තෙළිඟු සිනමාවේ සාර්ථකම සුසංයෝගය: Allu Arjun සමඟින් Trivikram Srinivas

Avatar Kavinu Weerakkody | November 18, 2022 409 Views 0 Likes 0 Ratings

409 Views 0 Ratings Rate it

ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙළංගානා ප්‍රාන්ත මුල් කරගනිමින් ව්‍යාප්තව තිබෙන තෙළිඟු සිනමාව, art house සිනමාපටවලට වඩා mass commercial සිනමාපට සඳහා මූලිකත්වය ලබා දෙන සිනමා කර්මාන්තයක්. තෙළිඟු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ නලු නිළියන් මෙන්ම, තෙළිඟු සිනමා රසිකයිනුත් මෙම වාණිජ ධාරාවේ චිත්‍රපටවලට දක්වන්නේ බොහොම ලැදියාවක් සහ කැමැත්තක්.
එනිසා ස්වභාවයෙන්ම ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමාවන්ට වඩා Mass Commercial ගණයේ නිර්මාණ බොහෝමයක් තෙළිඟු සිනමාව තුළින් වසරකට බිහිවනවා.

අද තෙළිඟු සිනමාවේ දැවැන්තම තරු ලෙසට සැලකෙන Mahesh Babu, Jr NTR, Ram Charan, Chiranjeevi වැන්නවුන් සියලු දෙනාම පාහේ තමන්ගේ ජනප්‍රියත්වය සහ සාර්ථකත්වය තහවුරු කරගත්තේ මෙම වාණිජ සිනමාපට හරහායි.
Allu Arjun යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙවැනි වාණිජ ධාරාවේ චිත්‍රපට තුළින් වර්තමානයේදී අති විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින තෙළිඟු රංගන ශිල්පියෙක්! 2003 වසරේදී Gangotri චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ඔහු “වර්තමාන තෙළිඟු සිනමාවේ සිටින තරුණ නලුවන් අතරින් වැඩිම තරු ගුණයක් පුද්ගලයා” ලෙසටත් හැඳින්වෙනවා.

මුල්කාලීනව Parugu, Vedam, Badrinath, Arya සහ Bunny වැනි චිත්‍රපට හරහා රසිකයින්ට සමීප වූවත් ඒ කාලයේදී ඔහු වටා විශාල රසික ජනප්‍රියත්වයක් දැකගත හැකි වුනේ නැහැ. ඔහු රඟපෑ සිනමාපට එතරම් සාර්ථක බොක්ස් – ඔෆිස් ආදායම් වාර්තා කළේ ද නැහැ. එසේ වුවද, තෙළිඟු ප්‍රාන්තය පුරාම කතාබහට ලක්වන නලුවෙකු බවට පත් වන්නට Allu Arjunට හැකියාව ලැබුනේ 2012 වසරේදී තිරගත වූ Julayi චිත්‍රපටයෙන් පසුවයි.
එය මෑතකාලීන දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවූ හොඳම වාණිජ චිත්‍රපටයක් ලෙසට අදටත් සැලකෙනවා.
Julayi හි සාර්ථකත්වය නිසාම එතැනින් පසුව ඔහු රංගනයෙන් එක් වූ Race Gurram, SO Satyamurthy, Sarrainodu හා Duvvada Jagannadham ආදී නිර්මාණ සියල්ලම තෙළිඟු රසිකයින්ගේ අවධානයට නතු වූ අතර ඒ චිත්‍රපට සියල්ලම බොහොම පහසුවෙන් කෝටි 100 ආදායම පසු කළා.

Allu Arjunගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් වුනු Julayi (2012) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Trivikram Srinivas නැමැති ප්‍රවීණ සිනමාකරුවා විසිනුයි. තෙළිඟු සිනමාවේ ජනප්‍රිය වාණිජ සිනමාපට රැසක අධ්‍යක්ෂකවරයා වන ඔහු Julayi චිත්‍රපටයෙන් පසුව අල්ලු අර්ජුන් සමඟින් තවත් චිත්‍රපට ද්විත්වයක් නිර්මාණය කළා. එයින් පළමුවැන්න S/O Satyamurthy නමින් තිරගත වුනේ 2015 වසරේදීයි.
2020 වසරේදී Ala Vaikunthapurramuloo ලෝ පුරා ප්‍රදර්ශනය ආරම්භ කළේ ඔවුන්ගේ තුන්වන සිනමාපටය ලෙසයි. එහිදී “අල්ලු අර්ජුන් රඟපෑ සිනමාපටයක් එවකට ලැබූ වැඩිම ආදායම” රැස් කරගන්නට Ala Vaikunthapurramuloo සමත් වූ අතර එය දළ වශයෙන් ඉන්දියානු කෝටි 300කට ආසන්නයි.

