සංස්කෘතියට අභියෝග කළ ඉන්දීය චිත්‍රපට
ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ රටවලදී සංස්කෘතික සීමාවන් බොහොමයකට හසුවන කලා නිර්මාණ වාරණයට ලක්වනවා. චිත්‍රපට, නාට්‍ය, පොත් ඇතුළු බොහෝ කලා නිර්මාණ වලට මේ තත්වය බලපානවා වුනත් චිත්‍රපට ක්ෂේත්‍රයට මේ කාරණය වැඩි හානියක් සිදුකරනවා කියන අදහස අතිශයෝක්තියක් නොවෙයි. ලංකාවේ සිනමාව සලකා බැලුවහොත් සංස්කෘතික කාරණා මත තහනමට ලක්වුණු චිත්‍රපට කිහිපයක්ම හඳුනාගත හැකියි. තවත් සමහර චිත්‍රපට තහනම් නොවුනත් සංස්කෘතික කාරණා මත දරුණු විවේචනයන්ට ලක්ව තිබෙනවා. කෙසේ නමුත් මේ තත්වය ලංකාවට පමණක් බලපැවැත්වෙන කාරණයක් නොවෙයි. සංස්කෘතික කාරණා හේතුවෙන් බලපෑමට ලක්වූ සහ තහනමට ලක්වුණු ඉන්දීය චිත්‍රපට නාමාවලියක් අපි ඔබට ගෙනෙනවා. සමහර චිත්‍රපට ඔබට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාව තිබෙනවා. මේ චිත්‍රපට අතුරින් ඔබ නරඹා නැති චිත්‍රපට වෙයිනම්, ඒවා සොයාගෙන නැරඹීමට උත්සාහ ගැනීම සිනමා රසිකයෙක් ලෙස ඔබට වැදගත් වේවි.
මේ චිත්‍රපටයේ නම Un-Freedom. ඉන්දීය සිනමා අධ්‍යක්ෂ Raj Amit Kumar විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් ඔහු විසින්මයි. ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී මුස්ලිම් මුලධර්මවාදියකු විසින් පැහැරගන්නා ලද ශිෂ්‍යත්වලාභික්, ඉන්දියාවේ වෙසෙන සමලිංගික කාන්තාවක් සහ ඇගේ ද්විලිංගික පෙම්වතියත්, එම පෙම්වතියගේ පියාත් වටා ගෙතී තිබුණු මේ කතාව සංකීර්ණ මානුෂිය ගැටළු ගණනාවක් ඇසුරේ නිර්මාණය වූවක්. ප්‍රචණ්ඩත්වය, හිංසනය, මර්ධනය වැනි ක්‍රියාදාමයන් සහිත මේ චිත්‍රපටය ඇමරිකාවේදී 2015 වසරේ තිරගත කෙරුනා.
සංස්කෘතිකව අභියෝගයට ලක්වුණු තවත් චිත්‍රපටයක් මේ. මලයාලම් සිනමා අධ්‍යක්ෂවරුන් වන Santosh Babusenan සහ Satish Babusenan දෙදෙනාගේ පළමු වෘතාන්ත චිත්‍රපටය ලෙස The Painted House නැතිනම් Chaayam Poosiya Veedu චිත්‍රපටය නිර්මාණය වුනා. වියපත් වුනු ලේඛකයකු වුනු ගෞතම් තනිව ජීවත් වන්නෙක්. එක් දිනෙක හදිසියේ රූමත් තරුණියක් ඔහුගේ දොර අසල පෙනීසිට නවාතැන් ඉල්ලනවා. ඔවුන් දෙදෙනා අතර යම් ආකර්ශනයක් ඇතිවනවා. ඇගේ හදිසි පැමිණීම සහ දෙදෙනාගේ සම්බන්ධය ගෞතම්ගේ ජීවිතය ඛේදවාචකයට ගෙනයනවා. මේ චිත්‍රපටය මනෝවිද්‍යාත්මක කාරණා රැසක් පිලිබඳ කතාබහ කෙරෙන තරමක සංකීර්ණ කතා සන්දර්භයක නිර්මාණය වූවක්. එම කරුණු සහ නිරුවත් දර්ශන හේතුවෙන් චිත්‍රපටය ඉන්දියාව තුළ තහනමට ලක්ව තිබෙනවා.
