සොම්බි ප්‍රහාරයකට මැදි වුණු අපරාධ පරීක්ෂකයින් – The Tunnel

Avatar Nisanka Weheraduwa | May 29, 2021 316 Views 6 Likes 4.67 On 12 Ratings

316 Views 4.67 On 12 Ratings Rate it

පසුගිය කාලයේදී Social media ඇතුලෙ බොහෝ දෙනා කතා කරපු කෙටි චිත්‍රපටයක් තිබුණා. කිසිම ආයතනික හැදෑරීමක් නොකර ලංකාවේ තරුණයෝ කීපදෙනෙක් එකතු වෙලා කරපු පරිගණක සජීවීකරණ කෙටි චිත්‍රපටයක් ගැන සිනමා රසිකයින් හොයන්න පටන් ගත්තා. The Tunnel, පරගණක සජීවීකරණ ශිල්පය ගැන හොයාගෙන යන ඔවුන්ගේ පළවෙනිම නිර්මාණය තමයි මේ.

නැවුම් දෙයක් කරන්න උත්සාහ දරමින් සිටින පිරිසක් බවට ඒත්තු ගැන්වුණු නිසාම cinema.lk  අපි අද කතාබහට එකතු කරගත්තේ, මෙහි අධ්‍යක්ෂක ලක්ෂාන් පෙරේරාව. තරුණයන් විදිහටත්, අලුත් මානයන් සොයා යන්නන් විදිහටත් ඔවුන්ගේ සිනමා උත්සාහය කොයි ආකාරයද කියන කාරණය අපේ කතාබහට පාදක වුනා.

Q: The Tunnel කෙටි චිත්‍රපටය ගැන කෙටියෙන්ම හඳුන්වන්න පුලුවන් කොහොමද?

3D Animation සහ  Horror,  Action Adventure ගණයට අයත්, සම්පූර්ණ පරිඝණක මෘදුකාංග තාක්ෂණය භාවිතා කර, ලංකාවේ නිර්මාණය කරපු  Animation කෙටි චිත්‍රපටයක් විදිහට The Tunnel හඳුන්වන්න පුලුවන්.

Q: The Tunnel නිර්මාණය වෙන්නෙ, ඒ සඳහා පසුබිම සකස් වෙන්නේ කොහොමද?

අපිට මුලින්ම අදහස එන්නෙ කොරෝනා වසංගතය නිසා පසුගිය කාලයේ මුලු රටේම ඇදිරිනීතිය පනවපු කාලසීමාවේ. මුල්ම කාලයේ ලෝකයේ පුංචි කතාබහක් ගියානේ මේ වෛරසය පරීක්ෂණාගාරයක් තුල නිපදවලා මිනිසුන් අතරට දැම්මා කියලා. ඒත් එක්කම ඇදිරිනීති කාලයේ ගෙදරටම වෙලා ඉන්න නිසා මට එක එක අදහස් ඔලුවට එනවා අලුත්ම නිර්මාණයක් කරන්න ඕන කියලා. නමුත් රටේ පවතින තත්වය එක්ක ඇදිරිනීතිය දීර්ඝ කෙරෙන නිසා, මටත් මගේ කණ්ඩායමටත් එකතු වෙලා වැඩ කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ අතරතුරේ තමයි වෛරසයක් සම්බන්ධ කෙටි චිත්‍රපටයක තිරපිටපතක් ගැන අදහස ආවේ. මගේ කණ්ඩායම සමඟ, ඒ කතාව කෙටි චිත්‍රපටයක් ලෙස කරන්න උත්සහයක් කළත් අවසානයේදී ඇනිමේෂන් නිර්මාණයක් ගැන අදහසක් එනවා. අපේ කණ්ඩායමේ ලක්ෂාන් තමයි මුලින්ම යෝජනාව ගෙනාවේ. එතනින් තමයි මේ සජීවීකරණ නිර්මාණයට මුල පිරෙන්නෙ.

Q: සාම්ප්‍රදායික නිර්මාණ භාවිතයකින් එහාට ගිහින් පරිගණක සජීවීකරණ නිර්මාණයක් ගොඩ නඟන්න හේතු වුණේ ඇයි?

මෙහෙමයි. කලින් සඳහන් කළා වගේම වසංගත තත්වය මැද්දේ කෙටි චිත්‍රපටයක් රූපගත කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැනේ. ඊට විසඳුමක් විදිහට තමයි Animation Short Movie එකක් විදිහට The Tunnel නිර්මාණය කරන්න අපි සැලසුම් කරන්නේ. හැබැයි ඉන් පෙර සිටම සාම්ප්‍රදායික නිර්මාණ වෙනුවට, අපි කල ඇතැම් නිර්මාණ තුළත් පරිඝණක සජීවීකරණ ‍රූප රාමු කොටස් තිබුනා. ඒ වගේම The Tunnel නිර්මාණය ගොඩ නගද්දී පවා Animation කියන නිර්මාණකරණයට ගොඩක් කැමැත්තක් ඇති උනා අපිට.

