හොඳ නමුත් වෙට්‍රිමාරන්ට තරම් නොවේ – Viduthalai : Part 01 – Review
සටහන: මහේල හෙට්ටිආරච්චි
දමිළ සිනමාව පිළිබඳ ශ්‍රී ලංකාවේ සමහරක් රසිකයන් තුල ඇත්තේ ඒකාකාරී රාමුවක් සම්බන්ධ හැඟීමකි. වීරයා එල්ල කරන පහරකින් දුශ්ටයා අඩි විස්ස, තිහ ඉහළ ගොස් වැටෙන, කෙසෙල් ගෙඩියකින් වුව ඝාතනයන් සිදු කල හැකි අධි වීර පදනමක් සහිත මසාලා සිනමාවක් ගැන ඉතිහාසයක් දමිළ සිනමාවට ඇත. වෙට්‍රිමාරන් යනු එම අධි වීර මසාලා සිනමාව වෙනුවට, බිම් ගත, තාත්වික පදනමක් සහිත වඩා අමු පැහැයක් දමිළ සිනමාවට හඳුන්වා දීමේ ප්‍රමුඛයෙකි.
බාලු මහේන්ද්‍රන්, මනිරත්නම්, ගෞතම් වාසුදේවන් මෙනන්, සෙල්වරාඝවන්, වැනි අධ්‍යක්ශකවරුන් විසින් මසාලා රසය ද යම් ප්‍රමාණයකට රැක ගනිමින් යතාර්ථයට කෙමෙන් ලං කල වාණිජ දමිළ සිනමාව, දෑතින්ම ඔසවා යතාර්ථයෙහි ගසන්නේ වෙට්‍රිමාරන්ය. ප්‍රවේගය නමින් ශ්‍රී ලංකාවේ දී අනුවාදයට ලක්වුණ පොල්ලාදවන් වෙට්‍රි ගේ පළමු චිත්‍රපටයයි. ආඩුකුලම්, විසරනෙයි, වඩ චෙන්නායි, අසුරන් ඔහු විසින් අධ්‍යක්ශණය කළ දීර්ඝ සිනමා පට ලැයිස්තුවයි. මේ සියල්ල දමිළ සිනමාවේ Cult Classic ලෙස ඉතිහාසයට එකතු වූ චිත්‍රපට වන අතර, ඒ අතරිනුත් Visaranai යනු ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට අතරේ තැබිය හැකි සිනමාපටයකි.
වෙට්‍රිමාරන්ගේ නවතම චිත්‍රපටය “විදුතලෙයි” ලෙස නම් වී ඇත. කොටස් දෙකකින් යුත් නිසා මෙම චිත්‍රපටය “විදුතලෙයි Part 1” ලෙස හඳුන්වා දී ඇත. චිත්‍රපටය පැය 2 යි මිනිත්තු 36 ක ධාවන කාලයකින් යුක්ත ය.
මෙම චිත්‍රපටය ආකාර කිහිපයකින් වෙට්‍රිමාරන්ට සුවිශේෂී වෙයි. එක් අතකින් මෙය ධනුශ් නොමැති ඔහුගේ දෙවැනි සිනමාපටයයි. ඔහු ධනුශ් ප්‍රධාන නලු භූමිකාවේ තබාගෙන සිනමාපට හතරක් කර තිබේ. අනෙක් අතින් මෙය විජේ සේතුපති සහ විකට නළුවෙකු ලෙස දමිළ සිනමාව තුළ ආකෘතික වුණ සූරි සමග ඔහුගේ පළමු එකතුවයි. මාස්ටර් ඉලෙයිරාජාගේ සංගීතයෙන් හැඩ වන ඔහුගේ පළමු සිනමාපටය වන්නේ විදුතලෙයි ය.