මේ ආකාරයෙන් Allu Arjun සහ Trivikram Srinivas සුසංයෝගයෙන් බිහිවූ චිත්‍රපට තුනම අතිශය සාර්ථකත්වයක් ලැබූ පසුබිමක, සිව්වන වතාවටත් ඔවුන් දෙදෙනා එක්වන නවතම චිත්‍රපටයක වැඩ කටයුතු ඇරඹී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ත්‍රිවික්‍රම්ගේ බහුතරයක් චිත්‍රපට ආකාරයෙන්ම මෙයත් family audience ඉලක්ක කරගත් entertaining චිත්‍රපටයක් වනු ඇති බවටයි බොහෝ දෙනෙකු පවසන්නේ.

චිත්‍රපටය සඳහා නිශ්චිත තිර පිටපතක් තවමත් සකස් කර නොමැති අතර එළඹෙන මාස කිහිපය ඇතුළතදී අධ්‍යක්ෂක Trivikram විසින් එහි වැඩ කටයුතු පටන් ගැනීමට නියමිතයි. නමුත් චිත්‍රපටයට පාදක වන සිද්ධි දාමය ගැන ඔහු සහ අල්ලු අර්ජුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙන අතර ඊට Allu Arjunගේ එකඟතාවයත් ලැබී තිබෙනවා. එමෙන්ම ඉදිරි 2023 වසරේදී මෙහි රූගත කිරීම් ඇරඹීම සඳහාත් දෙපාර්ශවයෙන්ම කැමැත්ත පළ කොට තිබෙන බවත් සඳහන්.

2020 වසරේදී තිරගත වූ Ala Vaikunthapurramuloo සිනමාපටයෙන් පසු මේ වනතෙක්ම Trivikram Srinivas අධ්‍යක්ෂණය කළ අලුත් චිත්‍රපටයක් රස විඳීමට ඔහුගේ රසිකයින්ට හැකියාවක් ලැබුනේ නැහැ. ජනප්‍රිය තෙළිඟු නලු Mahesh Babu සමඟ නිර්මාණය කෙරෙන ඔහුගේ අලුත්ම සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු වන අතර එළඹෙන වසරේ මැද භාගයේදී එහි සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. SSMB28 යනුවෙන් දැනට නම් කොට තිබෙන එය, මෙතෙක් Mahesh Babu සම්බන්ධ වී තිබෙන සියලුම චිත්‍රපටවලට වඩා වෙනස් කතා තේමාවක් සහිත නිර්මාණයක් බවයි පැවසෙන්නේ.

තෙළිඟු නලු Allu Arjun මේ දිනවල සම්බන්ධ වී සිටින්නේ Pushpa චිත්‍රපට මාලාවේ දෙවැන්න වන Pushpa: The Rule හි රූපගත කිරීම් සමඟයි. Pushpa චිත්‍රපට මාලාවේ පළමුවැන්න වූ Pushpa: The Rise පසුගිය වසරේදී තිරගත වූ අතර එය ඉන්දීය කෝටි 350කට අධික ආදායමක් උපයාගත්තා. විශේෂත්වය වූයේ, Pushpa: The Rise ජනප්‍රිය වූයේ දකුණු ඉන්දියානු කලාපය තුළ පමණක් නොවීමයි.
හින්දි සිනමාව මුල් කරගත් උතුරු ඉන්දියාව තුළ පවා Pushpa: The Rise චිත්‍රපටයට හිමි වූයේ දැවැන්ත ජනප්‍රියත්වයක්. හින්දි බසට හඬ කැවූ පිටපතින් පමණක් ඉන්දීය කෝටි 100 ඉක්මවූ ආදායම් රැස් කරගන්නට Pushpa හි අධ්‍යක්ෂකවරයා වූ Sukumarට හැකිවුනා.

එහි දෙවන දිගහැරුම වන Pushpa: The Rule හි රූගත කිරීම් දැන් ඇරඹී තිබෙන අතර ඉන්දියාවේ Ramoji Film City පරිශ්‍රය සහ තායිලන්තයේ බැංකොක් නගරය ආශ්‍රිතව එහි කටයුතු සිදුවනවා. මේ මාසයේ අග සිට අල්ලු අර්ජුන් රඟන දර්ශන ආරම්භ කිරීමට නියමිතයි. Pushpa 02 හි නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධ වන්නේ Surender Reddy විසින් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයටයි.
අල්ලු අර්ජුන්ගේ සිනමාවේ ජීවිතයේ තවත් ජනප්‍රිය නිර්මාණයක් වන Race Gurram (2014) අධ්‍යක්ෂණය කළේ ද මෙම Surender Reddy විසිනුයි.

Share

409 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.