ආමීර් ඛාන් සහ රන්බීර් කපූර්ගේ සිහින චිත්‍රපටය සැබෑවක් වන ලකුණු!

Avatar Kavinu Weerakkody | May 17, 2022 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

උතුරු ඉන්දියානු කලාපය මුල් කරගත් හින්දි සිනමාව හෙවත් බොලිවුඩය තුළ කෙතරම් ජනප්‍රිය සහ තරු පන්තියේ රංගන ශිල්පීන් සිටියත්, එහි දැවැන්තම බලකණු ලෙසට අදටත් සලකන්නේ ඛාන් ත්‍රිත්වයයි.
Shah Rukh Khan
Aamir Khan
සහ Salman Khanගේ චිත්‍රපටයක් නිකුත් වන තුරු ලොව පුරා මිලියන ගණනක් රසිකයින් උන්මාදයෙන් බලා සිටිනවා. 1980 අගභාගයේදී සිය සිනමා ගමන ආරම්භ කරන ඔවුන් තිදෙනා අදටත් හින්දි සිනමාව තුළ තමන්ගේ ස්ථාවරත්වය මනාව පවත්වා ගෙන ක්ෂේත්‍රයේ දැවැන්තයින් ලෙස කටයුතු කරනවා. මෑතකාලීන බොක්ස් ඔෆීසිය තුළ පවා හින්දි චිත්‍රපට හරහා වැඩිම ආදායමක් ජනනය කරගෙන තිබෙන්නේ ත් ඔවුන් තිදෙනායි.

නමුත් විශේෂත්වය වන්නේ මොවුන් තිදෙනාම රංගනයෙන් සම්බන්ධ වන්නේ වාර්ෂිකව ඉතා සීමිත චිත්‍රපට කිහිපයකට පමණක් වීමයි. බොහෝවිට වසරකට හෝ එකහමාරකට එක් නිර්මාණයක් වෙනුවෙන් පමණක් ඔවුන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා. නමුත් එසේ සීමිතව සම්බන්ධ වන චිත්‍රපට පවා සෙසු නලු නිළියන්ගේ චිත්‍රපට කිහිපයකටත් වඩා වැඩි ආදායමක් රැස් කරගනිමින් ලෝ පුරා සාර්ථකව තිරගත වීම සාමාන්‍ය කාරණාවක්…
මෙවැනි හේතූන් නිසා ඛාන් ත්‍රිත්වයේ එකුදු නලුවෙකු හෝ රංගනයෙන් සම්බන්ධ වන නවතම සිනමා ව්‍යාපෘති ගැන දැන ගැනීමට මුලු ඉන්දියාවම සිටින්නේ කුතුහලයෙන්! ඔවුන්ගේ චිත්‍රපටවල නවතම updates මාධ්‍යයට ලැබීම සිදු වන්නේ කලාතුරකින් නිසා, එවැනි තොරතුරක් වාර්තා වූ වහාම ඉන්දියාවේ බහුතරයක් මාධ්‍ය විසින් ඒවාට පුළුල් ප්‍රචාරණයක් ලබා දෙනවා.
පසුගියදා වාර්තා වූ ආමීර් ඛාන්ගේ මීළඟ චිත්‍රපටයේ තොරතුරත් එවැනිම සිදුවීම් මාලාවකට මුල පිරූ ආරංචියක් වූවා.

