සිව දෙවියන්ගේ ශක්තිමත් ම බැතිමතාගේ කතාව: Kannappa

Avatar Kavinu Weerakkody | December 7, 2023 137 Views 0 Likes 5 On 1 Rating

137 Views 5 On 1 Rating Rate it

තෙළිඟු නලු Vishnu Manchuගේ සිනමා ගමනෙ හි, ඔහු දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි, මෙතෙක් ඔහු රඟපෑ නිර්මාණ අතුරින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් සහ වෙහෙසක් දරා නිර්මාණය කරන දැවැන්තම චිත්‍රපටය වන “Kannappa” හි වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

චිත්‍රපටයේ විශාලත්වය නිසාම, ප්‍රායෝගිකව මෙම චිත්‍රපටය නිර්මාණය කරන ආකාරය ගැන වසර කිහිපයක් තිස්සේම Vishnu Manchu සැලසුම් කරමින් සිටි අතර ඉන්දියාවේ සහ ඉන් පිටත සිටින ප්‍රවීණතම නලු නිළියන් – තාක්ෂණික ශිල්පීන් මීට එක් කරගැනීමටයි ඔහුගේ අදහස වුනේ…

වසර ගණනාවක සැලසුම්වලින් අනතුරුව පසුගිය අගෝස්තු මාසයේදී “Kannappa” හි පළමු නිල නිවේදනය මාධ්‍යයට නිකුත් කළ අතර මේ වනවිට චිත්‍රපටයේ පූර්ව – නිෂ්පාදන කටයුතු සාර්ථකව සිදුවනවා. ලෝ පුරා රටවල් පහකට ආසන්න ප්‍රමාණයකදී මෙහි රූපගත කිරීම් සිදු කිරීමට නියමිත අතර එම දර්ශන තල බොහෝමයක් නිෂ්පාදක කණ්ඩායමේ අධීක්ෂණය යටතේ මේ වනවිටත් සොයාගෙන අවසානයි.

“Kannappa” චිත්‍රපටය ඉන්දීය සාහිත්‍යයේ සහ ඉන්දීය හින්දු සංස්කෘතියේ එන සිව දේව සංකල්පය හා බද්ධ වූ නිර්මාණයක්. සිව දෙවියන් අසලින් සිටියා යැයි සැලකෙන, ඔහුගේ දැඩි භක්තිකයෙකු වූ Bhakta Kannappaගේ කතා පුවතයි මෙම චිත්‍රපටය තුළින් නිර්මාණය වෙන්නේ. සිය ඇස් උදුරා පූජා කිරීමට තරම් සිව දෙවියන්ට දැඩි භක්තියක් දැක්වූ අයෙකු යැයි සැලකෙන කන්නප්පා, දක්ෂ දඩයම්කරුවෙක් සහ සටන් ශිල්පියෙකු ලෙසිනුත් හැඳින්වෙනවා.

” Step into the world of 𝐊𝐚𝐧𝐧𝐚𝐩𝐩𝐚 where the journey of an atheist Warrior to becoming Lord Shiva’s ultimate devotee comes to life🏹

@kannappamovie @24framesfactory @avaentofficial

@ivishnumanchu @themohanbabu @Mohanlal @NimmaShivanna #Prabhas

#Kannappa🏹 #HarHarMahadevॐ

Vishnu Manchu මෙම චිත්‍රපටය තුළ කන්නප්පාගේ චරිතය නිරූපණය කරන අතර සෙසු චරිත සඳහා කිසිවෙකු නොසිතන අන්දමේ දැවැන්ත නලු නිළියන් රැසක් මේ නිර්මාණය හා සම්බන්ධ වීමට නියමිතයි. විෂ්නු මන්චුගේ පියා වන ප්‍රවීණ තෙළිඟු නලු Mohan Babuට තිබෙන සම්බන්ධතා උපයෝගී කර ගනිමින් සමස්ත ඉන්දියානු සිනමාව පුරාම සිටින, විවිධ ප්‍රාන්තීය සිනමා කර්මාන්තවල දැවැන්තයින් රාශියක් “Kannappa” චිත්‍රපටය හා අත්වැල් බැඳ ගැනීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් තිබෙනවා.
ඒ නිසාම මෙය, සාමාන්‍ය තෙළිඟු සිනමාපටයකින් දැකගත නොහැකි මට්ටමේ දැවැන්ත තරු ගුණයක් සහිත නලු නිළියන් පිරුනු චිත්‍රපටයක් වීමට නියමිත අතර එවැනි දැවැන්ත නලු නිළියන් රැසක් එකම සිනමාපටයකින් දක්නට ලැබෙන පළමු අවස්ථාව ද මෙය විය හැකියි.