Q: මේ වෙනුවෙන් ඔබ සමඟ එකතු වුණු සහෝදර ශිල්පීන් ගැනත් කතා කළොත්?

මේ නිර්මාණය ගොඩ නැගෙන්නෙ සහෝදර ශිල්පීන් හතර දෙනෙකුගේ උත්සාහයෙන්. ලුක්ශාන් කවිදු, අභී සේනාධීර, මනු කරුණාරත්න සහ ලක්ෂාන් පෙරේරා වන මාත් ඇතුළුව අපි සිව් දෙනා තමයි The Tunnel නිර්මාණය කරන්න එකතු වුණේ. ඔබ කලින් ඇසූ ප්‍රශ්න කිහිපයකටම මම “අපි අපි” කියල සදහන් කලේ මෙය මගේ තනි උත්සාහයක් නොවන නිසායි. අපි හතර දෙනාගේම කැපවීම නිසයි අවසානයේදී The Tunnel සාර්ථක වුණේ. ඊට අමතරව මෙහි හඬ කැවීම් කටයුතු වෙනුවෙන් අපිට දායකත්වය ලබා දුන් සහෝදරියන් දෙදෙනෙකුත් සිටිනවා. එයාලවත් මම අනිවාර්යයෙන් මතක් කරනවා, ඒ ජනනි කේතකී සහ සයුරි පීරිස් ‍කියන දෙදෙනා.

Q: The Tunnel කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමත් එතරම්ම පහසු කටයුත්තක් නොවෙන්න ඇති. ඒ අභියෝගවලට මුහුණ දුන්නෙ කොහොමද?

ඔව්, Animation ෆිල්ම් කියන එකට අපි කොයිතරම් කැමත්තක් දැක්වූවත්, නිර්මාණය කරද්දි තමයි එහි බැරෑරුම්කම තේරෙන්නේ. අපි ගාව Animation ගැන ලොකු දැනුමක් තිබුනේ නැහැ. අපි කවුරුවත් Academically  Animation ගැන ඉගෙනගෙන තිබුනෙත් නෑ. නමුත් මේ ගැන අදහස ආවට පස්සේ Animation නිර්මාණය ගැන අපි අන්තර්ජාලයෙන් වැඩිදුරටත් හොයන්න පටන් ගත්තා. පළවෙනි පියවරේ ඉඳන්ම අපි මේ ගැන ආයෙමත් ඉගෙන ගත්තා සහ දැනටමත් ඉගෙන ගනිමින් ඉන්නවා. ජොබ් එකට ගියාම උදේ 8 සිට හවස 5-6 වෙනකම් පරිගණකය ඉස්සරහට වෙලා වැඩ කරනවට වඩා වැඩි කාල වේලාවක් අපි Animation එක නිර්මාණය කරන්න ගෙදර පරිගණකය ඉස්සරහ වාඩි වෙලා හිටියා. ඇදිරිනීති කාලය නිසා උදේ දවල් රෑ ගෙවෙනවා දැනුනෙත් නැහැ. Animation එක හදන්න ඕන කියන උත්සාහය, ආසාව තුළමයි සිටියෙ.

නිර්මාණය සිදු කරේ අපි හතර දෙනා වැඩ බෙදා ගෙන ගෙවල් හතරකට වෙලා. Location නිර්මාණය මා විසිනුත්, චරිත නිර්මාණය සහ Animate කොටස් ලක්ෂාන් විසිනුත් කරද්දි අභි විසින් Location වැඩිදියුණු කිරීම් කළා. නිර්මාණය මිනිස්සු අතරට යන විදිහ සැලසුම් කළේ මනූ කරුණාරත්න. මෙහිදි එක් එක්කෙනා නිර්මාණය කරපු කොටස් එක තැනකට අරගෙන අවසානයේදී එක් පරිගණකයකින් Final output  එක හැදුවා. මෙහෙම කරන්න උනේ ඇදිරිනීතිය නිසා අපිට එකතු වෙන්න බැරි නිසයි. ඒකත් ලොකු අභියෝගයක් උනා අපිට.

Q. අධ්‍යක්ෂණ කටයුතු කරන එකත් මට ලොකු අභියෝගයක් උනා.

ඒක මම මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්නම්, එක තැනක තියනවා ගැහැණු කෙනා සහ පිරිමි කෙනා කකුලෙන් පහරක් එල්ල කරන දර්ශනයක් නිර්මාණය කරන්න. ඒක නිර්මාණය කරලා අවසන් උනාම එහි කැමරා කෝණයන් වගේ දේවල් මට ළඟ ඉදලා බලන්න බැරි නිසා Whatsapp හරහා කොටසින් කොටස බලමින් ” නෑ ඔතන තව කකුලෙන් ගහන එක කැමරා ඈන්ගල් එක පැත්තෙන් පෙන්වන්න, එහෙම කරලා වීඩියෝ ක්ලිප් එකක් දාන්න ” කියල දවසම කතාබහ කරමින් තමයි නිර්මාණය අවසන් කළේ. ඊට අමතරව Animation එක නිර්මාණයේදී අපේ පරිඝණක වල කාර්යක්ෂමතාව, පරිඝණකයේ ධාරිතා මට්ටම ගොඩක් බලපෑවා. Blender / Adobe Premiere Pro / Adobe Fuse / Adobe After effects / Adobe Photoshop සහ Cinema 4D ආදී මෘදුකාංග යොදාගෙන අවසානයේදී අපි අපේ පළමු සජීවීකරණ කෙටි චිත්‍රපටය සාර්ථකව අවසන් කළා.

