වීසිදැලේ “සිරිමා” දිවි රඟ මඩලින් නික්ම ගියාය.

Avatar Nisanka Weheraduwa | April 28, 2022 779 Views 0 Likes 5 On 2 Ratings

779 Views 5 On 2 Ratings Rate it

ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්.ජයසිරි අද, එනම්, අප්‍රේල් 28 වැනිදා උදෑසන ඔහුගේ Facebook පිටුවේ විශේෂ සටහනක් තබා තිබුණි. ඒ ඔහු සමග “වීසි දැල” චිත්‍රපටයේ රඟපෑ රංගන ශිල්පිනී අනුෂා සොනාලි වෙනුවෙනි. ඔහු එහි එලෙස සටහන් කර තිබිණ.

“ඇය නමින් අනූෂා සොනාලි ය. මා සමග ඇය “විසිදැල” චිත්‍රපටයේ රඟපාන විට ඇගේ වයස අවුරුදු 18කි. එක් දිනක ඇය ගැන මම හිතන්නේ කුමක් දැයි ඇයම මගෙන් ඇසුවා ය. එකල ඇයගේ ඇවතුම් පැවතුම් අනුව මම ඇය දුටුවේ රේල්පීල්ලක පිපුණු මලක් මෙනි. මම ඇයට එය කීව ද ඇයට එය නො තේරුනි. ඉතිං, අද ඇය මියගියා ය. අනූෂා සොනාලි ඔබට සුබ ගමන්…!”

1997 වසරේ තිරගත වුනු “විසිදැල” චිත්‍රපටයේ සිරිමා ලෙස රංගනයේ යෙදුන අනුෂා බොහෝ රසික පිරිසක් හඳුනා ගත්තේත්, කතාබහට ලක්වූයේත් එම චරිත රංගනය හේතුවෙනි. සිනමාවේදී එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ විසිදැල, ඔහු ජැක්සන් ඇන්තනි සහ සරත් චන්ද්‍රසිරි එක්ව රචනා කෙරුණකි. රංගනයේ දක්ෂතා දැක්වූ ශිල්පිනියක වූ ඈ, වරෙක සරසවි සම්මාන උළෙලේදී හොඳම නැගී එන නිළිය ලෙසද සම්මානිත වූවාය. අනුෂා ඉතා තරුණ වියේදීම රංගනයට පිවිසි නමුත් කෙටි කලකින්ම ඇය රංගනයෙන් ඉවත් වන්නේ ඇගේ රෝගී තත්වය හේතුවෙනි. නමුත් ඒ කාලය තුළ දරු උපත, සංගිලි වැනි සිනමාපට කිහිපයකම මතකයේ රැඳෙන චරිත කිහිපයකටම රංගනයෙන් දායක වීමට ඇයට හැකියාව ලැබිණි. රෝගී වීම හේතුවෙන් කලක් තිස්සේ අනුෂා රෝද පුටුවක කල් ගෙවූවාය.

හදිසියේ ඇතිවූ හෘදයාභාධයක් හේතුවෙන් අනුෂා සොනාලි අප්‍රේල් 27 වැනිදා සැන්දෑවේ කළුබෝවිල රෝහලට ඇතුල් කර තිබිණි. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය 28 වැනිදා අළුයම ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

ප්‍රේක්ෂක හදවත්හි මතක පමණක් ඉතිරි කොට අනුෂා නික්ම ගොසිනි. අපිද ඇයට සුබ ගමන් පතමු..!

 

Share

779 Views 5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.