අපේ මුරලි වෙනුවෙන්, ඉන්දියාවෙන් හැදූ ‘800’
ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ දේශපාලන චරිත, රජවරුන්, ජනප්‍රවාද සහ සත්‍ය සිදුවීම් ඇසුරෙන් කොතෙක් නම් සිනමාපට බිහිවී තිබුනත්, මෙරට සිටි ක්‍රීඩකයින්ගේ ජීවිත කතා ඇසුරෙන් එලෙස නිර්මාණය වූ චිත්‍රපට ලාංකීය සිනමාව තුළ දකින්නට නැහැ.
විශේෂයෙන්ම ලෝ පුරා ජනප්‍රියත්වයට පත් වුනු; ලෝකයේම ගෞරවය දිනා ගත්; සිනමාව තුළ උත්කර්ෂයට නැඟිය හැකි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙරටින් බිහි වී සිටියත්, එවැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ සත්‍ය කතා ආශ්‍රය කරගෙන මේ වන තුරු කිසිදු ලාංකීය සිනමා නිර්මාණයක් බිහිවී තිබුනේ නැහැ.
වසර ගණනාවක් තිස්සේ ලාංකීය සිනමාකරුවන්ට සැබෑ කරගන්නට නොහැකි වූ ඒ බලාපොරොත්තුව, ඉන්දියානු සිනමාවේ මැදිහත්වීමෙන් හෝ දැන් සැබෑවක් වී තිබෙනවා. ඒ මෙරට සිටි, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට ඔවුන් පෙළඹීම නිසායි.
“800 (Eight Hundred)” යනුවෙන් නම් කොට තිබෙන මෙම ඉන්දියානු චිත්‍රපටය, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු විදෙස් සිනමාපටය ලෙසිනුයි ඉතිහාසයට එකතු වන්නේ…
එළඹෙන ඔක්තෝබර් 06 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී ඔබට මෙය නැරඹිය හැකියි.
මුරලිගේ ළමා කාලයේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව ලැබීම දක්වාත්… ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව යෝග්‍ය නොවන බවට පවසමින් ජාත්‍යන්තරයෙන් එල්ල වුනු පීඩනය හමුවේ මුරලි සිය නිරවද්‍යතාව ඔප්පු කළ ආකාරයත්… ඒ වනවිට දිවයිනේ පැවති යුද්ධය සහ ඒ හා බැඳුනු දේශපාලන බල පොරය මුරලිගේ ජීවිතයට බලපෑමත්… “800” චිත්‍රපටය තුළින් රසිකයින්ට දැක ගැනීමට පුලුවන්.
මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය කිරීමට මුලදී තෝරාගෙන තිබුනේ ජනප්‍රිය දමිළ නලු විජෙයි සේතුපතිවයි. නමුත් විජෙයි සේතුපති මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බවට ආරංචි වූ වහාම, LTTE හිතවාදී තමිල්නාඩු දේශපාලකයින් විසින් ඔහුට එළිපිටම තර්ජනය කරමින් ඔහුගේ සිනමා ජීවිතය අවසන් කරන බවට අනතුරු ඇඟෙව්වා.
සිය ජීවිතය එල්ල වුනු තර්ජන හමුවේ අවසානයේදී විජෙයි සේතුපති විසින් 800 චිත්‍රපටයෙන් ඉවත් වූ අතර ප්‍රධාන චරිතය රඟපෑමට නලුවෙකු නොමැතිව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ද අතරමඟ නතර වුනා.
ඉන් මාස කිහිපයකට පසුව 800 චිත්‍රපටයේ රූපගත කිරීම් නැවතත් ඇරඹුනේ විජෙයි සේතුපති වෙනුවට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය Madhur Mittalට ලබා දෙමින්… Maatr – Million Dollar Arm වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ මාධුර් මිට්ටල්ව සිනමා රසිකයින්ට වැඩියෙන්ම සමීප වූයේ ඇකඩමි සම්මානලාභී Slumdog Millionaire (2008) සිනමාපටයේ සලීම්ගේ චරිතයෙනුයි.
මේ වනවිට චිත්‍රපටයේ පූර්ව ප්රචාරකපටයත් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර මුරලිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් එයින් දැකගත හැකියි.
මාධුර් මිට්ටල්ට අමතරව Narain, Nasser, Vela Ramamurty, Riythvika, Vadivukkarasi, Arul Doss, Hari Krishnan, Yog Japyee සහ Sharath Lohitashwa වැනි දකුණු ඉන්දියානු සිනමාවේ ප්රමුඛ පෙළේ නලු නිළියන් රැසක් “800” චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ජනප්‍රිය දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක වන මහිමා නාම්බියාර් සහ මොහොමඩ් මිෂෙල් පෙරේරා, කින්ග් රත්නම් වැනි ලාංකීය ශිල්පීන් පිරිසකුත් මෙහි වැදගත් චරිත නිරූපණය කරනවා.
