සුදත්ගේ Breathing Memories, ඉන්දියාවේදී ජාත්‍යන්තර සම්මාන ලබයි.

Avatar Nisanka Weheraduwa | May 24, 2022 231 Views 2 Likes 0 Ratings

231 Views 0 Ratings Rate it

සුදත් අබේසිරිවර්ධන අධ්‍යක්ෂණය කළ Breathing Memories ලාංකීය කෙටි චිත්‍රපටයට “බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී” ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. ඒ සමස්ත උළෙලේ ප්‍රධානම සම්මානය වන Best Short Fiction of the Year වෙනුවෙන් හිමි ජාත්‍යන්තර සම්මානය දිනා ගනිමිනුයි. කලාපයේ දැවැන්තම සහ වැදගත්ම කෙටි චිත්‍රපට උළෙලක් වන මෙම බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල (Bengal International Short Film Festival) මෙවර පැවැත්වූයේ 07 වන වතාවටයි.

මෙවර උළෙල සඳහා රටවල් 17ක් නියෝජනය කරමින් විවිධ සිනමාකරුවන්නේ නිර්මාණ  ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයින් නිර්මාණ 16ක් අවසාන වටය සඳහා තෝරා ගෙන තිබුනා. සුදත් අබේසිරිවර්ධනගේ Breathing Memories කෙටි සිනමාපටයට අමතරව ප්‍රංශය, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, චෙක් ජනරජය, නේපාලය සහ ඉන්දියාව (බෙංගාල-හින්දි-කන්නඩ) නියෝජනය කරමින් ඉදිරිපත් කෙරුණු නිර්මාණ අවසන් වටය සඳහා වැදුණු බව සඳහන්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදි Breathing Memories සිනමා නිර්මාණය, මේ සියලුම කෙටි චිත්‍රපට අභිබවමින් උළෙලේ ප්‍රධානම සම්මානයක් වන Best Short Fiction of the Year ලෙස සම්මානයට පාත්‍ර වුනා.

අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් ප්‍රධාන රංගනයෙන් දායක වූ Breathing Memories කෙටි චිත්‍රපටයේ තිර රචනය සිදු කොට තිබෙන්නේ ද අධ්‍යක්ෂක සුදත් අබේසිරිවර්ධන විසින්මයි. එහි කතාව දිවෙන්නේ යුද්ධයෙන් පසු සහජීවන වැඩමුළුවකදී මුණ ගැසෙන සිංහල තරුණයෙකු සහ දමිළ තරුණියක අතර සිදුවන සිදුවීම් මාලාවක් ඇසුරෙනුයි. මෙය වඩමලෛයි රාජ්කුමාර්ගේ නිෂ්පාදනයක්. මෙය සිංහල සහ දමිළ ශිල්පීන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වූවක් වීම තවත් විශේෂත්වයක් වනවා.

කුලරුවන් ගමගේ විසින් කැමරා අධ්‍යක්ෂණය සිදු කළ මෙහි සංස්කරණ ශිල්පියා වශයෙන් සම්බන්ධ වූයේ සංඛ මල්වත්තයි. චිත්‍රපට සංගීතය නිර්මාණය කර තිබෙන්නේ චින්තක ජයකොඩි. සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රමෝද් එදිරිසිංහත්, රංගන වින්‍යාසයෙන් ප්‍රදීප් රාමවික්‍රමත්, වර්ණ සංයෝජනයෙන් හසිත ජයසංඛත් මෙම නිර්මාණයට එක්ව තිබෙනවා. අංග රචනය පාලිත අබේලාල්ගෙන්. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් අනන්ත රමනන්ගෙන්, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ජොෂුවා හෙබී දායකත්වය ලබාදුන් අතර Breathing Memories හි කලා අධ්‍යක්ෂණය Art Camp සමූහය විසින් සිදුකොට තිබෙනවා.

චාමර ගමඇතිගේ නිෂ්පාදන කළමනාකරු වශයෙනුත් ප්‍රචාරක මෙහෙයුම් සඳහා සමීර වීරසේකරත් නිර්මාණයට දායකත්වය ලබාදී තිබෙනවා..

විශ්ව විද්‍යාල විද්‍යාර්ථියකුව සිටි සමයේ සිටම නාට්‍යකරණයේ නියැලුණු සුදත් අබේසිරිවර්ධන ඉන් අනතුරුව කෙටි චිත්‍රපට නිර්මාණකරණයට පිවිසුනා. Dying Dreams නමින් ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය නිර්මාණය කෙරුණු අතර  එතැන් පටන් ඔහු කෙටි චිත්‍රපට සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස භාවිතා කරමින් සිටින නිර්මාණ කරුවෙක්. මෙලෙස ජාත්‍යන්තර ඇගයුමට පත්ව තිබෙන්නේ ඔහුගේ තෙවැනි කෙටි චිත්‍රපට නිර්මාණයයි.

සුදත් අබේසිරිවර්ධන ඇතුළු Breathing Memories කණ්ඩායමට Cinema.lk අපෙන් උණුසුම් සුබපැතුම්…!

Share

231 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.