වෙට්‍රිගේ සිනමා දිවිය දෙස යළිත් හැරී බලද්දී ඔහුගේ සිනමාපට බොහෝ විට හුදෙකලා සිදුවීම් මත පදනම් වී නිර්මාණය වූ ඒවාය. පවුලක් වටා, තරුණයෙකු වටා, මිතුරන් කිහිප දෙනෙකු වටා, සීමිත පිරිසකගෙන් යුත් සමාජයක් වටා වැනි, පුළුල්ව බැලූ විට එතරම් සුවිශේෂීව නොපෙනෙන කතා ඔහුගේ වස්තු විශය වෙයි. එහෙත් විදුතලෙයි එම සීමාව අභිබවා යයි. එය තමිල්නාඩු ප්‍රාන්තීය දේශපාලනය සහ ඉන්දියානු දේශපාලනය සමග සෘජුව ගණුදෙනු කරයි. විදුතලෙයි, වෙට්‍රිමාරන් විසින් අධ්‍යක්ශණය කළ පරාසය විශාලම චිත්‍රපටය ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. එය ද සුවිශේෂ ය.
විදුතලෙයි, B. Jeyamohan විසින් රචිත කෙටි කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ සිනමාපටයකි. සත්‍ය කතාවක් පදනම් කරගෙන චිත්‍රපටය නිර්මාණය වී ඇති බවට ආ වාර්තා සියල්ල, චිත්‍රපටය ආරම්භයේදී දර්ශනය වන, සහ Voice Over එකක් මගින් කියවන Disclaimer සටහන මගින් නිශ්ප්‍රභ කරයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ විනාඩි පහක් පමණ පුරාවට දිවෙනා Single Take දර්ශනයකිනි. “People’s Army” නම් නැස්කලයිට්, ගරිල්ලා, කැරළි කාර සංවිධානයක් විසින් කළ දුම්රිය පිපිරීමකින් සිදු වූ විනාශය බැලීමට ඇමතිවරයෙක් පැමිණෙයි. කැමරාව ඔහුව අපට පෙන්වා, ඔහු නොදකින පිපිරීමෙන් පීඩාවට පත් වූ සාමාන්‍ය ජනයා විඳින පීඩාව පෙන්වීම පිණිස, අපව විනාශ වී ගිය දුම්රිය අතරින් එහෙ මෙහේ කැඳවාගෙන යයි. එය විස්මිත ජනක අන්දමින්, අතිශය සියුම් ව සැලසුම් කර ඇති දර්ශනයක් බව පෙනේ.
වනාන්තර පෙදෙසක් කැණීම් කටයුතු සඳහා අමෙරිකානු සමාගමකට දීමට තමිල්නාඩු රජය සැරසෙයි. “People’s Army” සංවිධානය එයට එරෙහිව තමිල්නාඩු රජයට එරෙහිව තවත් සුවිශාල ප්‍රහාරයකට සැරසෙන බවට බුද්ධි අංශය හරහා තොරතුරු ලැබෙයි. ඒ අනුව තමිල්නාඩු පොලීසිය, People’s Army හි නායකයා වන, “වාතියර්” හෙවත් “ආචාර්ය වරයා” ලෙස සාමාන්‍ය ජනයා අතර ප්‍රකට පෙරුමාල් (විජේ සේතුපති) නම් අයෙක් සොයා සිය මෙහෙයුම් අරඹයි. මෙම මෙහෙයුම් කණ්ඩායමට පොලිස් රියදුරෙකු ලෙස එකතු වන නවක පොලිස් නිළධාරියෙකු වන කුමරේසන් (සූරි) වටා කතාව දිවෙයි. People’s Army වෙත සහ එහි නායකයන් වෙත, එය ක්‍රියාත්මක වන ප්‍රදේශ ආශ්‍රිත ගම්මාන වල ජීවත් වන මිනිසුන් තුල ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි.
කුමරේසන් අහිංසකය. අසරණය. සංවේදීය. එසේම යුක්ති සහගතය. සියල්ලටම වඩා මේ චරිතය සාමාන්‍යය. අන් සියලුම සාමාන්‍ය ජනයා මෙන් පීඩිතය. හාස්‍ය නලුවෙකු වන සූරි, ප්‍රථම වතාවට අතිශය සංකීර්ණ සහ තාත්වික චරිතයකට, අති සාර්ථකව පණ දෙන අයුරු විදුතලෙයි හරහා ඔබට අත් දැකිය හැකි වනු ඇත.
