Operation Java – චිත්‍රපට මංකොල්ලය ගැන චිත්‍රපටයක්.

Avatar Nisanka Weheraduwa | May 18, 2021 177 Views 0 Likes 0 Ratings

177 Views 0 Ratings Rate it

පසුගිය දිනවල නිකුත් වුණු මලයාලම් සිනමාපට බොහෝමයක් Thriller කැටගරියට අයත් වූවා සේම ලාංකීය ප්‍රේක්ෂකාගාරයට එම නිර්මාණ සියල්ලම පාහේ හොඳින් ගැළපුණා. Operation Java ද එසේ පසුගිය දිනවල නිකුත් වුණු නව රැල්ලේ මලයාලම් ත්‍රිලර් සිනමාපටයක්. මූලිකවම මේ චිත්‍රපටය Cyber Crime Thriller කාණ්ඩයට අයත් වන බවත් පැවසිය හැකියි.

කේරළය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවූ සත්‍ය අපරාධ කිහිපයක් සහ ඒවා විසඳීමට මැදිහත් වුණු පොලිසියේ ක්‍රියාකාරීත්වය Operation Java චිත්‍රපටයට පාදක වෙලා තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම්, මෙය සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක කරගනිමින් නිර්මාණය වුණු සිනමාපටයක්. Tharun Moorthyගේ පළමු අධ්‍යක්ෂණය විදිහට තමයි මේ චිත්‍රපටිය හැඳින්වෙන්නේ. විශේෂත්වය වන්නේ, අධ්‍යක්ෂකවරයෙක් වන්නට කලින් ඔහු පරිගණක තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කළ අයෙක් වීම.

පටන් ගැන්මේ සිට අවසානය දක්වාම Operation Java සිනමාපටයේ ප්‍රධාන චරිත දෙකක් දක්නට ලැබෙනවා. ඇන්තනි ජෝර්ජ් සහ  විනයා දාසන්, තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අවසාන කරලා ඉන්න රැකියා විරහිත තරුණයින් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාට තාක්ෂණය පිළිබඳ හොඳ දැනුමක් සහ අධ්‍යාපනයක් තියෙනවා. මේ කාලයේදීම තමයි, කේරළයේ ප්‍රසිද්ධ චිත්‍රපටියක piracy කොපියක්, චිත්‍රපටිය තිරගත වෙන්නත් කලින් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ. චිත්‍රපටයේ නම Premam. පොලිස් අපරාධ විමර්ශන අංශය මේ ගැන දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වුවත් මේ චිත්‍රපට මංකොල්ලට පිටුපස ඉන්නේ කවුරුන්ද කියලා හොයාගන්න ලැබෙන්නේ නැහැ.

මෙන්න මේ අවස්ථාවේදි තමයි ඇන්තනි සහ දාසන් පොලිස් සහයට එකතු වෙන්නේ. මේ තමයි Operation Java (2021) චිත්‍රපටයේ පළමු භාගය ඇතුළේ විශේෂම සිද්ධිය. මෙතනින් එහාට ඔවුන් මේ නිර්මාණ මංකොල්ලය විසඳන ආකාරය, අපරාධකරුවන් සොයාගෙන යන ආකාරය… මේ සෑමදෙයක්ම පළමු භාගයේදි අපිට දැකගන්න පුලුවන්. චිත්‍රපටයේ දෙවන භාගය තුළත් මොවුන් දෙදෙනාගේ උදව්වෙන් කේරළ පොලිසිය අන්තර්ජාල අපරාධ විසඳන ආකාරය ගැන විස්තරයක් තමයි ඇතුළත් වන්නේ.

Operation Java ඇතුළෙදි මූලිකවම investigations කිහිපයක් ගැනම ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන්.

  1. නීතිවිරෝධී Premam පිටපත් අන්තර්ජාලයට මුදාහැරීම
  2. OTP ඔස්සේ මුදල් මංකොල්ලය
  3. නිරුවත් ඡායාරූප ළඟ තබාගෙන කප්පම් ගැනීමට තැත්කිරීම
  4. කුසපත් ඇඳීම් සඳහා යොදා ගන්නා කූපන්තුළින් කාන්තාවන් රැවටීම්
  5. Cloning Food App හරහා නිවෙස් මංකොල්ලකෑම

