සල්මන් ඛාන් රඟපාන අලුත්ම තෙළිඟු චිත්‍රපටයක්

Avatar Kavinu Weerakkody | March 26, 2022 242 Views 0 Likes 0 Ratings

242 Views 0 Ratings Rate it

Prithviraj Sukumaran අධ්‍යක්ෂණය කළ 2019 වසරේදී තිරගත වූ Lucifer සිනමාපටය, කේරළ සිනමාව තුළ අද්විතීය ආදායම් වාර්තා තැබූ සිනමා නිර්මාණයක්. ඉන්දීය කෝටි 200කට අධික ආදායමක් සමඟින් කේරළ සිනමාවේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූ එය අදටත් ප්‍රාන්තයේ Industry Hit නිර්මාණය ලෙස හැඳින්වෙනවා. Lucifer හි සාර්ථකත්වය නිසාම පසුව එය තෙළිඟු භාෂාවට ප්‍රතිනිර්මාණය වන බවකුත් රසිකයින්ට දැනගන්නට ලැබුනා.

තෙළංගානා සිනමාවේ දැවැන්ත නිෂ්පාදන ආයතන දෙකක් විසින් එහි ප්‍රතිනිර්මාණය අයිතිය ලබා ගැනීමට උනන්දුවෙන් සිටින බවත්, high budget චිත්‍රපටයක් වශයෙන් Lucifer ප්‍රතිනිර්මාණයට ඔවුන් සූදානම් බවත් කේරළ මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළා.
Lucifer වැනි චිත්‍රපටයක් නැවතත් ප්‍රතිනිර්මාණය සාර්ථක වේ දැයි සිනමා රසිකයින් බොහෝ දෙනෙකු තුළ කුකුසක් පැවති නිසාම, මේ ආරංචිය බොහෝ දෙනෙක් විශ්වාස කළෙත් නැහැ. නමුත් 2019 සැප්තැම්බර් මාසයේදී සුප්‍රසිද්ධ තෙළිඟු රංගන ශිල්පී Chiranjeevi විසින් ඔහුගේ Sye Raa Narasimha Reddy සිනමාපටය පිළිබඳ කේරළයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙම ප්‍රතිනිර්මාණය ගැනත් අදහස් දැක්වූවා.

ඔහුගේ මැදිහත්වීම මත Lucifer තෙළිඟු භාෂාවෙන් ප්‍රතිනිර්මාණය වන බවත්, ප්‍රධාන චරිතය ඔහු විසින් රඟපාන බවටත් Chiranjeevi එහිදී සනාථ කළා. මලයාලම් චිත්‍රපටය නැරඹීමෙන් ආශ්වාදයට පත් වූ Chiranjeevi, ඔහු ප්‍රධාන චරිතය රඟන තෙළිඟු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නටත් මුල් නිර්මාණයේ අධ්‍යක්ෂක ප්‍රිත්විරාජ් සුකුමාරන්ට ආරාධනා කළ බවයි එහිදී වැඩිදුරටත් පැවසුයේ…

2020 අප්‍රියෙල් මාසය තුළ මෙහි පෙර නිෂ්පාදන කටයුතු ඇරඹුණු අතර 2021 ජනවාරි මාසයේදී හයිද්‍රබාද් නගරයේදී චිත්‍රපටයේ පූජා උත්සවය පැවැත්වුනා. මුල් Lucifer චිත්‍රපටය නිර්මාණය කළ Prithviraj Sukumaranව මේ චිත්‍රපටයටත් යොදා ගන්නට මුලදී අදහස් කළත් පසුව නිෂ්පාදකයින්ගේ අදහස වෙනස් වූ බවකුයි එහිදී දැකගන්නට ලැබුණේ. Prithviraj වෙනුවට Prabasගේ Saaho අධක්ෂණය කළ Sujeeth Reddyව මේ නිර්මාණයට සම්බන්ධ කර ගැනීමට නිෂ්පාදකයින්ට අවශ්‍ය වුණත් යම් යම් නිර්මාණාත්මක වෙනස්කම් කිහිපයකට ඇතිවූ මත ගැටුමක් මත Sujeethවත් මෙයින් ඉවත් කර තිබෙනවා. ඔහුගෙන් අනතුරුව ප්‍රවීණ තෙළිඟු අධ්‍යක්ෂක V V Vinayakට මේ ව්‍යාපෘතිය භාර දීමට යොජනා වුනත් එය ද සාර්ථක වී නැහැ.

මේ සියලු උත්සාහයන්ගෙන් අනතුරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් Mohan Raja ගිවිසුම්ගත වූ බව අවසානයේ මාධ්‍යයට අණාවරණය වුනා. Hanuman Junction (2001) තෙළිඟු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි Mohan Raja, 2003දී Jayam චිත්‍රපටය හරහා දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් වුනා.
එතැන් පටන් Velaikkaran, Velayudham, Santosh Subramaniam වැනි ජනප්‍රිය ධාරාවේ දමිළ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඔහු වසර 20කට පසු නැවතත් තෙළිඟු සිනමාවට පිවිසෙන්නේ මේ නිර්මාණය හරහායි.