The Pink Mirror චිත්‍රපටයත් සංස්කෘතික අභියෝගයන්ට ලක්වුනු තවත් ඉන්දීය චිත්‍රපටයක්. Sridhar Rangayan මේ චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන Babbo බොලිවුඩ්හි විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙසත් Shabbo නැටුම් ශිල්පිනියක ලෙසත් කටයුතු කරමින් සිටිනවා. මේ දෙදෙනාගේ සම්බන්ධයත්, ඔවුන්ගේ සිත් පැහැර ගන්නා Samir නම් තරුණයාත් ඇසුරින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සමාජය තුළ හිංසනයට සහ පිඩාවන්ට පත්වීම පිළිබඳ චිත්‍රපටයෙන් කතාබහ කෙරෙනවා. ඉන්දියාව තුළ මේ චිත්‍රපටයත් තහනමට ලක්වුනා.
ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහ්තා අධ්‍යක්ෂණය කළ Water චිත්‍රපටය සංස්කෘතිකව දැඩි අභියෝගයන්ට ලක්වුණු චිත්‍රපටයක්. ඉන්දියාව තුළ වැන්දඹු කාන්තාවන්ට වර්ථමානය වනවිටත් සලකන ආකාරයත් විශේෂයෙන්ම ළමා විවාහ හේතුවෙන් වැන්දඹු තත්වයට පත්වන කුඩා දැරියන්ගේ ජීවිත පත්වන දරුණු ඛේදවාචකයත්, ඉන්දීය ජනසමාජයේ පවතින මෙවැනි ගෝත්‍රික සංස්කෘතික කරුණු හේතුවෙන් අපහසුතාවට පත්වන් කාන්තාවන්ගේ ජීවිත පිළිබඳවත් ඇය මෙම සිනමාපටය හරහා කතාබහට ලක් කරනවා. කෙසේ නමුත් චිත්‍රපටය ඉන්දියාව තුළ රූගත කිරීමට පවා අවසර නොලැබෙන අවදියක එම නිෂ්පාදන කටයුතු ලංකාවේදී සිදුකිරීමට තෝරාගත්තා. අවසානයේ මෙහි ළමා නිළියක ලෙස ලංකාවේ ජයනි සරළා දැරිය රංගනයෙන් එක්වුණා. මේ චිත්‍රපටයත් දැඩි අභියෝගයකට ලක්වුන චිත්‍රපටයක්.
ගැහැණිය ගැන, ගැහැණියගේ ආදරය, පවුල සහ ලිංගික ජීවිතය පිළිබඳව බොහෝ කරුණු සාකච්චා කෙරෙන අපූරු චිත්‍රපටයක් නිර්මාණය වුනා. චිත්‍රපටයේ නම Lust Stories. චිත්‍රපටය අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකුගේ කතා හතරකින් සමන්විතයි. Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, Karan Johar සිව්දෙනා විසින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබුනා. විවිධ සමාජ පන්තීන්ට අයත් ගැහැණුන් ආදරය සහ ලිංගිකත්වය හමුවේ කටයුතු කරන ආකාරයත්, එම කරුණු සම්බන්ධයෙන් සංස්කෘතික සමාජයක ඔවුනට ඇතිවන ගැටළු පිළිබඳවත් මේ චිත්‍රපටයේ කතාබහට ලක්වුනා. මෙය Netflix ඩිජිටල් අවකාශය වෙනුවන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වූවත්, එහි අන්තරතය හේතුවෙන් සමාජය තුළ විවේචන එල්ල වුනා. විශේෂයෙන්ම එහි හතරවැනි කොටසේදී ගැහැනියගේ සුරතාන්තය (Female orgasm) පිලිබඳ විවෘතව කතාබහ කිරීම දැඩි විවේචනයට ලක්ව තිබුනා.
සංස්කෘතික කාරණා හේතුවෙන් තහනමට හෝ දැඩි විවේචනයන්ට ලක්වුණු ඉන්දීය චිත්‍රපට නාමාවලියේ එන තවත් චිත්‍රපට කිහිපයක් පිළිබඳව ඉදිරියේදී තොරතුරු ගෙනඒමට අප සූදානම්. ඒ වගේම ශ්‍රී ලාංකික සිනමාව තුළත් එලෙස තහනමට ලක්වුණු චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා. ඒ පිළිබඳවත් සිනමා රසිකයින් සමග cinema.lk හරහා තොරතුරු බෙදාගැනීමට අප සූදානම්.
Written by Nisanka Weheraduwa