කොරෝනා නිසා හිටි අඩියේම නැවතුන මනුරංග – මලිති ආදර කතාව.

Avatar Nisanka Weheraduwa | May 17, 2021 494 Views 0 Likes 2.8 On 5 Ratings

494 Views 2.8 On 5 Ratings Rate it

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමගම සිනමා ශාලා වසා දැමෙන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ එක පියවරක් වශයෙන්. නමුත් මේ තත්වය උද්ගත වීමට පෙර දිවයින පුරා සිනමාහල් වල “කබඩි” චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කළා. ඒ, අප්‍රේල් 16 වැනිදා සිට. කබඩි ගැන මතකය අලුත් කරගන්න මේ සටහන අපි ඔබවෙත ගෙන එනවා.

කාලයක් තිස්සෙම මනුරංගගේ හිතේ පළවෙනි තැන තිබුණේ කබඩි පිටියට. දක්ෂ කබඩි ක්‍රීඩකයෙකු වුණු මනුරංගට තිබුණෙත් එසේ මෙසේ හැකියාවක් නෙමෙයි. හැබැයි කබඩි නිසාම ඔහුට ජීවිතයේ බොහෝ දේවල් මඟ හැරෙනවා. පොලිස් නිලධාරියෙකු වුණු ඔහුගේ පියා, තම පුතාගේ මේ සෙල්ලක්කාර ජීවිතයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මනුරංගට මලිතිව මුණ ගැහෙන්නේ මේ අතරවාරයේදීයි. ඇය ඒ වනවිටත් හිටියෙ ලොකු කරදරයක! ඉතින් මනුරංග ඇයට උදව් කරන්න තීරණය කරනවා.මනුරංගගේ ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ මේ තීරණයත් එක්කයි.

ඔහුට සිදු වන්නේ කුමක්ද? මලිති පසුපස එලවාගෙන එන අභිරහස මොකක්ද? මනුරංගගේ කබඩි ජීවිතයට කුමක් සිදු වේද?

කබඩි සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ තරුණ නිර්මාණකරුවෙකු වන හර්ෂ උඩකන්ද විසින්. කබඩි චිත්‍රපටයේ තිර පිටපතත් ඔහුගේම වීම විශේෂත්වයක්. මේ ඔහුගේ 06වන සිනමා නිර්මාණයයි. මෙම සිනමාපටය පසුගිය 16වනදා සිට චිත්‍රපට ශාලාවල තිරගත වීම ඇරඹුවත් කොරෝනා තත්වය හමුවේ තිරගත කිරීම් කල් දමන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදුවුණා. මේ දිනවල විශාල රසික ප්‍රසාදයක් දිනාගෙන ඇති නලු නිළියන් රාශියක්ම කබඩි තුළින් දැකගන්න පුලුවන්. ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ අමිල කරුණානායක සහ සෙනාලි ෆොන්සේකා. ඊට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, නිල්මිණි කෝට්ටේගොඩ, අනුජ් රණසිංහ, පියුමි බොතේජු වැනි ශිල්පීන් පිරිසක්ද සහය රංගනයෙන් එකතු වෙලා ඉන්නවා. උදාර සමරවික්‍රම, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ සමන්ත මායාදුන්න, සටන් අධ්‍යක්ෂණයෙන් එක්වී සිටින කබඩි චිත්‍රපටය නිශාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක්. සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ තිවංක අමරසිරි විසින්. කලා අධ්‍යක්ෂණය සමීර ප්‍රියසාද්ගෙනි. අමල් පෙරේරා, උරේෂා රවිහාරි වැනි ප්‍රවීණයන් පිරිසක් ගීත ගායනයෙන් ද එක් වී සිටිනවා.

කබඩි නිර්මාණය වෙන්නේ 2003 වසරේදී තිරගත වූ Okkadu තෙළෙඟු සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් (remake) ලෙසයි. එසේම බොහෝ දර්ශන සඳහා 2004 වර්ෂයේ තිරගත වෙමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Ghilli දමිළ චිත්‍රපටයේ අභාෂයද ලැබී තිබෙනවා.  ඔබට කබඩි සිනමාපටයේ ප්‍රචාරක පටය අන්තර්ජාලයට හරහා නරඹන්න පුලුවන්. ඒ වගේම මෙම වසංගත තත්වය පහව ගොස් නැවතත් සිනමාශාලා විවෘත වූ පසු “කබඩි” නැවතත් පුළුල් තිරයේ දැකබලා ගැනීමට ඔබට අවස්ථාව උදා වේවි.

Share

494 Views 2.8 On 5 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.