2021 අගෝස්තු මාසයේදී මේ චිත්‍රපටයේ title posterය රසිකයින්ට දැකගැනීමට අවස්ථාව ලැබුනා. GODFATHER යනුවෙන් නම් කර තිබූ මෙම චිත්‍රපටයේ කැමරා ශිල්පියා ලෙස Nirav Shah සම්බන්ධ වී තිබුනු අතර සංගීත අධ්‍යක්ෂණය සඳහා S. Thaman එක්ව සිටියා. චිත්‍රපටයේ සංස්කරණය සිදු කරන්නේ A. Sreekar Prasad විසිනුයි.

ප්‍රධාන චරිතය රඟන Chiranjeeviට අමතරව තවත් ප්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනෙක්ම GODFATHER රංගනයට එක්ව සිටිනවා. මෙය තෙළිගු භාෂාමය චිත්‍රපටයක් වුවත්, මෙයි උප ප්‍රධාන චරිත රඟන බොහෝ දෙනෙක් තෙළිඟු සිනමාවෙන් පරිබාහිර වීමත් විශේෂත්වයක්. තෙළිඟු සිනමාවට අමතරව දෙමළ, හින්දි සහ කන්නඩ සිනමා කර්මාන්තවල ප්‍රබල ශිල්පීන් ගණනාවක්ම GODFATHER තුළින් දැකගත හැකියි.

දක්ෂ මලයාලම් චරිතාංග නළුවෙකු වන Biju Menon ද, තමිල්නාඩු සිනමා කර්මාන්තය නියෝජනය කරමින් වර්තමාන දෙමළ සිනමාවේ දැවැන්තම කාන්තා චරිතය වන Nayanthara ද මෙහි රංගනයෙන් දායක වනවා. ප්‍රසිද්ධ තෙළිඟු නළුවෙකු වන Satydev Kancharana සහ ඇය විවාහක යුවලකගේ චරිත නිරූපණය කරනු ඇති බවයි තෙළිඟු මාධ්‍යවල දැක්වෙන්නේ…
බොහෝ විට මෙය මුල් මලයාලම් චිත්‍රපටයේදී Manju Warrier සහ Vivek Oberoi රඟපෑ චරිත වීමට හැකියි.

මේ ආකාරයෙන් දකුණු ඉන්දියාව තුළම අවධානයට ලක් වූ GODFATHER ගැන කතාබහ 2021 අග භාගයේදී උතුරු ඉන්දියාව දක්වාම පැතිරුනා. ඒ එදා’මෙදා තුර හින්දි සිනමාවෙන් බිහිවූ දැවැන්තම චරිතයක් GODFATHER හි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බවට සැලවීමත් සමඟයි. පසුව GODFATHER සංගීත අධ්‍යක්ෂකවරයා වන S. Thaman විසින් මේ ආරංචිය තහවුරු කළේ එසේ සම්බන්ධ වන හින්දි රංගන ශිල්පියා ගැනත් මාධ්‍යයට අණාවරණය කරමින්…

ඔහු පැවසූ ආකාරයට හින්දි රංගන ශිල්පී Salman Khan මෙහි වැදගත් චරිතයක් රඟපාන අතර ඒ බව සනාථ කරමින් පසුගියදා GODFATHER රූපගත කිරීම්වලටත් ඔහු නිල වශයෙන් සම්බන්ධ වුනා. වාර්තා වන පරිදි ඔහු රඟපාන්නේ මුල් නිර්මාණයේදී Prithviraj Sukumaran රඟපෑ cameo චරිතයයි. චරිත පසුබිම එය වුණත් මුල් චරිතයට වඩා බොහෝ වෙනසක් මේ තුළින් දැකගත හැකි බවත් සැල වනවා.

චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වනවිට සිදුවෙමින් පවතින අතර චිරන්ජීවි සහ නයන්තාරාට අදාළ බොහෝ දර්ශන ප්‍රමාණයක් සිදු කර අවසානයි. හයිද්‍රාබාද් නගරය ආශ්‍රිතව පළමු දර්ශන කිහිපයේ රූපගත කිරීම් 2021 වසර අග භාගයේදී අවසන් කිරීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. දෙවන පෙළ රූපගත කිරීම් සියල්ලමත් ඌටි ප්‍රදේශය මුල් කරගෙන සිදු කර තිබෙනවා.
මේ රූපගත කිරීම් අතරේදී Chiranjeevi අනතුරකට ලක්වූ බවත් එමනිසා, චිත්‍රපටයේ වැඩ කටයුතු යම් තාක් දුරකට අත්හිටවූ බවත් පසුව රසිකයින්ට ආරංචි වුනා.

කෙසේ වෙතත් දැන් නැවතත් GODFATHER නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙන අතර මේ දිනවල Chiranjeevi සහ Salman Khanට අදාළ කොටස් රූපගත කිරීම් කරන බවටයි සැලවන්නේ… මුම්බායි සහ මහාරාෂ්ට්‍ර ප්‍රදේශය ආශ්‍රය කරගෙන සිදුකෙරෙන මේ රූපගත කිරීම් සතියක පමණ කාලයක් එකදිගට පැවැත්වීමට නියමිතයි.

Share

242 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.