එලෙසින්, Kannappa සිනමාපටයේ වැදගත් චරිතයක් නිරූපණය කිරීමට ගිවිසුම්ගතව සිටින මුල්ම රංගන ශිල්පියා වන්නේ වර්තමාන දකුණු ඉන්දියානු සිනමාවේ සිටින දැවැන්තම රංගන ශිල්පියා ලෙසින් හැඳින්වෙන Prabas Rajuයි. Bahubali චිත්‍රපට මාලාව තුළින් සමස්ත ආසියාවේම අවධානය දිනා ගන්නට ප්‍රබාස් සමත් වූ අතර මේ වනවිට දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව තුළ එක ලෙසින් තම ජනප්‍රියත්වය පවත්වාගෙන තිබෙන එකම නලුවා වන්නේ ද ඔහුයි.

ප්‍රබාස් විසින් Kannappa සිනමාපටයේ චරිතයක් සඳහා එක්වන බවට එහි ප්‍රධාන නලු Vishnu Manchu විසින්ම මේ වනවිට තහවුරු කර තිබෙන අතර බොහෝදුරට ඔහු සිටින දර්ශන මේ වසර අගභාගයේදී රූගත කරනු ඇති. චිත්‍රපටය ප්‍රබාස් තුළ ප්‍රබාස් සම්බන්ධ වන චරිතය කුමක්ද යන්න තහවුරු වී නැතත්, ඔහු වැනි නලුවෙක්ව කුඩා – එතරම් වැදගත්කමක් නොදක්වන චරිතයකට සම්බන්ධ කරගැනීමේ අවස්ථාවක් නැහැ.

වාර්තා වන පරිදි Kannappa සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ දමිළ සිනමාවේ Lady Superstar නමින් හඳුන්වන Nayanthara විසිනුයි. Bigil – Vishwasam – Darbar – Billa – Annatthe වැනි දමිළ වාණිජ සිනමාපට ගණනාවක ප්‍රධාන කාන්තා භූමිකාව රඟපෑ ඇය මීට සති කිහිපයකට පෙරදී තිරගත වූ Jawaan (2023) හින්දි සිනමාපටයෙන් ශාරුක් ඛාන් සමඟින් ද රංගනයෙන් යෙදෙනවා. අද දමිළ සිනමාව තුළ වැඩිම රසික ආකර්ෂණය සහිත කාන්තා නිළිය මෙන්ම චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනිය වන්නේ ද නායන්තාරා යි.

මීට අමතරව විෂ්නු මන්ජුගේ පියා වන, ප්‍රවීණ තෙළිගු නලු Mohan Babu ද Kannappa චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි. මෙහි තිර පිටපත රචනා කොට තිබෙන්නේ Magadheera – Bahubali – RRR – Manikarnika වැනි ඵෙතිහාසික කතා පුවත් රැසක් රචනා කළ V Vijayendra Prasad විසිනුයි.

මේ වනවිට සිනමාපටයේ පළමු රූගත කිරීම් කොටස නවසීලන්තයේ කඳු ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුවන අතර එහි ඡායාරූපයක් ද සමඟින් විෂ්නු මන්ජු සිය නවතම චිත්‍රපටයේ තොරතුරු තමන්ගේ රසිකයින් හා බෙදාහදා ගත්තේ මෙලෙසින්…

නමුත් බොහෝමයක් ඉන්දියානු සිනමා රසිකයින්ට දැන් මතුව තිබෙන ගැටළුව, විෂ්නු මන්ජු වැනි රංගන ශිල්පියෙකු මෙතරම් දැවැන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතයට තෝරා ගැනීම සුදුසු ද නැත් ද යන්නයි. 2003 වසරේදී සිනමාවට පැමිණි ඔහුගේ Vishnu | Astram | saleem වැනි වාණිජව සුලු සාර්ථකත්වයක් ලබා ගත්තද 2012-2013 වැනි කාලයෙන් පසුව විෂ්නුගේ කිසිදු චිත්‍රපටයක් ප්‍රේක්ෂක අවධානය දිනාගත්තේ නැහැ. දිගින් දිගටම ඔහුගේ චිත්‍රපට ලබාගත් අසාර්ථකත්වය මත නිෂ්පාදකවරුන් පවා Vishnu Manchuගෙන් ඈත් වූ අතර අවසානයේදී සිදුවුනේ ඔහු රඟපාන චිත්‍රපට ඔහු විසින්ම නිෂ්පාදනය කරගැනීමටයි.

