2016 එන සිංහල චිත්‍රපට මෙන්න

Avatar Cinema.lk A | January 6, 2016 230 Views 0 Likes 0 Ratings

230 Views 0 Ratings Rate it

එළඹෙන 2016 නව වසරේදී තිරගතවීමට නියමිත සිනමා සිතුවම් මොනවාදැයි දැනගැනීමට සරසවිය පාඨක ඔබ උනන්දු වන බව අපි දනිමු. එහෙයින් අපි ඒ පිළිබඳ ඔබව මෙසේ දැනුවත් කිරීමට අදහස් කළෙමු.

කුසපබා සිනමාපටය අධ්‍යක්ෂණයෙන් පසු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තවත් එවැනිම විචිත්‍රවත් සිනමා සිතුවමක් නිර්මාණය කළේය. එය කුසපබා මෙන්ම ඓතිහාසික පුරා වෘත්තයක් ඇසුරෙන් නිර්මාණය වූවකි. චිත්‍රපටය පත්තිනි වේ. එහි නම ඇසූ පමණින් මතකයට නැගෙනුයේ පත්තිනි දේවියගේ පුවතයි. මහාචාර්යවරයා සිනමාවට නඟා ඇත්තේ එකී කතාව වේ. සුරූපී නිළි පූජා උමාශංකර් පත්තිනි දේවියගේ චරිතයට පණ පොවයි. ඇය 2015 වසරේදී රඟපෑ සිනමාපට ද්විත්වය අතරින් පත්තිනි විශේෂ වනුයේ එහි ඇය රඟපෑවේ ඓතිහාසික චරිතයක් වන බැවිනි. මෙහි කෝවලන් ලෙස උද්දික ප්‍රේමරත්න රඟනු ලබයි. පත්තිනි රූ ගැන් වූයේ රන්මිහිතැන්නේය. මහාචාර්යතුමන් රන්මිහිතැන්නේ නිර්මාණය කළ පළමු චිත්‍රපටය වන්නේ ද පත්තිනි වේ. මෙය සුමති චිත්‍රපට වෙනුවෙන් මිලිනා සුමතිපාලගේ නිෂ්පාදනයකි.

මෝටර් බයිසිකල් නම් වූ සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් ශමීර රංගන නාඔටුන්න නමැති තරුණ අධ්‍යක්ෂවරයකු සිනමාවට එක් විය. එය මෙම වසරේදී මෙරට පැවැත් වූ සිනමා උලෙළ දෙකකම හොඳම සිනමාපටය වී සම්මානනීය වූයේය. ඒ සාක් සිනමා උලෙළේ සහ කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේදීය. මෝටර් බයිසිකල් ද 2016 තිරගතවන සිනමා පටයන් අතරට එකතු වී තිබේ. දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත මැවූ මෝටර් බයිසිකල් සුරංග ජයසූරියගේ නිෂ්පාදනයකි.

විශිෂ්ට සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අපූරු සිනමා සිතුවමක් 2016 වසරේදී දැක බලා ගත හැකිය. එය සක්කාරං වේ. චම්මින්ද වෙලගෙදරගේ සක්කාරං නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ එය එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.

බිමල් ජයකොඩි, ප්‍රසාදිනී අතපත්තු, ගයාන් වික්‍රමතිලක, පුබුදු චතුරංග, සරත් කොතලාවල, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, නීටා ප්‍රනාන්දු ඇතුළු පිරිස සක්කාරං රංගනයෙන් හැඩ කරති.

වසර පහළොවක නිහැඬියාවකින් පසු ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ ආදරණිය කතා පුවතක් රැගත් ආදරණීය කතාවක් සිනමාපටය තිරය සරසන්නේ එළඹෙන වසරේදීය. ප්‍රියන්ත කොළඹගේ විසින් තිර රචනා කළ ආදරණිය කතාවක් ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ ගේ නිෂ්පාදනයකි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිත මවන ආදරණීය කතාවක් සංගීතමය චිත්‍රපටයක් ලෙස ද හැඳින්විය හැකිය.

යොවුන් අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය උලත් එකයි පිලත් එකයි තිරගතවීමට නියමිත ද ලබන වසරේදීය. දමිල සිනමා ආකෘතියට නිර්මාණය කොට ඇති එය දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් දිනිත් චමින්ද රණසිංහ සහ කේ. ජේ. ඒ. නිශාන්තගේ නිෂ්පාදනයකි. රොෂාන් රණවන, දර්ශන් ධර්මරාජ්, මිහිර සිරිතිලක, ඩිල්ශානි පෙරේරා, කමල් දේශප්‍රිය, රජිත හිරාන් චාමිකර, රුක්ෂානා, බියංකා ෆොන්සේකා, රමණී සිරිවර්ධන ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.

