අධි තාක්ෂණික හතුරෙකුට එරෙහිව සටන් වදින Project Z
තෙළිඟු සහ දමිළ සිනමාවේ නිතර දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු වන, Sundeep Kishan විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹුනා. එකිනෙකට වෙනස් චිත්‍රපට තුළින් නිතරම සිය රසිකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නට උත්සාහ කරන නලුවෙකු වශයෙනුයි Sundeep Kishanව ක්ෂේත්‍රය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ.
Gundello Godari – Micheal – Maanagaram – Next Enti වැනි එකිනෙකට වෙනස් චිත්‍රපට තුළින්, ඒකාකාරී නොවන විවිධ චරිත රාශියක් නිරූපණය කළ ඔහු දකුණු ඉන්දීය සිනමාවේ වර්තමාන පරපුරේ සිටින දක්ෂ චරිතාංග ලක්ෂණ පෙන්නුම් කරන නලුවෙක්. පසුගියදා පැවැත්වූ Sundeep Kishanගේ මෙම නව චිත්‍රපටයේ මුහුරත් උළෙලට ක්ෂේත්‍රයේ ජනප්‍රිය සිනමාකරුවන් රැසක් සහභාගී වූ අතර චිත්‍රපටය පිළිබඳ තොරතුරු රැසකුත් මාධ්‍යයට ඉදිරිපත් කළා.
විද්‍යා ප්‍රබන්ධමය ත්‍රිලර් චිත්‍රපටයක් වන මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ CV Kumar විසිනුයි. CV Kumar මීට පෙරදී 2017 වර්ෂයේදීත් “Maayavan” නමින්, සුදීප් කිෂන්ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වෙමින් බොක්ස්-ඔෆිස් ආදායමින් පවා සාර්ථකත්වයක් ලබා ගත්තා.
විශේෂත්වය වන්නේ මෙම නව චිත්‍රපටය ද Maayavan චිත්‍රපටයේ කතා තේමාවට සම්බන්ධකම් කියන sequel නිර්මාණයක් වීමයි. Maayavan චිත්‍රපටය අවසන් වූ තැන සිට ඉදිරියට සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කොට තිබෙන්නේ “Project Z” නමිනුයි.
Maayavan (2017) සිනමාපටයට දමිළ රසිකයින්ගෙන් ලැබුනු බ්ලොක්බස්ටර් ප්‍රතිචාර නිසාම, එහි සීක්වල් චිත්‍රපටයක් වන මෙම Project Z සඳහාත් මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවධානය ලැබී අවසන්..! මුල් චිත්‍රපටය මෙන්ම මෙය ද Sci –Fi ශානරයට අයත්, කුතුහලය පිරි Thriller නිර්මාණයක්.
මෙය දමිළ භාෂාවට සමගාමීව තෙළිඟු භාෂාවෙනුත් රූගත වන තර ද්වීභාෂාමය හෙවත් bilingual චිත්‍රපටයක් ලෙසටයි ලෝ පුරා තිරගත කිරීමට සැලසුම් කොට තිබෙන්නේ. වාර්තා වන පරිදි ඉන්දීය කෝටි 20කට ආසන්න මුදලක් චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ලෙසින් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
මුල් චිත්‍රපටයේ ගුණාත්මකබාවය ආරක්ෂා කරමින්, රසිකයින්ට වඩාත් ඉහළ තත්වයේ සිනමා අත්දැකීමක් ලබා දීම උදෙසායි, Sundeep Kishan වැනි තමිල්නාඩුවේ තෙවන පෙළ රංගන ශිල්පියෙකුගේ චිත්‍රපටයක් සඳහා සාමාන්‍යයෙන් වැය නොකරන අන්දමේ එවැනි දැවැන්ත මුදලක් Project Z සඳහා යොදවන්නට එම චිත්‍රපටයේ නිෂ්පාදකයින් තීරණය කර තිබෙන්නේ.
The #Maayavan Sequel 🔥
CommonMan Vs SuperVillain
Talented Hero @sundeepkishan & Visionary @icvkumar team up again for a Big scale Sci-Fi Action Thriller💥
@AKentsOfficial Production No. 26 Launched Today 🎬
Music by the sensational @Music_Santhosh
චිත්‍රපටයේ කතා තේමාව දිවෙන්නේ සුපිරි බලයක් සහිත Super Villain කෙනෙකුට එරෙහි වන සාමාන්‍ය පුද්ගලයෙකු වටායි. අහඹුවකින් ලැබෙන සුපිරි බලයක් නිසා අයුක්තිසහගත ලෙස නීතිවිරෝධී කටයුතුවල යෙදෙන්නෙකු නිසා සාමාන්‍ය ජීවිතයක්ගත කරමින් සිටි අයෙකුට සහ ඔහුගේ පවුලට මුහුණ පාන්නට ලැබෙන ශෝකජනක ඉරණමෙන් පසුව, එම සමාන්‍ය පුරවැසියා විසින් අධි තාක්ෂණික උපාංගවල සහායෙන් එම Super Villainට එරෙහිව ජන මතයක් ගොඩ නඟන ආකාරයත්, අවසානයේදී සටන් කර ඔහුව පරාජය කරන ආකාරයත් “Project Z” තුළින් දැකගත හැකි යැයි පැවසෙනවා.
