66 වැනි Filmfare සම්මාන 2021 – හොඳම චිත්‍රපටය THAPAD

Avatar Nisanka Weheraduwa | April 19, 2021 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

සටහන : කවිනු වීරක්කොඩි

ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උළෙලවල් අතුරින් Filmfare Awards සම්මාන රාත්‍රියට සුවිශේෂි ජනප්‍රියත්වයක් හිමිවෙනවා. 1957 වසරේ සිට වාර්ෂිකව පවත්වන මෙම ෆිල්ම්ෆෙයා සම්මාන උළෙල පිළිබඳව ලාංකීය රසික රසිකාවින් ද මහත් උනන්දුවකින් පසුවෙනවා. ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ කෙතරම් ජනප්‍රියත්වයක් හිමි වුණත් මෙහිදී සම්මාන ප්‍රධානය කරන්නේ හින්දි භාෂාමය නිර්මාණ සඳහා පමණක් වීමද විශේෂත්වයක්.

The Times සමූහය විසින් මූලික වී පවත්වනු ලබන Filmfare Awards හි 66වන සම්මාන උළෙල පැවැත්වූයේ පසුගිය මාර්තු 27වනදා මුම්බායි හිදීයි. එහිදී 2020 වර්ෂය තුළ හොඳම හින්දි චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමුණා. ජනප්‍රියතම කාණ්ඩය සහ විචාරක කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් දෙදෙනා බැගින් තෝරා ගනිමින් සම්මාන ප්‍රධානය කිරීම මේ උළෙලේ තවත් විශේෂත්වයක්.

Best Film

Best Actor in a leading role

Best Actress in a leading role යන සම්මාන තුන මෙලෙස කාණ්ඩ දෙක යටතේ වෙන වෙනම පිරිනමනු ලැබුවා. ඒ අනුව ජනප්‍රියතම කාණ්ඩයෙන් හොඳම චිත්‍රපටය බවට සම්මාන ලැබුවේ Thappad සිනමාපටයයි. තාප්සී පන්නුගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු Thappad චිත්‍රපටය සාම්ප්‍රදායික රැල්ලෙන් ඔබ්බට ගොස් නිර්මාණය වීම නිසාම බොහෝ දෙනා එය අගය කරනු ලැබුවා.

විචාරක කාණ්ඩයෙන් හොඳම චිත්‍රපටය වූයේ Eeb Allay Ooo! නිර්මාණයයි.

හොඳම නලුවාට හිමි Best Actor in a leading role සම්මාන උදෙසා ජනප්‍රියතම කැටගරියෙන් තේරී පත් වුණේ Irrfan Khan රංගන ශිල්පියායි. පිළිකා තත්වයක් නිසා මෑතකදී ජීවිතයෙන් සමුගත් ඉර්ෆාන්, ෆිල්ම්ෆෙයා උළෙලේදී හොඳම නලුවා වූයේ Angrezi Medium චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි.

එසේම, විචාරක අදහස අනුව හොඳම නලුවා බවට පත්වන්නට හැකි වුණේ ඉන්දීය සිනමාවේ පුරාවෘතයක් බඳු අමිතාබ් බච්චන්ටයි. Amazon Prime ඔස්සේ නිකුත් වුණු Gulabo Sitabo නිර්මාණයේ රංගනය නිසා මෙසේ සම්මානයට පාත්‍ර වුණු අමිතාබ් බච්චන්, ඒ සිනමාපටයේම තමන් සමඟ රඟපෑ අයුෂ්මාන් කුරාණාට සුබ පැතීමටද අමතක කළේ නැහැ.

Thappad ජනප්‍රියම කාණ්ඩයෙන් හොඳම චිත්‍රපටය බවට පත් වෙද්දි, එහි ප්‍රධාන චරිතය රඟ පෑ තාප්සී පන්නු ජනප්‍රියම කාණ්ඩයෙන් හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත්තා. එසේ වුවද, 66වන ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ නිළියක සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ වූයේ ඇය ගැන නොවේ. තාප්සීගේ සම්මානයට වඩා බොහෝ දෙනා ඇගයූයේ විචාරක කාණ්ඩයෙන් හොඳම නිළිය බවට පත් වුණු Tillotama Shomeගේ ජයග්‍රහණයයි. ඇය මෙම සම්මානය දිනාගත් Sir සිනමාපටය මෑතකාලීන හින්දි සිනමාව විසින් බිහි කළ විශිෂ්ටතම කෘතියක් බවටයි බොහෝ දෙනාගේ අදහස.