සරල වින්දනාත්මක සිනමා කෘති ඔබ වෙත ගෙන එන අධ්‍යක්ෂවරයෙකි එරංග සේනාරත්න. ඔහගේ සිනමාපටයක් ද 2016 වසරේ තිරගතවීමට නියමිතය. ඒ ඇතුවත් බෑ නැතුවත් බෑ වේ. සුරේෂ් ගමගේ, ශෙහාරා ජයවීර, මධු නිත්‍යානි ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙය එරංගගේ හත් වැනි සිනමා අධ්‍යක්ෂණයයි. මෙම වසරේදී ද එරංගගේ සිනමාපටයක් තිරගත විය. ඒ නෝනෙ මගෙ සුදු නෝනෙ වේ.

පවුලේ සිනමාට නිර්මාණය කිරීමේ ප්‍රමුඛයෙක් ලෙස උදයකාන්ත වර්ණසූරියව හැඳින්විය හැකිය. ඔහු පසුගිය කාලයේ නිර්මාණය කළේ විනෝදාත්මක සිනමාපට වේ. නමුත් සුපුරුදු ආකෘතියෙන් බැහැරව උදයකාන්ත අධ්‍යක්ෂණය කළ බන්ධනය තිරගත වන්නේ ද එළඹෙන වසරේදීය. එය ඩ්ධපපධප ගණයට වැටෙන සිනමා සිතුවමකි. එවන් වූ සිනමාපටයක් උදයකාන්ත නිර්මාණය කරනුයේ ද ප්‍රථම වතාවට වේ. සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ, දුලානි අනුරාධා, සුවිනීතා වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, ලියෝනි කොතලාවල, රවීන්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සහේලි සතරසිංහ, කුමාර වඳුරැස්ස මෙහි රංගන දායකත්වය සපයයි. බන්ධනය උදයකාන්තගේ නිෂ්පාදනයකි.

මෙම වසරේදී චිත්‍රපට පෝලිමේ සිටියද තිරගත නොවූ සුගත් සමරකෝන්ගේ අපේ කාලයේ පටාචාරා 2016 වසරේදී තිරගතවන බව දැනගන්නට ලැබේ. විශ්ව කුමාර වතියගේ නිෂ්පාදනය කළ මෙය සුගත්ගේ සිව්වැනි සිනමාපටයයි. දුලානි අනුරාධා අපේ කාලයේ පටාචාරාවන් හි පටාචාරාගේ චරිතය රංගනයේ යෙදෙයි. සාරංග දිසාසේකර පටාචාරාවන්ගේ සැමියා ලෙස පණ පොවනු ලබයි.

සුළං කිරිල්ලී සිනමාපටයෙන් පසු ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද අධ්‍යක්ෂණය කළ සින්ඩ්‍රෙල්ලා සිනමාපටය 2016 තිරගතවීමට නියමිතය. අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි සුපෙම්වතුන් වන මෙය වෙනස්ම ආදර කතාවක් ඇතුළත් සිනමාපටයක් වේ. ඔවුන් දෙපොළ සමඟ බන්දුල විතානගේ, පුබුදු චතුරංග, ජයනි සේනානායක, ඉන්ද්‍රචාප ලියනගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, කුමා අත්තනායක, සමන් හේමරත්න, ක්‍රිස් හැරිස්, රිචඩ් මුන්ඩි, ඈන් මුන්ඩි, ලුඩ්මලා කිරිල්ලෝවා, :කීත් ඇන්ඩෲ ඇතුළු පිරිස සින්ඩ්‍රෙල්ලා රංගනයෙන් හැඩ කරයි.

අති දැවැන්ත පිරිවැයක් දරමින් නිර්මාණය වූ ආලෝකෝ උදපාදි සිනමාපටය 2016 තිරගත වන චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චත්‍ර වීරමන්ගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ ද මෙය වේ. චත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන්ගේ පුත්‍රයාය. පරිගණක සජීවීකරණයෙන් විචිත්‍රවත් වූ ආලෝකෝ උදපාදි කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේනගේ නිෂ්පාදනයකි. බුද්ධදාස විතානාච්චි, උද්දික ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා, දර්ශන් ධර්මරාජ් ඇතුළු නළු නිළියන් අතිශය විශාල ප්‍රමාණයක් ආලෝකෝ උදපාදි රංගනයෙන් හැඩ කරති.

motor bicycle

aloko udapadi (3)

Adaraneeya Kathawak

 

Adaraneeya Kathawak

sarasaviya

 

Share

230 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.