2018 වසරේදී Aamir Khan රඟපෑ Thugs of Hindusthan සිනමාපටය නිකුත් වී වසර 04කට අධික කාලයක් ගත වී තිබුණත්, ඉන්පසු මේ වන තෙක්ම ඔහුගේ කිසිදු නව නිර්මාණයක් තිරගත වී නැහැ. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Lal Singh Chadda චිත්‍රපටයත් දැන් සෑහෙන කාලයත් තිස්සේ තිරගත වීම කල් දමමින් තිබෙන අතර එළඹෙන අගෝස්තු මාසය ඊට වෙන් කරවා ගැනීමට නිෂ්පාදකයින්ට අවසානයේදී හැකියාව ලැබී තිබෙනවා.
විශේෂයෙන්ම ආමීර්ට ඉන්දියාව, උතුරු ඇමරිකාව සහ මැදපෙරදිගට අමතරව චීනය, ජපානය වැනි කලාප තුළත් දැඩි ජනප්‍රියත්වයක් හිමිව තිබෙන නිසා ඔහුගේ චිත්‍රපටයක යාවත්කාලීනවීමක් වෙනුවෙන් බලා සිටින රසිකයින් ප්‍රමාණයත් සාපේක්ෂව ඉතා විශාලයි.

මෙවැනි තත්වයක් තුළ Pinkvilla මාධ්‍ය ජාලය හරහා පසුගියදා අණාවරණය කළ Aamir Khanගේ මීළඟ නිර්මාණය ගැන විස්තර ලෝ පුරා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී තිබෙනවා. ඔවුන් වාර්තා කර තිබෙන ආකාරයට ආමීර් ඛාන් විසින් තමන්ගේ ඊළඟ චිත්‍රපටය වෙනුවෙන් සුප්‍රකට බොලිවුඩ් නලු Ranbir Kapoor සමඟ තිරය බෙදා ගැනීමට නියමිතයි.

Aamirගේ රංගන දිවියේ ජනප්‍රියතම නිර්මාණයක් වන PK (2014)  සිනමාපටය අවසානයේ තිබුණු Ranbir Kapoorගේ special appearance සහිත පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය ඔබට මතක ඇති. ඒ කාලයේදී පවා බොහෝ දෙනෙකු පැවසූයේ, එය Ranbir Kapoor සහ Aamir Khan සුසංයෝගයෙන් නිර්මාණය වන PK දෙවන දිගහැරුමක ඉඟියක් බවයි. විශේෂයෙන්ම PK චිත්‍රපටයෙන් පසු ආමීර් සහ රන්බීර්ගේ රසිකයින් පවා ඔවුන් දෙදෙනා එකට තිරය හුවමාරු කරගන්නා චිත්‍රපටයක් නිකුත් වේ යැයි බොහෝ කාලයක් බලා සිටියා.

ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු සඵල කරමින් නිෂ්පාදනය වන්නට නියමිත මෙම නව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රකට හින්දි චිත්‍රපට අධ්‍යක්ෂක Anurag Basu බවයි pinkvilla වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ… ඔවුන්ගේ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම ව්‍යාපෘතියට සෘජුවම සම්බන්ධ අයෙකු විසින් චිත්‍රපටයට අදාළ විස්තර රාශියක් pinkvilla වෙබ් අඩවියට ලබා දී තිබෙනවා.
මේ වනවිට පූර්ව – නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙන බවටත් ඔවුන් විසින් වාර්තා කරනවා.

තවමත් ස්ථිර නමක් යොදා නැති මේ චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය කෝටි 200කට අධික අතිවිශාල නිෂ්පාදන පිරිවැයක් දරන්නටත් නිෂ්පාදකයින් කැමැත්ත පළ කර තිබෙනවා. ආමීර් සහ රන්බීර් දෙදෙනාම කතා තේමාව සඳහා කැමැත්ත පළ කර තිබෙන බවත්, මේ දිනවල තිර පිටපත develop කරමින් අවසන් පිටපත නිර්මාණයට කටයුතු සකසමින් සිටින බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා.

