මරණ මංචකය තෙක් මම “පාංශු” විඳීවි – පණ්ඩු කුමාරසිංහ
“පාංශු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්වුනා. මේ අවස්ථාවට සහභාගී වුනු ප්‍රේක්ෂකාගාරයේ බොහොමයක් දෙනා චිත්‍රපටය අවසන්ව නිවසට ගිය සැනින් චිත්‍රපටය පිලිබඳ තමාට දැනුන දේ තමාගේ සමාජ මාධ්‍ය අවකාශයන්හි සටහන් කොට තිබුනා. පණ්ඩු කුමාරසිංහ එලෙස ආරාධනා ලැබ මේ විශේෂ දර්ශනයට සහභාගී වූවෙක්. ඔහුට දැනුන “පාංශු” ගැන Facebook අවකාශයේ මෙලෙස සටහන් කොට තිබුනා. ඉංග්‍රීසි බසින් ලියා තිබු දීර්ඝ සටහනේ සංක්ෂිප්ත සිංහල අනුවාදනය මෙසේයි.
“පාංශු විශේෂ දර්ශනය නැරඹීමට මට අහඹු අවස්ථාවක් හිමිවුණා පමණක් නොවෙයි එහි අධ්‍යක්ෂවරයා හමුවීමේ වාසනාවත් මට ලැබුනා. මම චිත්‍රපට විචාරකයෙක් හෝ චිත්‍රපටයක තාක්ෂණික කරුණු ගැන දැනුම ඇති කෙනෙක් නොවෙයි. නමුත් මේ චිත්‍රපටය නැරඹීමෙන් මට දැනුන හැඟීම ලියා තැබිය යුතුමයි කියල මම විශ්වාස කරනවා. සාමාන්‍යෙන් මම සමාජීය ජීවිතයෙන් තරමක් ඈත්ව ජීවත් වන කෙනෙක්. නමුත් මේක විශේෂ අවස්ථාවක්. මට ඕනේ වුනා මේ චිත්‍රපටය පුළුවන් තරම් ඉක්මනට බලන්න. ඒ නිසා මම ඒ අවස්ථාව ගත්තා. මම චිත්‍රපටය ගැන කලින් හිතාගෙන හිටි හැම දේම හරි. මේක ඔබත් නැරඹිය යුතුම චිත්‍රපටයක් බව පුන පුනා කියනවා.
මේ චිත්‍රපටය මට පුදුම සහගත වේදනාවක් ගෙන ආවා. ඇත්තටම මට හැඬුම් ආවා. මගේ මරණ මංචකය දක්වාත් මට ඒ හද සසල කළ හැඟීම දැනේවි. එතරම් මේ කතාව ප්‍රභලයි. 80 දශකයේ උපත ලැබූ කෙනෙක් විදිහට මේ සිදුවීම මට හරිම සමීපයි. ග්‍රාමීය පරිසරයක උපත ලැබූ මට මේ තරුණ නැගිටීම සහ ඒ ආශ්‍රිත දේවලුත්, කුල ක්‍රමයේ පීඩනය මිනිස්සු මත වැටි තිබු විදිහත් හොඳින් මතකයි. 88/89 කාලයේ සමූහ මිනී වලක් සහ රැඳවුම් මධ්‍යස්ථානයක් මට හොඳින් මතකයේ තිබෙනවා. මම අත්විඳ ඇති සත්‍ය සිදුවීම් මීටත් වඩා ප්‍රභලයි. මගේ පවුලේ සාමාජිකයින් හමුදා ආධාරකරුවන් නිසා මරා දැමුණු හැටි මට මතකයි. ගමේ තැපැල් කන්තෝරුවේ තැපැල් පෙට්ටිය උඩ තිබුණු මිනිස් ඔළුවක්, අමු මස් පිළිස්සෙන ගඳ මට තවම හොඳින් මතකයි. 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වීමේදී මෙලෙස ඝාතනය වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වුනත් ඒ කිසිවක් සිදුවුනේ නැහැ. මගේ මතය අනුව නම් ඊට හේතුවුනේ මේ කිසිදු පුද්ගලයෙක් ඇගේ පන්තිය නියෝජනය කළ බහුතරය නොවන නිසා බවයි. මට “බබානෝනා” තදින් දැනෙන හේතු කිහිපයක් තියෙනවා. සිය පුතු අහිමිව යුක්තිය සොයමින් යන බබානෝනා වැනි චරිත මට මගේ ගම ආශ්‍රිතව කොතෙකුත් හමුවී තිබෙනවා වගේම “රදා” කුලයේ බබානෝනා වැනි කාන්තාවන්ට අපේ පවුල් වල උදවිය සැලකූ ආකාරයත් මට හොඳින් දැනෙන සිදුවීම්. මේ චිත්‍රපටය මට එතරම්ම පෞද්ගලික වන්නේ මේ කරුණු නිසයි.
අපගේ මේ අතීත සිදුවීම් වලින් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවාද..? අපේ තරුණ පරම්පරාව
වෙනස් විදිහට සිතාවියයි කියන අපේක්ෂාවක් ඇති වනවා. බබානෝනා වැනි අයගේ කතා රැසක් මට දැන්
මතක් වනවා. නමුත් ඒ සියල්ල ලියනවාට වඩා හැමෝටම "පාංශු" බලන්න කියන ආරාධනය කරන්න
මම කැමතියි. සෑම කෙනෙකුටම එයින් ගත හැකි යමක් ඇති බවට මට විශ්වාසයි. මම නැවත වතාවක් එය
නැරඹීමට අපේක්ෂා කරනවා. මෙහි සංගීතය මෙන්ම කැමරාකාරණයත් විශිෂ්ටයි. බොහෝ කලකට පසු
මා නැරඹු විශිෂ්ට සිංහල චිත්‍රපටයක්. අවසාන වශයෙන් මම නැවතත් ඔබට කියන්නේ නොවරදාව "පාංශු"
නරඹන ලෙසයි. ඒ රූප ඔබ සසල කරනු ඇති.
Written by Nisanka Weheraduwa