මේ වනවිට Vishnu Manchuගේ චිත්‍රපටයක සාමාන්‍ය ආදායම ඉන්දීය කෝටි 10 – 15 සීමාව පසු කර යන්නේ ද බොහොම කලාතුරකින්. එවැනි පසුබිමක් මත ඉන්දීය කෝටි 100කට ආසන්න මුදලක් වැය කරමින් නිපදවෙන මෙවැනි දැවැන්ත චිත්‍රපටයක් සඳහා ඔහු කොපමණ සාධාරණයක් ඉටු කරයි ද යන ගැටළුව ප්‍රේක්ෂකයින්ට ඇති වී තිබෙනවා.

නමුත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mukesh Kumar Singh වැනි පළපුරුදු අධ්‍යක්ෂකවරයෙකු වීම නිසාත්, විවිධ ප්‍රාන්ත සිනමාවල ජනප්‍රිය සිනමා තරු ගණනාවක් රංගනයෙන් එක්වන නිසාත්, Vishnu Manchuගේ පෙර චිත්‍රපට මෙන් අසාර්ථකත්වයට පත් නොවී ඉහළ ආදායමක් වාර්තා කරන්නට මෙම නිර්මාණයට හැකිවෙතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවනවා.

Kannappa චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Mukesh Kumar Singh ඉන්දියානු දේව සංකල්ප සිනමාවට සහ රූපවාහිනී කතාමාලාවන්ට නැඟීමෙහි ලා ප්‍රවීණයෙක්. Mukesh Kumar Singhගේ අධ්‍යක්ෂණය යටතේ ඉන්දීය රූපවාහිනියට නැඟුනු දේව කතාමාලා ගණන අති විශාලයි.
Dharm Yoddha – Chandra Nandini – Akbar Ka Bal Birbal – Tenali Rama – Razia Sultan වැනි ඉන්දීය රූපවාහිනිය තුළ අතිශය ජනප්‍රියත්වයක් ලැබූ, ඔහුගේ කතාමාලා සියල්ලටම පාදක වුනේ මෙම දේව සංකල්පයි.
Kannappa සිනමාපටය නිෂ්පාදනය කරන්නේ විෂ්නු මන්ජු සහ ඔහුගේ පියා වන මෝහන් බාබුට අයත් Ava Entertainment විසිනි. Mani Sharma සහ Stephen Devassy සුසංයෝගයෙන් චිත්‍රපටයේ පසුබිම් සංගීත සහ ගීපද නිර්මාණ කටයුතු සිදුවනවා.

ප්‍රබාස් සහ නයන්තාරාට පසුව තවත් ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පියෙකු මෙම චිත්‍රපටයේ රංගනය සඳහා එක්වන බවට විෂ්නු මන්ජු විසින් තහවුරු කළා. ඒ මලයාලම් සිනමාවේ වැඩිම රසික ආකර්ෂණයක් දිනාගෙන සිටින රංගන ශිල්පියා වන Mohanlalයි. මෝහන්ලාල් සමඟ ලබාගත් ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළකරමින් Kannappa චිත්‍රපටයට එකතු වූ නවතම රංගන ශිල්පියා ඔහු බව පසුගියදා ප්‍රකාශ කළේ විෂ්නු මන්ජු විසින්මයි.
ප්‍රවීණ බොලිවුඩ් නලු Amithabh Bachchan ද මෙහි චරිතයක් සඳහා සම්බන්ධ කරගැනීමට මේ දිනවල සාකච්ඡා සිදුවන බවට පැවසෙනවා.

මෙලෙස තෙළිඟු – දමිළ – මලයාලම් – හින්දි වැනි එකිනෙකට වෙනස් ප්‍රාන්තීය සිනමා ගණනාවක ජනප්‍රිය නලු නිළියන් රැසක් Kannappa චිත්‍රපටයට සම්බන්ධ කරගැනීමෙන් පෙනී යන්නේ, මෙය සාමාන්‍ය තෙළිඟු චිත්‍රපටයක් මෙන් තෙළංගානා ප්‍රාන්ත තුළ පමණක් තිරගත නොකර සමස්ත ඉන්දියාව පුරාම Pan Indian සිනමාපටයක් ලෙසින් තිරගත කිරීමට සූදානමක් පවතින බවයි.

කෙසේ වුවත්, චිත්‍රපටයේ දැවැන්ත බව නිසාම මාස ගණනාවක දීර්ඝ කාලයක් මෙහි තිරගත කිරීම් සඳහා වෙන් කිරීමට නිෂ්පාදක කණ්ඩායමට සිදු වන අතර පසු නිෂ්පාදන කටයුතුවලටත් එවැනිම කාලයක් ගත වනු ඇති. බොහෝදුරට 2025 වසර මුලදීම “Kannappa” චිත්‍රපටය නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමි විය හැකියි.

Share

137 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.