රෝස ආදරේ – දිවයින පුරා සිනමා හල්වලදී
2025 නව වසරේ ප්‍රදර්ශනය ඇරඹුනු පළමු ලාංකීය සිනමා නිර්මාණය වන, හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ රෝස ආදරේ චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී දැන් සාර්ථකව තිරගත වනවා.
මෙරට සිටින ජනකාන්ත නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩ වුනු රෝස ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දිනක්ෂි ප්‍රියසාද් සමඟින් නිසල හෙට්ටිආරච්චි විසිනුයි.
නිසල හෙට්ටිආරච්චි මෙහි රඟපාන්නේ කුඩා කල සිටම රෝගී තත්වයෙන් පෙලෙන අනුජ් නැමැති තරුණයාගේ චරිතයයි. රෝගී තත්වය නිසා කිසිදු ආයතනයක රැකියාවක් නොලැබී, තම සිහිනවල අතරමං වන අනුජ්ට සචිනි නැමැති ජනප්‍රිය රංගන ශිල්පිනිය මුණ ගැසෙන්නේ ඒ අතරවාරයේදී යි. අනුජ් රංගනයෙන් එක්වූ කෙටි චිත්‍රපටයකින් පසුව ඔහුට වෙළෙද දැන්වීමක් සඳහා රංගනයට ආරාධනා ලැබෙන අතර, එහිදී දැන හඳුනා ගන්නා සචිනි නැමැති ජනප්‍රිය රංගන ශිල්පිනිය සමඟ ඇති කරගන්නා මිතුරුකම කාලයත් සමඟම ආදර සබඳතාවක් බවට පත්වනවා.
ඔවුන් දෙදෙනාගේ ආදර කතාව සතුටින් ගලා ගියත්, සචිනිට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා අනුජ්ගේ සම්පූර්ණ කතාවම කණපිට හැරෙනවා. සචිනිට කළ අපරාධයට පළිගන්නා තුරු වියරුවෙන් සිටින අනුජ්, එම අපරාධකරුවන් පසුපස හඹා යන්නේ සිය මිතුරන් දෙදෙනා ද සමඟයි.
පහත සබැඳිය ඔස්සේ රෝස ආදරේ සිනමාපටයෙ හි නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.
රෝස ආදරේ සිනමාපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ හර්ෂ උඩකන්ද විසිනුයි. උලත් එකයි පිලත් එකයි – කොළඹ සන්නිය රිටන්ස් – ගෝරි – ෆේස් ටු ෆේස් – සේද මාවතේ – කබඩි වැනි සිනමාපට තුළින් මෙරට රසිකයින් අතරේ ජනප්‍රියතාවයක් ලබාගත් හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන 07 වන සිනමාපටය වන්නේ මෙයයි.
රෝස ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන දිනක්ෂි ප්‍රියසාද් සිනමාවේ ජනප්‍රිය නිර්මාණය රැසකට මෙන්ම පුංචි තිරයේ ටෙලි නාට්‍ය රැසකට ද සිය දායකත්වය ලබා දී තිබෙනවා. පසුගිය වසරේදී පමණක් ඇය රඟපෑ චිත්‍රපට 03ක් මෙරට තිරගත වුනා. විසල් ආදරේ, මන්දාරා, විශ්ම චිත්‍රපටවලට පසුව ඇය රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටය රෝස ආදරේ යි.
මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන නිසල හෙට්ටිආරච්චි විවිධ කලා නිර්මාණවලට සිය දායකත්වය ලබා දී තිබුනද, ඔහු ප්‍රධාන චරිතයක් රඟපාන චිත්‍රපටයක් තිරගත වන්නේ පළමු වතාවටයි. මීට අමතරව Razz නැමැති ලාංකීය – ඉන්දු නිෂ්පාදනයකට ද ඔහු හවුල් වී තිබෙනවා.
මීට අමතරව දිල්හානි ඒකනායක, පැතුම් රුක්ෂාන්, රජිත හිරාන්, දිල්හානි ඒකනායක, රුමලී කේෂිදා, වසන්ත කුමාරවිල, හේෂානි ලියදිපිට, රයන් වෑන්රෝයන්, සැනට් දික්කුඹුර, නිමේෂ් එදිරිසිංහ වැනි පිරිසක් රෝස ආදරේ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය නිශාන් හසිත විසිනි. අනුජ් රණසිංහගේ කතාවකට තිර පිටපත රචනය හර්ෂ උඩකන්ද විසිනි. සංස්කරණයෙන් තිවංක අමරසිරි සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් එක්වනවා. කලා අධ්‍යක්ෂණය හර්ෂණ ලාල් කුමාරයි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂකවරයායි. ශෙහාන් ගලහිටියාවගේ පද රචනයෙන් හැඩවුනු මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ නිමේෂ් කුලසිංහයි.
රෝස ආදරේ චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ අශෝක් ජයකොඩි යි.
Regal, Savoy, Lite Cinemas ඇතුළු දිවයින පුරා සිනමා හල් ගණනාවකදී ඔබට දැන් රෝස ආදරේ සිනමාපටය නරඹන්නට පුලුවන්.
Written by Kavinu Weerakkody