Ellen Kurasගේ සහයෙන්, Kate Winslet දෙවන ලෝක යුද්ධයට

Avatar Kavinu Weerakkody | December 24, 2021 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන අයෙක් නම්, Lee Miller හෙවත් Lady Penroseගේ නම බොහොම හුරුපුරුදු ඇති. ලාබාල වියේදීම නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ඇයට, එතරම් කාලයක් යන්නට මත්තෙන් ජනප්‍රිය තලයේ නිරූපණ ශිල්පිනියක වෙන්නට හැකියාව ලැබුනා. වයස අවුරුදු 20 වන විට ලෝක-ප්‍රසිද්ධ Vogue සඟරාවේ මුල් පිටුව හැඩ කරන්නට තරම් Lee Miller වාසනාවන්ත වුනා. නිරූපණ ශිල්පිනියක වශයෙන් එසේ ජනප්‍රිය වුණත්, පසුකාලීනව සමාජයේ නිතර කතාබහට ලක් වන චරිතයක් බවට පත් වෙන්නට ඇයට හැකියාව ලැබුණේ ඒ කාරණාව නිසා නම් නෙමෙයි. 1939-1945 කාල සීමාව තුළ දෙවන ලෝක යුද්ධයේදී යුධ වාර්තාකාරිනියක විදිහට ඇය සේවය කරන්නට යෑම බොහෝ දෙනෙකු විස්මයට පත් කළ කාරණයක්. ඇගේ මෙම ජීවිත කතාව අදටත් ලෝකය පුරාම ජනප්‍රියයි.

Lee Millerගේ ජීවිත කතාවේ ආකර්ෂණය නිසාම එය චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කරන්නට යන බව කාලයක ඉඳන්ම සිනමා ලෝකයෙන් ආරංචි වුණා. නමුත් Lee Millerගේ චරිතයට පණ පොවන්නට සූදානම් වන රංගන ශිල්පිනිය ගැන කිසිම තොරතුරක් මාධ්‍යයට වාර්තා වුණේ නැහැ. නමුත් ඉන් මාස කීපයකට පසු Kate Winsletගේ නම සිනමාපටයට ඈඳෙන්නට ගත්තා. ඒ වනවිටත්, Kate Winslet බාර ගෙන තිබූ නිර්මාණ කිහිපයකම රූපගත කිරීම් ඉතිරිව තිබුණු නිසා රසිකයිනුත් ඒ ආරංචිය ගැන එතරම් බලාපොරොත්තු තබා ගත්තෙත් නැහැ. ඔවුන් සිතූ පරිදිම Kate Winsletගේ ආරංචිය හැමෝටම අමතක වුණා.
නමුත් අද වෙනකොට Lee Millerගේ සිනමාපටය ගැන රසිකයින් නැවතත් තොරතුරු හොයන්න පටන් අරගෙන..!!

ඊට හේතුව වුණේ වසර ගණනාවකට පෙරදී සමාජ මාධ්‍යයේ ගොසිප් මවපු මේ ආරංචිය සත්‍යයක් බව ප්‍රේක්ෂකයින්ට දැනගන්නට ලැබීමයි. Lee Millerගේ චරිතයට Kate Winslet රංගනයෙන් එක් වෙන බව conform වීමත් සමඟම චිත්‍රපටයේ තවත් තොරතුරු කිහිපයක්ම මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා.

Lee Miller නැමැති ධෛර්යවන්ත කාන්තාවගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට නියමිතව තිබෙන්නෙත් හොලිවුඩයේ දක්ෂ සිනමාවේදිනියක විසිනුයි. ඇය නමින් Ellen Kuras…
Kate Winslet සහ Ellen Kuras මීට පෙර නිර්මාණ කිහිපයකම එකට වැඩ කටයුතු කරලා තියෙනවා. Kate රංගනයෙන් දායක වුණු Eternal Sunshine of the Spotless Mind සහ A Little Chaos සිනමාපට ද්විත්වයේ කැමරා අධ්‍යක්ෂකවරිය වශයෙන් සම්බන්ධ වුණේ ඇයයි. ඒ වගේම ඇය කැමරා අධ්‍යක්ෂණය කළ The Betrayal වාර්තා චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මානයට නිර්දේශ වන්නත් Ellen Kuras සමත් වුණා.

Lee Millerගේ පුත්‍රයා (Antony Penrose) සහ සැමියා (Roland Penrose) විසින් රචිත The Live of Lee Miller ග්‍රන්ථය ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට යන්නේ.
කේට් වින්ස්ලට් හැරුනුකොට මේ නිර්මාණයට එකතු වන ප්‍රධාන පෙළේ රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ගැනත් hollywood මාධ්‍ය වාර්තා කරනවා. Marion Cotillard, Jude Law, Josh O’Connor සහ Andrea Riseborough යන පිරිස තමයි Lee Millerගේ සමීපතමයින්ගේ චරිත මේ ආකාරයෙන් යළි ප්‍රතිනිර්මාණය කරන්නට සම්බන්ධ වෙන්නේ. මේ වනතුරු නිල නිවේදනයක් නිකුත් නොවුණත් ඔවුන් නිරූපණය කරන්නට නියමිත චරිත පිළිබඳව යම් විස්තරයකුත් සුප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයක්ම ප්‍රකාශයට පත් කර තිබුණා.

ඔවුන්ට අනුව Lee Millerගේ සැමියාගේ චරිතය සඳහා එක් වී තිබෙන්නේ රංගන ශිල්පී Jude Lawයි. ඇගේ පුතා වන Antony Penroseව නිරූපණයට රංගන ශිල්පී Josh O’Connor ගිවිසුම්ගත වී තිබෙනවා. ලී මිලර් සමඟින් Vogue සඟරාවේ සේවය කළ සමීප මිතුරියන් දෙදෙනෙකුගේ චරිත සඳහා Marion Cotillard හා Andrea Riseborough සම්බන්ධ වන බවටත් ඔවුන් වාර්තා කරනවා.

“This is absolutely not a biopic, What we wanted to do was find the most interesting decade in her life. It was the period from 1938 to 1948 that took her right through the war. I’m surprised that a film has never been made about this incredible woman. “

ප්‍රධාන චරිතය රඟපාන කේට් වින්ස්ල්ට් චිත්‍රපටය ගැන දැක්වූයේ එවන් අදහසක්. ඇය ප්‍රකාශ කරන විදිහට මෙය තවත් එක් චරිතාපදානයක් නොකර යුද්ධයට දායක වූ සියලුම කාන්තාවන් වෙනුවෙන් කෙරෙන නිර්මාණයක් වශයෙන් එළි දක්වන්නටයි නිෂ්පාදකයින් උත්සාහ කරන්නේ. 2023දී මෙහි සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට හැකි වෙතැයි හොලිවුඩ් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා. Finola Dwyer, Troy Lum සහ Andrew Mason සම-නිෂ්පාදනයක් වන මෙහි නිෂ්පාදන කටයුතු 2022 වසරේ මැද භාගයේදී පටන් ගැනීමට නියමිතයි.

 

Share

70 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.