ආක්ෂේගේ ඉදිරි චිත්‍රපට ලැයිස්තුව තවත් දිගු වන ලකුණු | Gorkha

Avatar Kavinu Weerakkody | August 8, 2022 113 Views 0 Likes 0 Ratings

113 Views 0 Ratings Rate it

Akshay Kumar – Anand L Rai සුසංයෝගය මේ දිනවල ලංකාවේ සිනමා රසිකයින් අතර පවා වැඩිපුර කතාබහට ලක්වන චරිත ද්විත්වයක්. එළඹෙන අගෝස්තු 11 වනදා තිරගත වීමට නියමිතව තිබෙන Akshay Kumar ප්‍රධාන චරිත රඟපෑ, Anand L Rai අධ්‍යක්ෂණය කළ “Raksha Bandhan” හින්දි චිත්‍රපටයට දැන් සිටම මෙරට රසිකාගාරය තුළත් විශාල ජනප්‍රියත්වයක් දක්නට ලැබෙනවා.

Raksha Bandhan නිර්මාණය වන්නේ ඉන්දීය රංගන ශිල්පී ආක්ෂේ කුමාර් සහ අධ්‍යක්ෂක ආන්නද් එල් රායි එකතුවෙන් නිර්මාණය වන දෙවන චිත්‍රපටය ලෙසයි. ඉන් පෙර ඔවුන් දෙදෙනා එක්ව නිර්මාණය කළ Atrangi Re සිනමාපටය සමස්ථ ඉන්දියාව පුරා ජනප්‍රිය වෙමින් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත්තා. ඉන් වසරකට පසු දැන් නැවතත් ඔවුන් දෙදෙනාගේ Raksha Bandhan සිනමාපටය ලෝ පුරා තිරගත කරන්නට සූදානම්.
Atrangi Re සහ Raksha Bandhan චිත්‍රපට ද්විත්වයට පසු, රංගන ශිල්පී ආක්ෂේ කුමාර් සමඟින් ගිවිසුම්ගත වූ තමන්ගේ තෙවන සිනමාපටය පිළිබඳව Anand L Rai විසින් මාධ්‍යයට දැනුම් දෙන්නේ ඒ අතරතුරේදී යි.

මේ වනවිට පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර චිත්‍රපටය හඳුන්වා තිබෙන්නේ “Gorkha” යන නමිනුයි. ඉන්දියානු පාබල හමුදාවේ එක් තීරණාත්මක රෙජිමේන්තුවක් වන Gorkha රෙජිමේන්තුව ඇසුරෙනුයි මෙය නිර්මාණය වන්නේ. Gorkha රෙජිමේන්තුවේ සේවය කරමින්, ඉන්දීය හමුදා ඉතිහාසයේ විශිෂ්ටතමයෙකු ලෙසින් සම්මානයට පාත්‍ර වූ මේජර් ජෙනරල් Lan  Cardozoගේ ජීවිත කතාව මීට පාදක වී තිබෙනවා.

චිත්‍රපටයට සම්බන්ධ ඉන්දීය හමුදාවේ ඇතැම් සිද්ධීන් නිසා මෙහි නිෂ්පාදනය නතර කර දමන්නට සූදානම් වන බවටත් තොරතුරු වාර්තා වී තිබුනා. නමුත් සිය සිනමාපටයේ වැඩ කටයුතු නතර නොවුනු බව තහවුරු කරමින්, Anand L Rai විසින් Gorkha හි අලුත් විස්තර ප්‍රේක්ෂකයින්ට දන්වා තිබුනා.