එක් දර්ශනයක, කුමරේසන් “People’s Army” හි සාමාජිකයෙකු යැයි සැක පිට පොලිස් ග්‍රහණයට ගත් සිය පෙම්වතිය පොලිස් ප්‍රහාරයෙන් වලකා ගැනීම සඳහා පොලිස් බිමේ එහේ මෙහේ දිව යයි. පොලීසියේ ලොක්කන්ගෙන් පහර කමින් ඔහු සිය පෙම්වතිය මේ දරුණු සහ අශිෂ්ට පොලිස් ප්‍රහාරයෙන් මුදවන ලෙස ඉල්ලයි. පොලිස් ලොක්කන් ඔහුගෙන් ඇයට පහර නොදිය යුතු හේතුව විමසයි.
“එයා හොඳ කෙනෙක්”
කුමරේසන් කියන්නේ එම හේතුව පමණි. ඔහුට ඒ වෙනුවෙන් මහා බරපතල හේතු නැත. මානව හිමිකම්, නීති පොත් වල වගන්ති, පොලිස් ආචාර ධර්ම ආදී දේවල් ඔහු නොදනී. ඔහු දන්නා එකම දේ “ඇය හොඳය” යන්න පමණි. මේ දෙබස කියද්දී සූරි රංගන ශිල්පියෙකු යැයි ප්‍රේක්ශක අපට නොහැඟේ. ඔහුගේ මුහුණ, ඇඟ, ඇස්, කටහඬ ආදී සියලු අංග තුල කුමරේසන් ජීවත් වෙයි. සූරි, තාත්වික නළුවෙකු ලෙස යලි ඉපැද්දවීම, වෙට්‍රිමාරන්ගේ සිනමා ජීවිතය තුල ඔහු ගත් විශිෂ්ටතම සහ නිර්භයම තීරණ අතරින් එකක් ලෙස දමිළ සිනමා ඉතිහාසයට එකතු වනු ඇත.
චිත්‍රපටය, කුමරේසන්, කිසිවකු විසින් ගණන් නොගැනෙන, සුවිශේෂ කොට නොදකින සාමාන්‍ය පොලිස් භටයා ගේ සිට, සියල්ලන්ගේම අවධානයට පාත්‍ර වන, ගෞරවයට පාත්‍ර වන “වීර පොලිස් භටයා” දක්වා යන ගමන අපට පෙන්වයි. ඒ අනුව මෙම චිත්‍රපටය Coming of Age ශානරය ද සියුම්ව ස්පර්ශ කිරීමට සමත් වෙයි. සිනමා ගමන තුල කුමරේසන් බොහෝ දේ ඉගෙන ගනියි. එය ගල් අධික, බාධා බොහෝ ඇති කන්දක් නැගීම ගැන වන ඉගෙනීමක් මෙන්ම, බාධා බොහෝ සහිත ජීවන ගමන තුල ගමන් කිරීම ගැන ද වන ඉගෙනීමක් බව ප්‍රේක්ශක අපගේ ඇස ගැටෙයි.
පෙරුමාල් ලෙස රංගනයෙන් දායක වන විජේ සේතුපති චිත්‍රපටය තුල දැකිය හැක්කේ ඉතා කුඩා ධාවන කාලයක දී පමණි. “විදුතලෙයි II” හි දී ඔහුගේ චරිතය තවත් ශක්තිමත් වනු ඇති අතර, චරිතයට හිමි ධාවන කාලය ද සැලකිය යුතු ලෙස වැඩිවනු ඇති බවට අනුමාන කළ හැක. තමිලරාසි ලෙස භවානි ශ්‍රී ද, DCP සුනිල් මෙනන් ලෙස ගෞතම් වාසුදේවන් මෙනන් ද, ආදී සියල්ලෝම සිය චරිත වලට අතිශය සාධාරණයක් ඉශ්ට කරති.
R. Velraj විසින් සිදු කළ චිත්‍රපටයේ කැමරාකරණය ප්‍රශංසනීය ය. එහෙත් සමහර දර්ශන තුල කැමරාව අරමුණක් රහිතව භාවිතා කරනා බව පෙනෙයි. ඉහත සඳහන් කළ Single Take දර්ශනයේ වුව ද අප මවිතයට පත් වන්නේ එම දර්ශනය රූපගත කල ස්වභාවය ගැන විනා, එම සිදුවීම ගැන නොවේ. කැමරාව වේගයෙන් ගමන් කරයි. සිදුවීම ගැන සංවේදී වීමට වෙලාවක් අපට කිසිඳු ලබා නොදෙයි. සංස්කරණය තුලින් ද කැමරාකරණයට සම්පූර්ණ සාධාරණයක් ඉශ්ට නොවෙන බව පෙනෙයි. සමහර දර්ශන තුල, Shots අතර සිදුවන සංස්කරණයන් හදවතක් නොමැතිව සිදු කරනා “කැපිලි” ලෙස හැඟේ. එම නිසා එවැනි සිදුවීම් වල සංවේදි බව ප්‍රේක්ශක අපෙන් ගිලිහී යයි.
