වියසිදුරු – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | November 12, 2024 15 Views 0 Likes 0 Ratings

15 Views 0 Ratings Rate it

ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – නිර්මාණය වන “වියසිදුරු” සිනමාපටයත්, 09 වන දෙරණ Lux සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කරනවා.

කැළණිය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් බිහිවූ වියසිදුරු සිනමාපටය, ත්‍රාසය – ආදරය – කුතුහලයෙන් සපිරි වෙනස්ම කතා තේමාවක් ඔස්සේ දිවයන නිර්මාණයක් ද වනවා. එහි ප්‍රධාන චරිත රඟපාන්නේ මෙරට සිනමාවේ ජනප්‍රිය නලු නිළි දෙපලක් වන කළණ ගුණසේකර සහ ශලනි තාරකායි.

හිරන්ත නැමැති තරුණයාගේ චරිතය කළණ ගුණසේකර රඟන අතර ශලනි තාරකා නිරූපණය කරන්නේ ඔහුගේ පෙම්වතිය වන ටානියාගේ චරිතයයි.
වියසිදුරු චිත්‍රපටයට පසුබිම් වන්නේ හිරන්ත සහ ටානියා අතර ඇතිවන රහස් සබඳතාවයක් නිසා ඔවුන්ගේත්, ඔවුන්ගේ සමීපතමයින්ගේත් ජීවිතය වෙනස් වන ආකාරයයි. හිරන්ත සහ ටානියාට යම් අහඹු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වන අතර ඒ සිදුවීම ගැන දන්නේ තමන් පමණක්ම බව ඔවුන් දෙදෙනා සිතා සිටිනවා. නමුත් එක්තරා මොහොතකදී තමන් හැර තවත් තුන්වන පාර්ශවයකුත් මේ සිද්ධිය ගැන දැන සිටින බව හිරන්තට සහ ටානියාට සිතෙන්නට පටන් ගැන්මත් සමඟම, මේ ගැන සොයා බලන්නට ඔවුන් තීරණය කරනවා.

එතැන් සිට ඔවුන් දෙදෙනා මුහුණ දෙන සිදුවීම් සමඟිනුයි වියසිදුරු (Viyasiduru) චිත්‍රපටය ඉදිරියට ගලා යන්නේ…
හිරන්ත සහ ටානියාගේ සැබෑ සම්බන්ධය කුමක්ද? නොසිතූ මොහොතක අත් විඳීමට සිදුවන එම රහස් සිදුවීම කුමක්ද? එයින් ඔවුන්ගේ ජීවිතයට එතරම් ම බලපෑමක් ඇති වන්නේ ඇයි?

වියසිදුරු බිහිවන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙ හි ‘සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ’ පළමු සිසුන් කණ්ඩායමේ අවසන් ව්‍යාපෘතිය ලෙසටයි. ඩිප්ලෝමා පාඨමාලාවේ දේශකයෙකු වන කතිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මහතා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මෙරට විශ්වවිද්‍යාලයක් විසින් දිගු වෘතාන්ත චිත්‍රපටයක් නිෂපාදනය කළ මුල්ම අවස්ථාව වන්නේ තම සිසුන්ගේ දායකත්වය ඇතිව ප්‍රභාත් අගම්පොඩි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයයි.

මෙරට ප්‍රවීණ – චරිතාංග නලුවෙකු වන ලක්ෂ්මන් මෙන්ඩිස් මෙහි රංගනයෙන් එකතු වන්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ චරිතයකටයි. තුමිඳු දොඩන්තැන්න, ඉන්ස්පෙක්ටර් අල්විස්ගේ භූමිකාව රඟපානවා. ධර්මප්‍රිය ඩයස් ලොරි රථ රියදුරෙකුගේ චරිතයක් සහ සංජීව දිසානායක වේලුගේ චරිතය නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණයට අමතරව වියසිදුරු සිනමාපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද ප්‍රභාත් අගම්පොඩි විසිනුයි. කැමරා අධ්‍යක්ෂකවරයා සුසන්ත මහගල්ගමුවයි. සංගීතය ආලෝකෝ උදපාදි – ආයු සිනමාපටවල සංගීත සංයෝජනය සිදු කළ මිලින්ද තෙන්නකෝන්ගෙනි. ඇඳුම් නිර්මාණකරණය ඉෂාර කොඩිතුවක්කු විසිනුත් වේශ නිරූපණය ලක්ෂිත සංකල්ප විසිනුත් සිදු කර තිබෙනවා.

මෙහි සහාය අධ්‍යක්ෂණය, ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු වන හසන්ත දිසානායකගෙනි. චලන විමලසූරියගේ සංස්කරණයෙන් සහ ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනයෙන් වියසිදුරු හැඩවී තිබෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ සහ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ගේ සාමූහික නිෂ්පාදනයක් වන මෙයට සම නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුම එක්වුනා.

මෙය සාම්ප්‍රදායික කැමරාකරණ රීතීන් ඉක්මවා නව අත්හදා බැලීම් සිදු කළ සාර්ථක නිර්මාණයක් බවටයි, චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක සුසන්ත මහගල්ගමුව විසින් පැවසුයේ. පශ්චාත්නූතනවාදී සිනමා කාණ්ඩයට අයිති වන කෘතියක් වන මෙය ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී දැනටමත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ස්වීඩනයේ 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය මෙන්ම ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් දිනාගත්තේ “වියසිදුරු” විසිනුයි.

වියසිදුරු චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 16 වනදා සවස 7.30ට TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

15 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.