කන්දක් සේමා – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | November 2, 2024 43 Views 0 Likes 0 Ratings

43 Views 0 Ratings Rate it

සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක් සේමා’ සම්මානනීය නවකතාව ඇසුරින් එම නමින්ම සිනමාවට නැගුනු, නූපා සහ මසායා සන්ගේ ආදර කතාන්දරය, ‘කන්දක් සේමා’ සිංහල සිනමාපටය ද මෙවර දෙරණ සිනමා උළෙලෙ හි අවසන් නිර්දේශ වීම් අතරෙ හි ඔබට දැකගන්නට පුලුවන්.

කන්දක් සේමා සිනමාපටයට පාදක වන්නේ වයස්ගත ජපන් ජාතිකයෙකු හා විවාහ වන රූමත් ලාංකික තරුණියකගේ කතා පුවතයි.

මසායා සන් නැමැති වයස්ගත ජපන් ජාතිකයෙකු සමඟින් මුදලට විවාහ වන්නට නූපාට සිදුවන්නේ ඇගේ පවුල දිළිඳු බවින් මුදවා ගැනීමටයි. සිය අසරණකම නිසා ම, වයස්ගත මසායා සන්ව විවාහ කරගන්නා නූපා ඔහු සමඟින් ජපානයට යන අතර නුපුරුදු සංස්කෘතියක් – නුපුරුදු සමාජයක් මැද හුදෙකලා වන්නටයි නූපාට එහිදී සිදුවන්නේ… මසායා සන්ට දාව ඇයට උපදින දියණිය කසුමි.

නමුත් අහම්බයෙන් මෙන්, ජපානයේදී නූපාට මුණ ගැසෙන සුමල් නැමැති ලාංකික තරුණයා නිසා ඇගේ මුලු ජීවිතයම කණපිට හැරෙනවා. හුදෙකලා ජපානය තුළ සිය ආදරය සොයා ලුහුබඳින නූපාගේ ජීවිත කතාව ‘කන්දක් සේමා’ සිනමා නිර්මාණය තුළින් ඔබට නැරඹිය හැකියි.

ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝශා පෙරේරා විසින් නූපා නැමැති ලාංකික තරුණියගේ ප්‍රධාන චරිතයට පණ පොවන අතර ඇගේ සැමියා වන මසායා සංගේ චරිතය නිරූපණය කරන්නේ ජපන් ජාතික ජුන් ඉතෝ විසිනුයි.
ලෝක ප්‍රසිද්ධ ‘ඔෂීන්’ කතා මාලාවෙ හි ළමා ඔෂීන්ගේ චරිතයට රඟපෑ කොබයාෂි අයාකෝ ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. සුමල්ගේ චරිතයට පණ පොවන්නේ බිමල් ජයකොඩියි. නූපාව මසායා සංට මුදලට අලෙවි කළ තැරැව්කරුගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සිරිල් වික්‍රමගේ යි.

ඊට අමතරව දිනෙත් ද සිල්වා, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, වසන්ත කොටුවැල්ල, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය නලු නිළියන් ගණනාවක් ම මෙහි රංගනයෙන් දායක වනවා.

කන්දක් සේමා නවකතාව මේ ආකාරයට සිනමා රූපයට නඟන්නේ අසෝක අතාවුදහෙට්ටි විසිනුයි. මෙය අසෝක අතාවුදහෙට්ටිගේ පළමු සහ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය ද වනවා. රුපියල් කෝටි 08කට අධික නිෂ්පාදන පිරිවැයක් දරමින් නිපද වූ මෙම සිනමාපටයේ රූපරාමු බොහෝමයක් ගෙතෙන්නේ හිම වැටුනු ජපානයේ සුන්දර දර්ශන තල පාදක කරගෙනයි.

කන්දක් සේමා චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක විසිනි. සුරේෂ් මාලියද්දගේ සුමියුරු සංගීතයෙන් හැඩවන මෙහි ගීපද රචනය සිදු කළේ මහාචර්ය සුනිල් ආරියරත්නයි. ගී ගායනය සඳනි විජේතුංග විසිනි.
අග්නිදාහය – සිකුර හතේ – සුපර් සික්ස් – ආශාවරී – මහරජ ගැමුණු වැනි ලාංකීය සිනමාපට 30කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වූ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රුවන් කොස්තා විසින් මෙහි කැමරා අධ්‍යක්ෂණය හසුරුවනු ලබනවා.

කන්දක් සේමා නවකතාව මෙන්ම, ඒ අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටයේ දෙබස් සහ තිර පිටපත රචන කර තිබෙන්නේ ද සුමිත්‍රා රාහුබද්ධ විසිනුයි. චිත්‍රපටයේ දර්ශන වැඩි ප්‍රමාණයක් ජපානය තුළ රූගත කර තිබෙන නිසා, ජපාන ජාතික සිනමාකරුවෙකු වන ටාඕ නසිමටෝ (Tao Nasimoto) මීට සම – අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.

කන්දක් සේමා නිෂ්පාදනය සිදු කරන්නේ ජයන්ත හෙට්ටිආරච්චි – ආශු මාරසිංහ – සමන්මලී පද්මකුමාර සමඟින් – සුමිත්‍රා රාහුබද්ධ එකතුවෙනි.

කන්දක් සේමා චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

43 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.