2021 වසරේ වැඩ අල්ලන දේශීය සිනමාව.

Avatar Nisanka Weheraduwa | March 22, 2021 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

සටහන : කලිනු වීරක්කොඩි.

Covid-19 වසංගත තත්වය නිසා තාවකාලිකව පසුබැසි සිංහල සිනමාව, 2021 වසර ආරම්භයේ සිට නැවතත් සුපුරුදු තත්වයට පිවිස තිබේ. පසුගිය දින කිහිපයේදී සිනමාපට කිහිපයකම රූපගත කිරීම් සහ මුහුරත් උළෙලවල් පැවැත්වූ අතර මේ වනවිට නවතම සිංහල චිත්‍රපට රාශියක් තිරගත කිරීමටද කටයුතු සූදානමින් පවතී.

මේ දිනවලදී අනුරාධපුර, යාපනය ආදී ප්‍රදේශ මුල් කරගනිමින් චිත්‍රපට නිෂ්පාදක උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණයක රූපගත කිරීම් සිදුවනවා. ෂර්ලි සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි විසිනි.

2013දී නිකිණි වැස්ස චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනද පසුගියදා තම මාරියා සිනමාපටයේ රූපගත කිරීම් ආරම්භ කළා. සාපේක්ෂව යම් ඉහළ පිරිවැයකින් නිපදවෙන මෙහි ධීවරයන් පිරිසක් මුල් වූ කතා තේමාවක් දැකගත හැකි වනු ඇති. හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ මහේන්ද්‍ර පෙරේරා වැනි දැවැන්ත රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දාකය වන මාරියා සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය විසින් සිදු කරයි.

ජෙගනාතන් චන්ද්‍රහසන්ගේ කුළුදුල් චිත්‍රපටය වන Case No – 447 හි මුහුරත් උළෙල සහ ටීසර්පටය එළිදැක්වීම ද පසුගියදා සිදු කෙරිණි. සටන් ජවනිකා ඇතුළත් ක්‍රියාදාම සිනමාපටයක් වන මෙම නිර්මාණයට නිෂ්පාදනයෙන් දායක වන්නේ NK films ආයතනයයි. සංගීත නිර්මාණය හනී නිගේරා ය. කැලුම් ආර්යන් සහ චුලක්ෂි රණතුංගගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන මෙය සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම තිරගත වීමට නියමිතයි. ඔවුන්ට අමතරව ක්ලීටස් මෙන්ඩිස්, ලාල් වීරසිංහ, දර්ශන් ධර්මරාජ්, කපිල් ගල්පිහිල්ල සහ ගයාත්‍රී ඩයස් ද සෙසු චරිත සඳහා දායක වේ.

දැවෙන විහඟුන් සිනමාපටයට පසුව සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය “ආරම්මන” රූපගත කිරීම් ද ඇරඹී තිබේ. සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, කුමුදු නිශාන්ත ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩවන ආරම්මන සිනමාපටය සංජීව පුෂ්පකුමාරගේ පෙර නිර්මාණ සේම වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

කලකට පසු සිංහල සිනමාපට කිහිපයක්ද නැවතත් තිරගත වන වටපිටාවක ප්‍රේක්ෂකයාද සිනමාශාලා වෙත නැවතත් ඇදී එන්නට පටන් ගෙන තිබීම යහපත් ලක්ෂණයකි. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංස විලක් චිත්‍රපටයේ සංරක්ෂිත නව පිටපත මේ වනවිටත් තිරගත වීම අරඹා තිබේ. එසේම, පසුගිය 18වනදා සිට හේමාල් රණසිංහගේ නවතම නිර්මාණය වන “කොළඹ”  ද දිවයින පුරා ප්‍රදර්ශනය වීම ඇරඹිණි. අසම රන්දිල් ලියනගේ විසින් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන මෙය අනූෂ එදිරිමුණිගේ නිෂ්පාදනයකි. මෙම නිර්මාණ ද්විත්වයටම මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

Share

100 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.