දෙවෙනි යුද්ධය – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 21, 2024 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපටවලින් ගුණාත්මකම සහ විශිෂ්ටතම සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් සංවිධානය වන දෙරණ LUX සිනමා රාත්‍රිය – 2024, එළඹෙන නොවැම්බර් 10 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම්…

මෙම සම්මාන ප්‍රදානය වෙනුවෙන් පසුගිය වසරේදී තිරගත වුනු සිංහල සහ දමිළ භාෂිත ලාංකීය චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගත් අතර දෙවෙනි යුද්ධය ලෙසින් හඳුන්වන්නේ ද එම නිර්දේශ නාම අතරට පැමිණි ජනප්‍රිය ලාංකීය චිත්‍රපටයක්.

පුබුදු චතුරංග සහ උදාරි වර්ණකුලසූරිය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර දෙවෙනි යුද්ධය අධ්‍යක්ෂණය කළේ මෙරට සිනමාවේ සිටින ජ්‍යෙශ්ඨ සිනමාකරුවෙකු වන වී සිවදාසන් විසිනුයි.

මුල සිට අවසානය දක්වාම නරඹන්නාව කුතුහලයෙන් චිත්‍රපටය වෙත ඇඳ බැඳ තබාගන්නා මෙම නිර්මාණය, ක්‍රියාදාම සහ ත්‍රාසජනක නිර්මාණවලට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් ළඟා කර දේවි.

පුබුදු චතුරංග සහ උදාරි වර්ණකුලසූරියට අමතරව සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, තුෂිනි ප්‍රනාන්දු, කීත් රංගා, රුක්ෂානා දිසානායක, දිල්හානි අශෝකමාලා, බුද්ධික ජයරත්න වැනි මෙරට ජනකාන්ත නලු නිළියන් රැසක් දෙවෙනි යුද්ධයෙන් ඔබට දැකගත හැකියි. ටෙලි නාට්‍ය තුළින් රසිකයින්ගේ ජනාදරය දිනාගත් තුෂිනි ප්‍රනාන්දු රඟන පළමු වෘතාන්ත චිත්‍රපටය වන්නේ ද මෙයයි.

හෘද සාක්ෂිය ජයගන්නට හිතක් කළ යුද්ධයක කතාවක් පිළිබඳ දිවෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කීත් රංගා සමඟින් චන්න ඔබේසේකරයි.

බර්නාඩ් ජයතුංග විසින් චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙනවා. සුජිත් නිශාන්ත මෙහි කැමරාකරණ ශිල්පියායි. මේඝ කොළඹගේ සංස්කරණයෙන් සහ උදයන් වික්ටර් සංගීත අධ්‍යක්ෂණයෙන් මීට එකතු වුනා. චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණය සිදුවුනේ ඉන්දියානු ශිල්පියෙකු වූ ආර්. බාලසුන්දරම් විසිනුයි.

චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය රොශාන් සමරදිවාකරයි. දර්ශන චතුරංග දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයට සම්බන්ධ වුනා. සරත් විජේසේකර මෙහි නිෂ්පාදන සැලසුම් ශිල්පියායි. වේශ නිරූපණය අනුර ජයසේකරගෙනි. නර්තන වින්‍යාසය නිල්වලා විශ්වමාලිගෙනි.

සෝමපාල රත්නායක, නිරෝශා විරාජිනි, පූර්ණ සචින්ත, කල්පනා කාවින්දි, සුබුද්ධි ලක්මාලි ඇතුලු පිරිසක් විසින් චිත්‍රපටයේ ගීත ගායනය සහ පද රචනය සඳහා එක්වුනා.

දෙවෙනි යුද්ධය චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

82 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.