ලාංකීය සිනමා තරු බැබලුනු ‘සරසවිය සම්මාන රාත්‍රිය’

Avatar Kavinu Weerakkody | March 30, 2024 341 Views 0 Likes 5 On 1 Rating

341 Views 5 On 1 Rating Rate it

ශ්‍රී ලාංකීය සිනමාව සහ සිනමාකරුවන් වෙනුවෙන් මෙරට පැවැත්වෙන විශාලතම සහ උත්කර්ෂවත්ම සිනමා සම්මාන රාත්‍රිය වන්නේ ‘සරසවිය සිනමා සම්මාන උළෙල’යි. දශක ගණනාවක ඉතිහාසයක් තිබෙන සරසවිය සිනමා උළෙල පළමු වරට සංවිධානය වී තිබෙන්නේ 1964 වසර තරම් ඈතකදී යි.

ඉන්පසුව වසර ගණනාවක් පුරාවට මෙරට තිරගත වන විශිෂ්ටතම සිනමාපට සහ දක්ෂතම සිනමාකරුවන් අගයනු වස්, සරසවිය සම්මාන උළෙල නොකඩවා දිගින් දිගටම පැවැත්වෙනවා. කෝවිඩ් වසංගතය සහ අනෙකුත් අර්බුදකාරී තත්ව නිසා තාවකාලිකව නතර වූ සරසවිය සම්මාන උළෙල පසුගියදා නැවතත් ආරම්භ වූ අතර සම්මාන ප්‍රදානයෙන් ගිලිහුනු 2019 – 2020 වසරවල ගුණාත්මක ම සිනමාපට සහ විශිෂ්ටතම සිනමාකරුවන් වෙනුවෙන් මෙවර ‘35වන Lux සරසවිය සම්මාන උළෙලෙ’ හිදී ජයග්‍රහණ පිරිනැමුනා.

මෙරට ප්‍රවීණ – ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, ගායක ගායිකාවන්, සිනමාවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩවුනු 35වන Lux සරසවිය සම්මාන උළෙලෙ හි ප්‍රධාන ආරාධිත ලෙසින් සහභාගී වූයේ ලාංකීය සිනමාවේ නිළි රැජින- මාලිනී ෆොන්සේකා මහත්මියයි.

2019 සහ 2020 වසරවලට අදාළ විවිධ සම්මාන 50කට අධික ප්‍රමාණයක්, අධ්‍යක්ෂණය – රංගනය – තිර පිටපත් රචනය – පසුබිම් ගීත ගායනය – කැමරාකරණය – සංගීතය ආදී ඉසව් රැසක් ඔස්සේ එහිදී ප්‍රදානය කෙරුනා.
කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න වැනි ලාංකීය සිනමාවේ ජනකාන්ත නලු නිළියන්ගේ රංගනයෙන් ද උත්සවය තවත් හැඩවුනා.

2019 වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බිමල් ජයකොඩි විසිනුයි. දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ සචිත්‍රගේ චරිතය උදෙසායි, ඔහුට ඒ සම්මානය ලැබුනේ. ඉන්පසුව The Newspaper චිත්‍රපටයේ ලුසියාගේ චරිතය නිරූපණය කළ කුමාර තිරිමාදුර 2020 වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා ලෙසින් අබිසෙස් ලැබුවා.

දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ දිනිතිගේ චරිතය රඟපෑ සමාධි ලක්සිරි 2019 වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය බවට පත් වූ අතර 2020 වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය ලෙසින් සම්මාන ලැබූයේ මෙරට සිටින ප්‍රවීණතම සිනමා නිළියක වන නීටා ප්‍රනාන්දුයි. ඒ පාංශු සිනමාපටයේ බබානෝනාගේ චරිතය උදෙසා ඇය ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය උදෙසායි.

2019 වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙසින් තේරීපත් වූයේ සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ වියජබා කොල්ලය සිංහල සිනමාපටයයි. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි සිංහල සිනමාපටය 2020 වසරේ ජනප්‍රියම ලාංකීය සිනමාපටයයි.

දැකලා පුරුදු කෙනෙක් සිනමාපටය වෙනුවෙන් 2019 වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට මලිත් හෑගොඩ සමත් වූ අතර පාංශු සිනමාපටය නිර්මාණය කළ විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් 2020 වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තා.

U Turn හි සාගරගේ චරිතය රඟපෑ නලින් ලුසේනා 2019 විශිෂ්ටතම නවක නලුවායි. 2020 වසරට අදාළව එම සම්මානය හිමිවුනේ පාංශු චිත්‍රපටයේ රඟපෑ සේවියර් කනිෂ්ක හටයි.

හුස්ම සිනමාපටයෙ හි තාරුකාගේ චරිතය රඟපෑ චමත්කා ලක්මිණි 2019 විශිෂ්ටතම නවක නිළියයි. 2020 වසරට අදාළව එම සම්මානයට හිමිවුනේ සුනාමි චිත්‍රපටයේ රඟපෑ මෙනාරා වීරතුංග හටයි.
හුස්ම චිත්‍රපටයේ රඟපෑ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හටත් මෙහිදී කුසලතා සම්මානයක් හිමි වූවා.

2019 වසරේ විශිෂ්ටතම ගී පද රචනය විෂම භාග වෙනුවෙන් ලලිත් රත්නායකගෙනි. ඉන්පසු වසරේ විශිෂ්ටතම ගී පද රචනය සුනිල් ආරියරත්නගෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය හිමිවුනේ ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් හටයි. රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය සිරි කහවල මහතා වෙනුවෙන් පිරිනැමුනේ ඉන් අනතුරුවයි.

විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා කාණ්ඩය යටතේ 2019 වර්ෂය වෙනුවෙන් ජය ලැබූයේ මෙරට සිටින තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලක්ෂ්මන් මෙන්ඩිස් විසිනුයි. 2020 හොඳම සහාය රංගන ශිල්පියා වන්නේ පාංශු චිත්‍රපටයෙන් ඔබ දුටු මයුර කාංචනයි.

විජයබා කොල්ලය වෙනුවෙන් 2019 වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය චුලක්ෂි රණතුංග විසින් දිනා ගනිද්දී, 2020 වසරට අදාළව නදී කම්මැල්වීර එය ජයග්‍රහණය කළා. ඒ පාංශු චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ ගර්භනී මවගේ භුමිකාව උදෙසා යි.

පාංශු දිනාගත් සම්මාන ගොන්නට තවත් ජයග්‍රහණයක් එකතු කරමින් එම වසරේ හොඳම සංස්කරණය හිමි සම්මානයත් තමන් සතු කරගන්නට පාංශු සිනමාපටයේ සංස්කාරණ ශිල්පී සිතුම් සමරජීවට හැකිවුනා. 2019 හොඳම සංස්කරණය වූයේ මලිත් හෑගොඩගේ සංස්කරණයෙන් හැඩවුනු දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයයි.

වසරේ විශිෂ්ටතම තිර පිටපත් රචනය සම්මානය 2019 වසරට අදාළව දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය රචනා කළ භූපති නලීන් හටත්, 2020 වසරට අදාළව පාංශු චිත්‍රපටය රචනා කළ විසාකේස චන්ද්‍රෙස්කරම් හටත් හිමිවුනා.

හොඳම සංගීතය – චින්තක ජයකොඩි
හොඳම ශබ්ද පරිපාලනය – ප්‍රියන්ත කලුආරච්චි
හොඳම කලා අධ්‍යක්ෂණය – කුමාර කරවදෙණිය, පාංශු චිත්‍රපටයට අදාළව 35වන සරසවිය සිනමා උළෙලේදී ජය ගන්නට සමත් වූ තවත් සම්මාන කිහිපයක්…

2019 වසරේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය ලෙසින් සම්මානිත වුනේ සුමුදු ගුරුගේ සංගීත නිර්මාණකරනය සිදු කළ සංසාරණ්‍යෙය් දඩයක්කාරයා සිනමාපටයයි.
වසරේ විශිෂ්ටතම පසුබිම් ගීත ගායනයට හිමි සම්මාන ජයග්‍රහණය කලේ ලාංකීය කලා ඉතිහාසයේ නොමැකෙන නම් සනිටුහන් කළ, මෙරට අමරණීය ගායක ගායිකා දෙපළක වන විශාරද නන්දා මාලිනි (ද නිවුස්පේපර්) සහ සුනිල් එදිරිසිංහයින් (වැලිපවුරු) විසිනුයි. උමාරියා සිංහවංශ සහ හර්ෂණ දිසානායකටත් හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් සම්මාන හිමිවුනා.

පසුගියදා අප අතුරින් සමුගත්, ලාංකීය සිනමාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙකු – අධ්‍යක්ෂකවරයෙකු සහ – කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනි මහතා හටත් 35වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී ගෞරව සම්මානයක් පිරිනැමුනු අතර එය ලබාගත්තේ එතුමාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මියයි.

රසික ඡන්ද විමසුමක් යටතේ, ප්‍රේක්ෂක මනාප අතුරින් ජනප්‍රියම නලු නිළියන් තෝරා ගැනීම ද මෙහිදී සිදුවුනු අතර 2019 වසරේ ජනප්‍රියම නලුවා උද්දික ප්‍රේමරත්නයි. 2020 වසරේ ජනප්‍රියම නලුවා කළණ ගුණසේකරයි.
සෙනාලි ෆොන්සේකා 2019 වසරේ ජනප්‍රියම නිළිය බවට පත්වුනු අතර දිනක්ෂි ප්‍රියසාද් විසින් 2020 ජනප්‍රියම නිළිය ලෙසින් ජයග්‍රහණය කළා.

හේමාල් රණසිංහ, Lux ජනප්‍රියම නලුවාට හිමි සම්මානය දිනා ගනිද්දී, Lux ජනප්‍රියම නිළිය ලෙසින් තේරී පත්වීමට ශනුද්‍රි ප්‍රියසාද් සමත් වූවා.

මෙවර උළෙලේ ජයග්‍රහණ ප්‍රදානය සිදු වූයේ 2019 වර්ෂයේ තිරගත වුනු ලාංකීය සිනමාපට 30ක් සහ 2020 වර්ෂයේ තිරගත වුනු ලාංකීය සිනමාපට 12ක් අතුරින් ගුණාත්මක ම සහ වටිනා ම නිර්මාණ උදෙසායි. සම්පූර්ණ චිත්‍රපට 42ක් මෙවර උළෙල සඳහා සලකා බැලුනා.

සරසවිය පුවත්පත, ලේක්හවුස් පුවත්පත් සමාගම සහ යුනිලිවර් ලංකා සුසංයෝගයෙන් සංවිධානය වූ මෙම ‘35වැනි Lux සරසවිය සිනමා සම්මාන උළෙල’ එළඹෙන වසර තුළද නොකඩවා පැවැත්වීමට නියමිතයි.

Share

341 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.