුත්, නඩුවේ තීන්දුව අධිකරණයෙන් ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ වසර පහක් ගතවූ පසුයි. විවිධ කාල වකවානුවලදී ඉන්දියාවේ බොහෝ කතා මැවූ මේ නඩුව නිසාම ෆාතිමාගේ සාමාන්‍ය ජීවිතයටත් ඇතැම් තර්ජන පැමිණි බව පැවසෙනවා. කොහොම නමුත් හැමදෙනාගෙම අවධානය දිනාගත් මෙහි නඩු තීන්දුව පසුගිය සැප්තැම්බර් 21 වනදා දැනුම් දුන්නා. ඒ මහාධිකරණ විනිසුරු Hemant Gupta සහ V Ramasubramanian දෙදෙනා විසින්. නඩු තීන්දුව ලැබුණේ පැමිණිලිකාර පාර්ශවයට ජය අත් කර දෙමින්. එනම්, පැමිණිල්ල ගොනු කළ ෆාතිමා සයිදි මේ නඩුවෙන් ජයග්‍රහණය කළා. අගතියට පත් පාර්ශවයට රුපියල් 15000ක වන්දියක් ලබා දෙන ලෙසත් ඉන්දීය අධිකරණයෙන් Yash Raj Films සමාගමට දැනුම් දී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට “චිත්‍රපටයේ නොතිබෙන දෙයක් හිතාමතාම ප්‍රචාරණයට යොදා ගත්තේ ඇයි?” යනුවෙන් විනිසුරුවන් Yash Raj Films ආයතනයෙන් විමසා තියෙනවා.  “එය මේ කර්මාන්තයේ සාමාන්‍ය දෙයක්” බව විත්තිකාර පාර්ශවයේ පිළිතුර වූ බවත් සඳහන්. නමුත්, එය සිතාමතාම කළ මුලාවක් බවට විනිසුරුවන් විසින් තිරණය වීම නිසා අවසානයේදී ෆාතිමාට නඩුවෙන් ජය ගන්න ලැබුණා.

Maneesh Sharmaගේ අධ්‍යක්ෂණයෙන් යුතුව 2015 අප්‍රේල් 15 වන දින ලෝ පුරා සිනමාශාලාවල තිරගත වීම ඇරඹුණු Fan හින්දි චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ගෙන් එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබූවක් නොවෙයි.  බොක්ස්-ඔෆිස් ආදායමින් සාර්ථක ගමනක් යන්නට එයට හැකියාව ලැබුණේ නැහැ. Fan, Yash Raj Films වෙනුවෙන් Adithya Chopraගේ නිෂ්පාදනයකි.

Share

117 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.