බොලිවුඩයේ massive scale නිර්මාණයකට පවා එතරම් යොදා නොගන්නා අන්දමේ දැවැන්ත VFX දර්ශන සහිතව නිර්මාණය කරන්නට යන මෙම චිත්‍රපටයට ලෝ පුරා සිටින ප්‍රවීණ තාක්ෂණික සහ සජීවිකරණ ශිල්පීන් සම්බන්ධ කරගැනීමටත් නියමිතව තිබෙනවා. චිත්‍රපටයට සුදුසු දර්ශන තල, VFX, චරිත සහ අනෙකුත් මූලික කාරණා ගැන ආමීර් සහ අධ්‍යක්ෂකවරයා ඇතුළු කිහිප දෙනෙකුගේම සහභාගීත්වයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන බවත් බොලිවුඩයේ ආරංචි මාර්ග පවසනවා.

කෝවිඩ් වසංගතය නිසා Lal Singh Chadda නිෂ්පාදන කටයුතු කල් නොයන්නට මෙම ව්‍යාපෘතිය අරඹන්නට නියමිතව තිබූයේ මින් කලකට පෙරයි. කෙසේ වුවත් Lal Singh Chadda සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා අගෝස්තු මාසයේ දින ලබා දී තිබෙන නිසා එහි ප්‍රදර්ශනය ඇරඹී, එම සිනමාපටයේ වැඩ කටයුතු අවසාන වූ වහාම මෙහි රූපගත කිරීම් ආරම්භ කරන්නටත් නිෂ්පාදකයින් සූදානම්ව සිටිනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කිරීමට නියමිත යැයි සැලකෙන Anurag Basuව බොහෝ දෙනෙකු හඳුනන්නේ එකිනෙකට වෙනස් නිර්මාණ කරන්නට පෙළඹෙන බොලිවුඩයේ අද පරපුරේ දක්ෂයෙකු විදිහටයි. නිර්මාණකරණයේදී බොහෝ අධ්‍යක්ෂකවරුන් මැලි වන Super Natural, Erotic, Musical වැනි genres මෙන්ම වාණිජ සිනමාවට ඔබින Action Thrillers, Romantic, Comedy වැනි genres ද අනුරාග් බාසුගේ චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත් වනවා.

Murder, Barfi, Jagga Jasoos, Gangster වැනි චිත්‍රපට ඒ අතුරින් ප්‍රධානයි. ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කළ Ludo (2020) සිනමාපටයත් ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ ධනාත්මක ප්‍රතිචාරයට ලඝු වූවා.
මේ ඔහු විසින් ආමීර් ඛාන් රඟන සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාව වුවත් මින් පෙර දෙවතාවක්ම රන්බීර් කපූර් සමඟ (Barfi, Jagga Jasoos) නිර්මාණකරණයේ යෙදුනා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන අන්දමට මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදකවරයෙකු වශයෙන් එක්වීමටත් Aamir Khan කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ඔහුගේ Aamir Khan Productions ආයතනය වෙනුවෙනුයි. 2002 වසරේදී Lagaan නිෂ්පාදනය කරමින් ඇරඹි එම සිනමා නිෂ්පාදන ආයතනය Taare Zameen Par, Dangal, Secret Superstar, Rubaru Roshni වැනි ජනප්‍රිය නිර්මාණ ගණනාවක්ම හින්දි සිනමාවට දායද කර තිබෙනවා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Lal Singh Chaddhaත් ඔහුගේම නිෂ්පාදනයක්…

ආමීර් ඛාන් මෙන්ම Ranbir Kapoor ද වර්තමාන බොලිවුඩයේ සිටින ජනප්‍රියම සිනමා තාරකාවක්! දැනට වසර 05-06කට පෙර ඔහු හින්දි සිනමාව තුළ එතරම් ස්ථාවරත්වයක් දැක්වූ නලුවෙකු නොවුණත් අද වනවිට ඒ සියල්ලම කණපිට හැරවී තිබෙනවා. Brahmastra, Shamshera, Luv Ranjan’s Next (untitled) සහ Animal වැනි high budget movies ගණනාවක්ම රන්බීර් කපූර්ගේ ඉදිරි නිර්මාණ අතර වනවා.

Share

123 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.