නමුත් පෙර අවස්ථාවලදී මෙන්,  Anand L Rai මෙහි අධ්‍යක්ෂවරයා ලෙස නොව ප්‍රධාන නිෂ්පාදකවරයා ලෙසයි  මෙවර Akshay Kumar සමඟින් නිර්මාණකරණයේ යෙදෙන්නේ. නමුත් ඔහු පැවසූ පරිදි මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණයට ගිවිසුම්ගතව තිබෙන්නේ මෑතකාලීන බොලිවුඩයේ දක්ෂ නමුත් underrated සිනමාකරුවෙකුයි. ඔහු නමින් Sanjay Puran Singh Chauhan
2010 වසරේදී Lahore නැමැති හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් බොලිවුඩයට පිවිසි ඔහු එයින් පසු එක්වරම සිනමාකරනයෙන් ඈත් වුනා. 57වන ඉන්දීය ජාතික සිනමා උළෙලේදී (57th National Film Awards) සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරන්නට පවා එය සමත් වුවත්, සන්ජෙයි පූරන් යළි කිසිදු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ නැහැ. ඉන් වසර 11කට පසුව ඔහු යළිත් සිනමාවට සම්බන්ධ වූයේ 2021දී තිරගත වූ ’83 හින්දි චිත්‍රපටයේ පිටපත් රචකයා ලෙසයි. ‘83ට පසුව Gorkha හි කතාව – දෙබස් – තිර රචනය සිදු කරන්නේ ද අධ්‍යක්ෂක Sanjay Puran විසින්මයි.

නමුත් Gorkha චිත්‍රපටයේ රූපගත කිරීම් නම් නුදුරේදීම අරඹන බවක් පෙනෙන්නට නැහැ. 2018 වසරේ සිටම ආක්ෂේ වසරකට චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ගිවිසුම්ගත වෙමින් දිගින් දිගටම සිනමා රංගනයේ යෙදුණ නිසා ඔහුගේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් තිරගත වන්නට නියමිතව තිබෙනවා. එමෙන්ම දැනුත් ඔහු සම්බන්ධ වී සිටින චිත්‍රපට දර්ශන තල සංඛ්‍යාව දෙකකට අධිකයි.
එමනිසා බොහෝවිට එළඹෙන වසර මුල භාගයේදී හෝ ඉන් පසුව මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹිය හැකියි. එසේ වුවත්, Akshay සාමාන්‍යයෙන් බොහොම වේගයෙන් සිය රූගත කිරීම් ප්‍රමාණය අවසන් කරන නිසා 2023 මැද භාගය වනවිට සියලුම දර්ශන රූගත කරන අවසන් කිරීමටත් නිෂ්පාදකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි බොලිවුඩ් මාධ්‍ය ඉඟි පළ කරනවා.

“We will only make this film when we feel that we are 100 percent right with the subject and we have cracked it well. We are finding the right bound script and the process is on as we speak. That’s the process we follow for all our films. “

මේ නිර්මාණය දැන්ම ම අරඹන්නට එතරම් සූදානමක් නොමැති බව, චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන ආන්නද් රායි විසින් පැවසුවේ එලෙසයි.

Akshay Kumar මේ දිනවල සිය නවතම චිත්‍රපටය වන Raksha Bandhan හි ප්‍රචාරණ කටයුතුවලට එක්ව සිටිනවා. එළඹෙන 11 වනදා සිට ලෝ පුරා තිරගත වීමට නියමිත එය Family Drama ශානරයේ චිත්‍රපටයක්. නමුත් වසර තුනකට පසු Aamir Khan රඟන පළමු චිත්‍රපටය, Lal Singh Chadda ප්‍රදර්ශනය අරඹන්නේ ද එදිනම නිසා මුළු බොලිවුඩයම දැන් උණුසුම් වී හමාරයි. හින්දි සිනමා කර්මාන්තයේ tier 01 කාණ්ඩයේ සිටින දැවැන්තම සිනමා තරු ද්විත්වයක් එකිනෙක ගැටෙන්නේ බොහෝ කලකට පසුවයි.

Raksha Bandhanට අමතරව ඔහු රඟපෑ Cinderella, Ram Setu, Selfie සිනමාපටත් ඉදිරි මාස කිහිපයේදී මුදා හැරීමට සැලසුම් කර තිබෙනවා. ආක්ෂේ මේ දිනවල රංගනයෙන් සම්බන්ධ වන Bade Miyan Chote Miyan ක්‍රියාදාම සිනමාපටයත් එළඹෙන 2024 වසරේදී තිරගත වනු ඇති.

Share

113 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.