Derana Sunsilk Film Awards මෙවර විශිෂ්ටයන් කවුරුන්ද..??? (පළමු පියවර)

Avatar Nisanka Weheraduwa | September 20, 2017 161 Views 0 Likes 0 Ratings

161 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන උදෙසා දෙරණ මාධ්‍ය ජාලය සිදුකරන අති දැවැන්ත මැදිහත් වීම Derana Sunsilk Film Awards,පස්වැනි වරටත් පැවැත්වෙන බව සිනමා රසික ඔබ හොඳින්ම දන්නා කාරණයක්. වර්ෂ 2016 දෙසැම්බර් 31 වැනිදාට තිරගත වීම අවසන් කෙරුණු චිත්‍රපට 23ක් මෙවර සිනමාසම්මාන  සඳහා තරග වැදීමට නියමිතයි. විශිෂ්ටතා සම්මාන උදෙසා තරග වදින සිනමාපට ගැන සිනමා රසික ඔබ දැනුවත් කරන්න cinema.lk සුදානම්. මෙවර අභිෂේක ලැබීමට සුදානමින් තරගවදින  සිනමාපට 23න් හතරක් පිලිබඳ අද දවසේ තොරතුරු ගෙන එන්නේ එහි පළමු පියවර විදිහට.

සයපෙති කුසුම (Frangipani) – 2016 වර්ෂයේ තිරගත කෙරුණු විශේෂිතම චිත්‍රපටයක්. ඒ වගේම සමාජය තුළ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. ඒ විශේෂත්වයට හේතුවුනේ චිත්‍රපටයෙන්සාකච්ඡාවට ගෙනා මාතෘකාව. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සහ ඔවුන් සමාජීයව මුහුණදෙන ගැටළු පිළිබඳවත් මේ චිත්‍රපටයෙන් කතාබහ කළා. ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය තුල සමලිංගික ආදරය සහ සංක්‍රාන්ති ලිංගික සමාජභාවය ගැන ප්‍රමුඛවම සාකච්ඡා වුනේ මේ චිත්‍රපටයෙන් බවයි විචාරක මතය වුනේ. චිත්‍රපටයේ කතා තේමාවත් එක්කම මෙහි රංගන ශිල්පින් යොදා ගැනීම අභියෝගාත්මක වුනු බවයි අධ්‍යක්ෂවරයා, විසාකේස චන්ද්‍රසේකරන් පැවසුවේ. දසුන් පතිරණ සහ ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි කියන රංගන ශිල්පින් දෙදෙනා සහ යශෝධා රසඳුනීත් මෙහි ප්‍රධාන භූමිකාවක් නිරුපනය කරනවා.

21905271_1647871331949781_1428821674_n

පටිභාන- පසුගිය වසරේ තිරගත වී අවසන් කෙරුණු තවත් චිත්‍රපටයක් පටිභාන. මේ සිනමාපටයත් පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමාසම්මාන උළෙලේ සම්මාන සඳහා තරග වදිනවා. රබින් චන්ද්‍රසිරි  අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුනු පටිභාන චිත්‍රපටය තුල පුද්ගලයකුගේ අභ්‍යන්තර සිතිවිලි සහ සමාජ ජීවිතය ගැනත් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳවත් යම්තාක් දුරට සාකච්ඡා කෙරෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල සිනමාවේ නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කළ රබින් චන්ද්‍රසිරිගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන පටිභාන චිත්‍රපටය 2015 සාක් කලාපිය සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය ලෙස සම්මානයටත් පාත්‍ර වුනා. සම්පත්ශ්‍රී ජයසිංහ, නිරෝෂන් විජේසිංහ සහ චන්ද්‍රසෝම බින්දුහේවා ඇතුළු නළු නිළි පිරිසක්මේ සිනමාපටයට රංගනයෙන් දායක වුනා.

21849050_1647899715280276_65585300_n

පුතණ්ඩියා- මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ උගුලකට මැදිව අසරණ වන පියකු සහ සත්‍ය හරිහැටි නොදැන සිය පියා පිලිබඳ වැරදි අදහසකින් පසුවන පුතෙකුගේ ජිවිතයේසිදුවීම් සමග  වර්තමාන සමාජදේශපාලනික හැසිරීම් පිළිබඳව පුතණ්ඩියා චිත්‍රපටය මගින් කතාබහ කෙරෙනවා. පුතණ්ඩියා තිසුලදිප තඹවිටගේ අධ්‍යක්ෂණයෙන් සහ සමන්ත මිගල්ල, මෙත්සිරි කුමාරසිංහ නිෂ්පාදනයෙන් නිර්මාණය වුවක්. තිසුලදිපතඹවිට කැමරා ශිල්පියෙක් ලෙස සිනමාවට සම්බන්ධ වූවෙක් නිසාම මෙහි කැමරාකරණයත් ඔහුගෙමයි. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායක වන බුද්ධිකජයරත්න රංගන ශිල්පියා මෙහි තිර පිටපත් රචකයාද වනවා. පුතණ්ඩියා චිත්‍රපටයට බුද්ධික ජයරත්න, ජීවන් කුමාරතුංග, ධර්මප්‍රිය ඩයස්, හිමාලි සිරිවර්ධන, නෙහාර පිරිස් ඇතුළු නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වුනා. මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ ඇගයීම් සඳහා පුතණ්ඩියා චිත්‍රපටයත් සුදුසුකම් ලබා තිබෙනවා.

21903549_1647871328616448_1350140793_n

හැටහතර මායම් – සිනමාවේ විවිධ අංශ වලින් යුක්තයි. ලෝක සිනමාවත් එහෙමයි. හාස්‍යෝත්පාදක නැත්නම් Comedy  කියන්නේ ඒ වගේ ඒක අංශයක්. මේ චිත්‍රපටය අයිති වෙන්නේ කොමඩි සිනමාපටගණයට. සුදේශ් වසන්ත පිරිස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. නිෂ්පාදනයෙන් දායක වුනේ සුනිල් ටී. ප්‍රනාන්දු. හැටහතර මායම් චිත්‍රපටයේ විජය නන්දසිරි, මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ, විශ්ව ලංකා, විශ්ව කොඩිකාර සහ නිරෝෂා තලගල රංගනයෙන් දායක වනවා. දෙරණ සිනමාසම්මාන උළෙලේ ඇගයීම් සඳහා 2016 වසරේ තිරගත වුනු හැටහතර මායම් චිත්‍රපටයත් සුදුසුකම් ලබා තිබෙනවා.

දෙරණ සිනමා සම්මාන උළෙලේ ඇගයීම් සඳහා ජුරිය වෙත ඉදිරිපත් කෙරෙන සිනමාපට 24න් තවත් සිනමාපට හතරක තොරතුරු හෙට දවසේදී සිනමාලෝලීන් වෙත ගෙන එන්නට cinema.lk සුදානම්. Derana Sunsilk Film Awards 2017 සිනමා සම්මාන පිලිබඳ සියලු තොරතුරු දැනගැනීමට cinema.lk වෙබ් අඩවියට සහ Cinema.lk ෆේස්බුක් පිටුවට  පිවිසෙන්නත් සිනමා රසික සැමට අවස්තාව තිබෙනවා.

සටහන : නිසංක වෙහෙරදුව

Share

161 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.