මෙම සම්මාන ත්‍රිත්වයට අමතරව බොහෝ වර්ගීකරණයන් යටතේ පසුගි ෆිල්ම්ෆෙයා උළෙලේදී සම්මාන පිරිනැමීම සිදු කළා. මෙවර හොඳම අධ්‍යක්ෂකවරයා බවට පත් වුණේ Tanhaji: The Unsung Wariror අධ්‍යක්ෂණය කළ Om Raut ය. අජේ දෙව්ගන් රංගනයෙන් දායක වුණු 100වන නිර්මාණය වූ මෙය ආදායම් වාර්තා අතින්ද බොහෝ සේ සාර්ථක වුණා. එහි ප්‍රතිවීර චරිතය රඟපෑ සායිෆ් අලී ඛාන් විසින්ම Best Actor in Supporting Role හෙවත් හොඳම සහය නලුවා වීමත් සුවිශේෂී කාරණයක්.

මෙවර ෆිල්ම්ෆෙයා උළෙලේ තවත් කැපී පෙනුණු ජයග්‍රාහණයක් වූයේ හොඳම සහය නිළිය ලෙස සම්මාන ලැබූ Farrokh Jaffarගේ සම්මානයයි. වයස අවුරුදු 87ක කාන්තාවක වූ ඇගේ මෙම ජයග්‍රහණයට බොහෝ රසිකයින් ප්‍රශංසා කර තිබුණා.

Best Music Director ලෙස සම්මාන ලැබූයේ Ludo චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ  Pritam විසිනුයි. හොඳම නවක අධ්‍යක්ෂකවරයා ලෙසින් Best Debut Director බවට පත් වුණේ Rajesh Krishnan ය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ලෙසින් පසුගිය වසරේ නිකුත් වුණු Lootcase සිනමාපටය, ඔහුව මෙලෙස ෆිල්ම්ෆෙයා ජයග්‍රාහකයෙකු බවට පත් කළා.

මෙම සම්මාන රාත්‍රියේද Technical Awards හෙවත් තාක්ෂණික අංශය සඳහා වූ සම්මාන ලැයිස්තුව පිරිනැමුණේ පහත පරිදියි.

හොඳම සංස්කරණය – Thappad

හොඳම නර්තන අධ්‍යක්ෂණය – Dil Bechara

හොඳම සිනමා අධ්‍යක්ෂණය – Gulabo Sitabo

හොඳම ශබ්ද පරිපාලනය – Thappad

හොඳම පසුබිම් සංගීතය – Thappad

හොඳම ඇඳුම් නිර්මාණය – Gulabo Sitabo

හොඳම සටන් අධ්‍යක්ෂණය – Tanhaji

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Tanhaji

ජීවිත කාලයටම එක්වරක් පමණක් පිදෙන Filmfare Lifetime Achievement සම්මානය මෙවර පුද කළේ අග්‍රගණ්‍ය සිනමාවේදී ඉර්ෆාන් ඛාන්ටයි. ජනප්‍රියතම කාණ්ඩය යටතේ හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත්තේද පසුගියදා ජීවිතයෙන් සමුගත් ඔහුමයි.

මේ අනුව වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපටය ලෙස වැජඹීමට හැකියාව ලැබුණේ Thappad චිත්‍රපටයටයි. ඔවුන් මෙවර උළෙලේදී සම්මාන 07ක් හිමි කරගත්තා. නමුත් වැඩිම නිර්දේශවීම් ගණනකට හිමිකම් කියූවේ Ludo සිනමාපටයයි. Anthology ශානරයට අයත් මෙය සම්මාන 16ක් සඳහා නිර්දේශ වුණා.

– කවිනු වීරක්කොඩි  –

Share

90 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.