Operation Java චිත්‍රපටයේ Pluspoint එකක් වෙන්නෙත් මේ කාරණයමයි. ඒ වගේම Operation Java චිත්‍රපටයේ negative point එකක් විදිහට හඳුන්වන්න පුලුවන් වෙන්නෙත් මේ කාරණයමයි. ඒ ගැන තවත් පැහැදිලි කරනවා නම්, බොහෝ Thriller චිත්‍රපටවල තියන්නේ එක අපරාධයක් පිළිබඳව සොයාගෙන යන පොලිස් පරීක්ෂණ ගැන. එහෙමත් නැත්නම් එකකට එකක් සම්බන්ධ වන අපරාධ කිහිපයක මුල් පුරුක ගැන විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ගැන. හැබැයි ඒ තත්වය Operation Java (2021) චිත්‍රපටියෙදි වෙනස් එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති අපරාධ කිහිපයක් වෙන වෙනම විසඳන ආකාරය මේ සිනමාපටයෙදී දැකගන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසාම කොයිම මොහොතකවත් චිත්‍රපටිය lag වෙන ගතියක් බලන්නාට දැනේනෙ නැහැ. මිනිත්තු විස්සක්-තිහක් ඇතුලෙ ප්‍රේක්ෂකයාව විවිධ අපරාධ සිද්ධි කිහිපයකටම චිත්‍රපටිය තුළින් ගෙනයනවා. එනිසාම, කුතුහලය පවා renew වෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ…

නමුත් පෙර පැවසූ ආකාරයටම චිත්‍රපටියේ නෙගටිව් පැත්තටත් මේ කාරණය බලපා තිබෙන බවත් නොකියාම බැහැ. මුලු චිත්‍රපටිය තුළම විසඳීමට ඇත්තේ එක් අපරාධයක් පමණක් නම් මුලු ධාවන කාලයම ඒ වටා වෙන්වීම සාමාන්‍ය කාරණයක්. ඒ වගේ අවස්ථාවන්වලදි, අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය මත ඉතා සියුම් කාරණා පවා මතු කරගෙන අපරාධය ගැන තියුණු සහ රසවත් කතාන්දරයක් ගොඩ නඟාගන්න ඔවුන්ට පුලුවන්. නමුත් මේ චිත්‍රපටයේ මිනිත්තු 150ක ධාවන කාලය අපරාධ කිහිපයක් සඳහාම වෙන් කරන්න සිදුවීම නිසාම ඇතැම් අපරාධ ගැන විමර්ෂණාත්මක තොරතුරු ඇතුළත් වන්නේ නැහැ. ඒක එක්තරා විදිහකට රසවින්දනය බාධාවක් වන්නටත් පුළුවන්. ඒ වගේ අවස්ථාවල දක්ෂතාවයට වඩා වැඩි තැනක් වාසනාවට දිලා තියෙනවා. වාසනාව මත අපරාධකාරයා කොටු කරගන්නා පොලිස් විමර්ශන බවට පත් වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ අපිට එතරම් හුරුපුරුදු නළු නිළි පිරිසක් නෙමෙයි. මලයාලම් රසිකයන්ට වුවත්, චිත්‍රපට බොහෝමයක් ඇතුළේ මොවුන්ගේ රංගනය දැකගන්න අවස්ථාව ලැබී නැතුවැති. මේ කාරණා කෙසේ වුවත්, අදාළ පිරිස තමන්ගේ රංගන කාර්යය හොඳින් සිදු කරලා තිබෙන බවට ඕනෙම අයෙකුට වටහා ගන්නට පුලුවන්. චිත්‍රපටයේ පසුබිම් සංගීතය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම අවාසනාවන්ත තත්වයක්. බොහෝ Thrillers තුළ කතාව Build-up වීම උදෙසා suspense ගතිය වැඩි, නරඹන්නාව ඇඳලා තියාගන්නා BGM භාවිතා කරනවා. මෑතකදි නිකුත් වුණු Anjaam Pathira, Forensic, Nayattu  වැනි මලයාලම් සිනමාපට ඒවාට හොඳම උදාහරණ. හැබැයි එවැනි strong පසුබිම් සංගීතයක් මේ චිත්‍රපටයේ නොතිබූ බවයි බොහෝ දෙනෙක් මත පලකොට තිබුනේ.

සමස්තයක් ලෙස ගත් විටදි, Operation Java සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදෙන්න පුලුවන්. තම පළමු  නිර්මාණයම, එතරම් හුරුපුරුදු නැති තේමාවක් ඔස්සේ සෑදීමට අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබීම පැසසුම් සහගත කරුණක්. IMDb අඩවියේත් 8.3/10 මනාපයක් මේ චිත්‍රපටය සතුයි. මලයාලම් සිනමාවෙන් නිකුත් වුණු නවතම Thriller අත්දැකීම විඳගන්නට ඔබටත් ආරාධනා කරනවා. මේ චිත්‍රපටයත් ඔබට වෙනස්ම අත්දැකීමක් වේවි.

My Ratings – 7/10

One time watchable, Entertaining and Worthy

Share

177 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.