අහසින් වැටෙයි – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 16, 2024 214 Views 0 Likes 0 Ratings

214 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාව වෙනුවෙන් පිදෙන රූපවාහිනී උත්තමාචාරය, දෙරණ LUX සිනමා සම්මාන උළෙල නොකඩවා 09වන වරටත් මෙවර පැවැත්වෙන අතර මේ වනවිට මෙවර සම්මාන රාත්‍රිය සඳහා තෝරාගත් ලාංකීය චිත්‍රපටවල විස්තර ඔබ හමුවට ගෙන එන්නට Cinema LK අප, නොකඩවා කටයුතු කරමින් සිටිනවා.

එම චිත්‍රපට ගොන්න අතරෙ හි තිබෙන තවත් සුවිශේෂී චිත්‍රපටයකුයි, අහසින් වැටෙයි හෙවත් Between 2 Worlds ලෙසින් හඳුන්වන්නේ…

අහසින් වැටෙයි චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ තිරගත වුනේ 2023 වසරේදී වුවත් එහි නිෂ්පාදන කටයුතු සහ රූගත කිරීම් අවසාන වූයේ මීට දශකයට පමණ පෙරදී යි. විවිධ හේතූන් නිසා අහසින් වැටෙයි චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශනය විශාල ප්‍රමාදයකට ලක්වුවත් මේ වනවිට මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ විශාල ඇගයුමකට පාත්‍ර වී තිබෙන්නේ විදෙස් – අන්තර්ජාතික සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්.

අහසින් වැටෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට සිටින සම්මානනීය සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර විසිනුයි. සුළඟ එනු පිණිස, සුළඟ ගිනි අරන්, චත්‍රක් වැනි සම්මානනීය චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි.

හසින් වැටෙයි (Between 2 Worlds) සිනමාපටය දිවෙන්නේ එක්තරා දිවයිනක අභ්‍යන්තර අරගල සමයකදී සිදුවන සිදුවීම් මාලාවක් වටායි. අරගලයේ රැඳී සිටින චීන ජාතික තරුණියක හා පලා යන රජිත් නැමැති පුද්ගලයා ඇයව වනාන්තරයක් තුළට රැගෙන යෑමත්, එයින් පසුව ඔවුන් දෙදෙනාට සිදුවන අහම්බකාරක සිද්ධි මාලාවත් මෙම අහසින් වැටෙයි (Between 2 Worlds) චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අහම්බකාරක තරුණයාට පණ පොවන්නේ තුසිත් ලක්නාත් විසිනුයි. ආකාස කුසුම්, සක්කාරං, ගින්නෙන් උපන් සීතල, තාත්තා, සකර්ම වැනි නිර්මාණවල එකිනෙකට වෙනස් භූමිකා ගණනාවකින් රසිකයින් හමුවට පැමිණි ඔහු වර්තමාන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග නලුවෙක්.

චිත්‍රපටයේ චීන ජාතික තරුණියට රඟපාන්නේ Lu Huang නැමැති විදේශික කාන්තාවයි. කෞෂල්‍යා ප්‍රනාන්දු ‘කාන්ති’ගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව ඩබ්ලිව් ජයසිරි, දසුන් පතිරණ, සම්පත් චාමින්ද ජයවීර, නිනෝ අරලිය, මයුර කාංචන, දනුක දිල්ෂාන්, සිසිර හෙට්ටිආරච්චි වැනි රංගන ශිල්පීන් පිරිසකුත් මෙහි රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය ද විමුක්ති ජයසුන්දරගෙනි. කලා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ලාල් හරින්ද්‍රනාත් විසිනි. දීපාල් ගුණරත්න චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරවරයායි. අංග රචනය සමරසිරි කඳානගේ විසිනුත්, පසුබිම් සංගීතය ලක්ෂ්මන් ජෝසප් ද සේරම් විසිනුත් සිදු කර තිබෙනවා.

Gisele Rapp ‘අහසින් වැටෙයි’ සිනමාපටයේ සංස්කරණ ශිල්පියායි. මෙහි ඉංග්‍රීසි පිටපත පරිවර්තනය කළේ ගාමිණී වියන්ගොඩ සහ චින්තක ප්‍රනාන්දු එකතුවෙනි. රේඛීය නිෂ්පාදනය චන්දන අලුත්ගේ විසිනි. අශෝන අතාවුදහෙට්ටි – රවින්ද්‍ර තන්ත්‍රිගේ – ලක්රුවන් විතානගේ මෙම නිර්මාණයේ සහාය අධ්‍යක්ෂකවරුන් ලෙසින් සම්බන්ධ වී තිබෙනවා.

අහසින් වැටෙයි සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ චන්න දේශප්‍රියයි. මෙහි නිෂ්පාදනය පිරිවැය දරන්නේ චන්දන අලුත්ගේ, අනුර සිල්වා, Nicolas Naegelen සහ Micheal Reilhac යන සිව්දෙනාගේ එකතුවෙනි.

මේ වනවිට ලෝ පුරා සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ මෙම සිනමාපටයට අන්තර්ජාතික සම්මාන කිහිපයකුත් හිමිව තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1972) සිනමාපටයට පසුව ලෝ ප්‍රකට වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙල – Venice International Film Festival නියෝජනය කළ එකම ශ්‍රී ලාංකීය සිනමාපටය ලෙස හැඳින්වෙන්නේ ද “අහසින් වැටෙයි” චිත්‍රපටයයි. 2009 වසරේ 66වන වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය නියෝජනය කිරීමට මෙය සමත් වුනා.

2009 වසරේ Dubai International Film Festival හිදී විශිෂ්ටතම කැමරාකරණය සඳහා වන සම්මානය හිමිවූයේ ද අහසින් වැටෙයි වෙනුවෙන් මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා වන චන්න දේශප්‍රියටයි. ඊට අමතරව
Gijon International Film Festival
Tokyo FILMeX Film Festival
Asia Pacific Screen Awards වැනි විවිධ ජාත්‍යන්තර සම්මාන උත්සව ගණනාවක් සඳහාම අහසින් වැටෙයි නිර්දේශ වූවා.

අහසින් වැටෙයි චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

214 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.