එමෙන්ම මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ අනාගතවාදී කාල රමුවක සිදුවන සිදුවීම් මාලාවක් වටායි. නමුත් Super Villain කෙනෙකු සමඟ අනාගතයේ සිදුවන එම ගැටුම නිසා, වර්තමාන ලෝකයට බලපෑම් එල්ල වන ආකාරයත් Project Z තුළින් රසිකයින්ට දැකගත හැකියි.
චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු මේ වනවිටත් ඇරඹී තිබෙන අතර රූපගත කිරීම් එළඹෙන නොවැම්බර් මාසයේ සිට පටන් ගැනීමට සූදානම්…
මෙය “Project Z” හි අධ්‍යක්ෂකවරයා වන CV Kumarගේ සිව්වන සිනමා නිර්මාණයයි. 2017 වසරේදී Maayavan චිත්‍රපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු Gangs of Madras (2018) – Kottravai (2022) නමින් තවත් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. CV Kumar සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ මීට වසර 06කට පෙරදී වුවත් වුවත්, ඊට සෑහෙන කාලයකට පෙර, 2012 වර්ෂයේ සිටම ඔහු සක්‍රීයව සිනමාවට සම්බන්ධ වී සිටියා. ඒ නිෂ්පාදකවරයෙකු ලෙසයි.
Pizza – Soodhu Kavvum – Irudhi Suttru – Iravai වැනි දමිළ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම නිෂ්පාදකවරයා CV Kumar වන අතර මේ වනවිට ඔහු සිනමාපට 20කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබෙනවා.
සුදීප් කිශන් රඟපාන මෙම Project Z දමිළ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසින් සන්තෝශ් නාරායනන් ගිවිසුම්ගත වී සිටිනවා. විශේෂත්වය වන්නේ සන්තෝශ් නාරායනන්ගේ සංගීත දිවියේ ඔහු පළමු වරට සංගීත අධ්‍යක්ෂණය කළ Attakathi (2012) නිෂ්පාදනය කළේ ද, සන්තෝශ් නාරායනන්ව ඉන්දියානු සිනමා කර්මාන්තයට හඳුන්වා දෙන්නේ ද මෙහි අධ්‍යක්ෂකවරයා වන CV Kumar විසින් වීමයි.
එතැන් පටන් ඔහු CV Kumar යටතේ නිෂ්පාදනය වූ චිත්‍රපට ගණනාවකම සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා. ඊට අමතරව Kabali, Kaala, Jagame Thandiram, Mahan වැනි දමිළ සිනමාපටවල සංගීත නිර්මාණකරු වන්නේ ඔහුයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත, ඉන්දියානු කෝටි 500ක නිෂ්පාදන පිරිවැයක් දරමින් නිපදවෙන, ප්‍රබාස්ගේ Kalki 2898 AD චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේත් සන්තෝෂ් නාරායනන්මයි.
Project Z හි ප්‍රතිවීර – දුෂ්ඨ චරිතය සඳහා උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නලුවෙකු සම්බන්ධ වන බවට විවිධ ගොසිප් තොරතුරු පැතිරුණත්, මේ වනතෙක්ම ඒ බව නිෂ්පාදක කණ්ඩායමෙන් තහවුරු කර නැහැ. පසුගිය සමයේදී දකුණු ඉන්දියානු චිත්‍රපට රාශියකම ප්‍රතිවීර චරිත රඟපාමින්, එම ප්‍රාන්ත තුළ ද ජනප්‍රියත්වයක් හිමි කරගත් හින්දි රංගන ශිල්පියෙකු වන Vivek Oberoi මෙහි රඟපෑමට නියමිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Project Z චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රසිද්ධ තෙළිඟු චිත්‍රපට රැසකම නිෂ්පාදකවරයා වන AK Entertainment විසිනි. AK Entertainment තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නිෂ්පාදන ආයතනයක් වන නිසා මෙම නවතම නිර්මාණයේ ද උපප්‍රධාන චරිත බොහෝමයකට තෙළිඟු නලු නිළියන් දැකගත හැකි වේවි.
Written by Kavinu Weerakkody