සුළඟට කලින් හමන අදහස් රැගෙන යන්න
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය මාසික සිනමා විද්වත් කතිකාවක් සංවිධාන කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ පටන්. නොකඩවා සෑම මසකම සංවිධානය කෙරුනු මේ වැඩසටහනේදී චිත්‍රපට තිරගත කිරීමක් එක්කම විශේෂ ආරාධිතයින් කිහිප දෙනෙක් සම්බන්ධ කරගත් සංවාදයක්ද පැවැත්වීම සිදුවුනා. මෙවර පැවැත්වෙන්නේ එහි 12 වැනි පියවර. ඒ කියන්නේ මේ වැඩසටහන දැන් අවුරුද්දක් සම්පුර්ණ කරලා. නොකඩවා අවුරුද්දක් පුරා සිනමා සංවාද වැඩසටහනක් සංවිධානය කිරීම සහ පවත්වාගෙන යාම අභියෝගාත්මක කටයුත්තක් වුනත් මේ වැඩේ සංවිධානය කරන තිලිණ අලහකෝන් ඇතුළු කණ්ඩායම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා.
2019 සැප්තැම්බර් මාසය ඔවුන්ට විශේෂිතයි. සැප්තැම්බර් 28 වැනි සෙනසුරාදා දවසේ ඔවුන් තිරගත කරන්න සැලසුම කොට තිබෙන්නේ නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටය. එදින චිත්‍රපටය තිරගත කිරීමත් ඉන් පස්සේ ඒ ගැන සංවාදයක් පැවැත්වීමත් සිදුවනවා. අජිත් පැරකුම් ජයසිංහ, අජිත් ගලප්පත්ති සහ ෂෝන් මැක්සිමස් දිසානායක මෙවර සංවාද මණ්ඩපයට සම්පත් දායකයින් ලෙසින් එකතු වනවා. සුපුරුදු පරිදි සංවාදය මෙහෙයවීම නුවන් ජූඩ් ලියනගේ විසින් සිදුකෙරෙනවා. සිනමාවට ආදරය කරන ඔබ වෙනුවෙන්, ඔබේ රසවින්දනය වෙනුවෙන් සංවිධාන කෙරෙන CSR මාසික සිනමා කතිකාවේ වර්ෂ පූර්ණ වැඩසටහන සමග එකතු වන්නට ඔබටත් ආරාධනාවක් තිබෙනවා. එන්න, සුළඟට කලින් හමන අදහස් රැගෙන යන්න.

Written by Nisanka Weheraduwa