ඉන්දියාවේ චෙන්නායි – කොචින් – බ්‍රිතාන්‍යය – ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව ආශ්‍රිතව මෙහි රූපගත කිරීම් සිදු වුනු අතර ලංකාවේ රූපගත කිරීම් බොහෝමයක් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ එහි ක්‍රීඩා පිටිය ආශ්‍රිතවයි.
විජෙයි සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වීමත් සමඟ බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර වනු ඇති බවයි. නමුත් එහිදී මුත්තයියා මුරලිදරන් විසින්ම ඒ බව ප්‍රතික්ෂේප කරමින් වෙනත් නලුවෙකු යොදා ගෙන තම චිත්‍රපටය අවසන් කරන බවට සිනමා රසිකයින්ට දැනුම් දුන්නා. මාධුර් මිට්ටල්ට 800 හි ප්‍රධාන භූමිකාව ලැබෙන්නේ ඉන් අනතුරුවයි.
මුත්තයියා මුරලිරදන් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාත්, ඔහු ප්‍රසිද්ධියේම LTTE ක්‍රියාකාරකම්වලට විරුද්ධ වීම නිසාත්, ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් මෙවැනි ආකාරයේ ඉන්දියානු සිනමාපටයක් නිර්මාණය වීමට යන බව දැන ගත් කාලයේ සිටම තමිල්නාඩු දේශපාලකයින් ඊට දැඩි ලෙස විරුද්ධ වුනා.
සිය දේශපාලන බලය වැඩි කරගැනීම උදෙසා මේ චිත්‍රපටයට එරෙහිව සිය පාක්ෂිකයින්වත් උසිගැන්වූ ඔවුන් විජෙයි සේතුපතිගේ ජීවිතයට පවා ප්‍රසිද්ධියේම මරණ තර්ජන එල්ල කළා. සිය දමිළ නිජබිම් මතයට එරෙහි මුත්තයියා වැන්නෙකුගේ චරිතයක් නිරූපණය කළහොත්, සේතුපතිට එරෙහිව ජන මතයක් ගොඩ නඟමින්- සේතුපතිගේ සිනමා ජීවිතය අවසන් කරන බවටයි ඔවුන් එහිදී තර්ජනය කළේ.
මෙම තර්ජන හමුවේ සේතුපති 800 චිත්‍රපටයෙන් ඉවත් වූ අතර මුත්තයියා මුරලිදරන් ම නිල නිවේදනයක් නිකුත් කරමින් “තමන් නිසා ඔහුගේ සිනමා ජීවිතය විනාශ නොකරගන්නා ලෙසටත්, චිත්‍රපටය වෙනුවෙන් වෙනත් රංගන ශිල්පියෙකු යොදා ගැනීමට තමන් සූදානම් බවටත්” ප්‍රකාශ කර සිටියා.
“800 (Eight Hundred)” චිත්‍රපටයට එම නම යොදාගෙන ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී මුත්තයියා ලබා ගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව සිහිපත් කරමිනුයි. ඔහු ටෙස්ට් පිටිය තුළදී කඩුලු 800ක් දවාගෙන තිබෙන අතර මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේදී ඕනෑම ක්‍රීඩකයෙකු විසින්ම දවාගත් වැඩිම ටේස්ට් කඩුලු සංඛ්‍යාවේ වාර්තාව වන්නේ ද එයයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ M S Sripathy නැමැති දමිළ අධ්‍යක්ෂකවරයා විසිනුයි. ඊට අමතරව චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද ඔහුයි. Maanadu – Mankatha – Chennai 600028 වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ වෙන්කට් ප්‍රභූ යටතේ සහාය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වූ ඔහු, Kanimozhi (2010) නැමැති චිත්‍රපටයකුත් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
M.S. Sripathyට අමතරව මෙම සිනමාපටයේ තිර පිටපත රචනා කිරීම සඳහා බුකර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ජාත්‍යන්තර සම්මානලාභී ලාංකීය ගත් කතුවරයෙකු වන ශෙහාන් කරුණාතිලක ද සම්බන්ධ වුනා.
‘800’ හි කැමරා අධ්‍යක්ෂණය R Rajasekharගෙනි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ තමිල්නාඩුවේ අතිශය ජනප්‍රිය සංගීතවේදියෙකු වන Ghirbanයි. මෙය Movie Train Motion Pictures නිෂ්පාදනයකි. ලෝ පුරා සිනමා ශාලා 500කට ආසන්න සංඛ්‍යාවකදී එළඹෙන ඔක්තෝබර් 06 වනදා සිට “800” තිරගත කිරීමට සියල්ල සූදානම්. දමිළ බාසාවෙන් රූපගත කළ මෙම චිත්‍රපටය හින්දි, තෙළිඟු, ඉංග්‍රීසි සහ සිංහල බාසාවන්ට ද හඬ කවා තිබෙනවා.
ලංකාව තුළ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙන්නේ සිංහල සහ දමිළ පිටපත් ද්විත්වයයි. PVR, KCC, Scope ඇතුළු දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී ඔබට මෙය රස විඳිය හැකියි.
Written by Kavinu Weerakkody