වෙට්‍රිගේ පෙර සිනමාපට වල කුඩා දර්ශන තුලින් පවා ප්‍රේක්ශකයා වෙතට හුවමාරු කරනා ප්‍රබල පණිවුඩය මෙම චිත්‍රපටය තුල දක්නට නොලැබේ. Big Scale දර්ශන වලට දක්වන අවධානය සාමාන්‍ය, කුඩා දර්ශන වලට ඒ තරමටම යොමු කර නොමැති වීම එයට හේතුව විය යුතුය. චිත්‍රපටයෙහි Climax එක ප්‍රේක්ශකයාට වඩා දැනවීමට හේතුවක් වන කුමරේසන් සහ තමිලරාසා අතර සම්බන්ධයෙහි ගැඹුර පෙන්වීම සඳහා තිර පිටපතෙන් ද ලැබෙන්නේ අඩු දායකත්වයකි. ඉඳහිට සිදුවන හමුවීම් සහ කතාබහ හැරුණ කොට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය තීව්‍ර ව අපට නොපෙන්වයි. එම නිසා Climax දර්ශනය, දැනිය යුතු තරමට අපට නොදැනෙයි.
චිත්‍රපටයෙහි සංගීතය මාස්ටර් ඉලෙයිරාජාගෙනි. එහෙත් ඔහුගේ සංගීතයෙන් චිත්‍රපටයට සිදු වන බලපෑම ප්‍රාමාණික නොවේ. ගීත ත්‍රිත්වයෙන් මතකයෙහි රැඳෙන සුළු ගීතය ලෙස ගත හැක්කේ “Onnoda Nadandhaa” පමණි. ඉතුරු ගීත ඔහේ ගලායයි. අනෙක් දර්ශන මාලාවන් සඳහා ගීත අනවශ්‍ය බව ද, ක්‍රියාදාම දර්ශන තුල ඉලෙක්ට්‍රොනික් සංගීතය භාවිතා කිරීමට මාස්ටර් ඉලෙයිරාජා ගෙන ඇති තීරණය නිවැරදි නොවන බව ද හැඟේ.
සමස්තයක් ලෙස “විදුතලෙයි” ඔබ නැරඹිය යුතු, හොඳ චිත්‍රපටයක් යැයි අවිවාදයෙන් කිව හැකිය. එහෙත් එය වෙට්‍රිමාරන් නම් සිනමාකරුවාගේ සිනමාවට තරම් නොවන නිර්මාණයකි. එය හොඳ ය. විශිෂ්ට නැත. වෙට්‍රි අපට කියා දෙන්නට යන කතාව කුමක් ද යන්න අවබෝධයක් අපට ලැබුණ ද, ඔහුට එම කතාව නිරවුල්ව කීමට සංස්කරණයෙන් සහ සංගීතයෙන් ලැබෙනා දායකත්වය අල්පය. සමහර අවස්තාවල තිර රචනය ද ඔහුගේ මාර්ගයෙන් අපගමනය වෙයි.
එම අපගමනයට හේතුව, චිත්‍රපටයේ පරිමාණය විශාල වීම නිසා සමස්ත නිර්මාණමය කාර්යය අතපසු වීම ද, විශාල පරිමාණයේ දර්ශන වෙත වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වීම නිසා කුඩා එහෙත් බලපෑමක් කළ හැකි අන්දමේ දර්ශන සහ සිදුවීම් වෙත යොමු විය යුතු අවධානය මග හැරීම ද, තම කණ්ඩායම ගැන ඇති අධි විශ්වාසය ද, යන හේතු වලින් ඕනෑම එකක් හෝ සියල්ලම වන්නට පුලුවන.
Written by Kavinu Weerakkody