මේ විදියට The Tunnel Animation එක නිර්මාණය කරන්න අපිට මාස 4ක කාලයක් ‍යනවා. ඉන් පසු ඇදිරිනීතිය ඉවත් වෙනවාත් සමගයි අපි එකතු වී එහි හඩකැවීම් කටයුතු අවසන් කලේ. හැබැයි මේ සෑම අභියෝගයක්ම හරිම සුන්දර පාඩමක් කියා දුන් අභියෝග උනා කිව්වොත් හරි.

Q: නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්? ඔබේ පළමු උත්සාහය සාර්ථකද?

ඔව්, අනිවාර්යයෙන්ම. නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳ මට්ටමක තියනවා. ලංකාවේ දක්ෂතාවයක් තියන නව පරම්පරවේ නව නිර්මාණ අගය කරන්න වගේම දිරිමත් කරන්න පිරිසක් අපේ Animation නිර්මාණය පිටුපසත් සිටියා, ඒ නිර්මාණය නිසා අපිට සිනමාවට සම්බන්ධ විවිධ පුද්ගලයන් හඳුනාගන්නත්  ලැබුනා. මෙම The Tunnel animation කෙටි චිත්‍රපටය නිසා ලඟම රට ඉන්දියාවෙත්, ජපානය සහ කැනඩාවෙත් animation නිර්මාණකරනයේ යෙදෙන අපි වගේම තරුණයෝ දැන අඳුරගන්න ලැබුණා. අපේ රටෙත් මේ නිර්මාණය නැරඹූ බොහෝ දෙනාගෙන් සතුටු වෙන්න පුලුවන් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒක නිසා මම කියනවා අපේ The Tunnel animation කෙටි චිත්‍රපටය, පළමු උත්සහය විදිහට සාර්ථකයි කියලා.

Q: ඔබේ නිර්මාණ බොහෝමයක, පරිගණක සජීවිකරණ තාක්ෂණය යොදාගන්න උත්සාහ දරන්නේ ඇයි?

මම පරිඝණක සජීවීකරණ තාක්ෂණයට හුඟක් ආස කරනවා. මගේ පරිකල්පනය හැකියාවට, එය උදව්වක් වෙනවා කියලායි මම හිතන්නේ. ඒ වගේම සිනමාව හොයාගෙන යන්න තියෙන ආසාව නිසාත් රාමුවක කොටු නොවී අත්හදාබැලීම් සිදු කරන්න තියෙන දැඩි උනන්දුව නිසාත් මේ පරිඝණක සජීවීකරණ තාක්ෂණය බොහෝ සේ යොදා ගනු ලබනවා මගෙ නිර්මාණ වලට.

Q: ලෝක සිනමාවේ ඔබේ ප්‍රියතම පරිගණක සජීවීකරණ නිර්මාණය මොකක්ද?

Chris Sanders සහ Dean Deblois අධ්‍යක්ෂණය කළ 2010 අවුරුද්දෙ නිකුත් වූ How to Train Your Dragon සිනමා නිර්මාණය

Q: පරිගණක සජීවිකරණය පිළිවඳ සොයා යන තරුණයෙක් විදිහට මේ විෂයපථය ගැන විශේෂයෙන් කියන්න යමක් තියෙනවද?

මා දකින්නෙ මේ විෂය හරිම සුන්දර දෙයක් විදිහට. නිර්මාණකරුවෙකුට මේ විෂයේදී නව අත්හදාබැලීම් සිදුකරන්න පුලුවන්. මෙහි තියන නැවුම් බව තමයි හැමදාම මේ විෂය වඩ වඩාත් පුළුල් කලේ.. යාවත්කාලීන කලේ. ලෝක සිනමාවේ වර්තමානය වන විට මේ සජීවීකරණ විෂය දියුණු මට්ටමකට ඇවිත් තියනවා. අද බිහිවන සජීවීකරණ නිර්මාණයන්ගෙ චරිත සැබෑ මිනිසෙකුගෙ රුවකට සමානයි. ඉතින් සිනමා නිර්මාණකරණයේදී  අපි වගෙ තරුණයන්ට මේ විෂය තුළ ඉගෙන ගන්න දේ අනන්තයි. අන්න ඒ දේට තමා මම වැඩියෙන් කැමති. මේ විෂය තුල ගවේෂණය කිරීම කවදාකවත් නවත්වන්න බැහැ. අපි කණ්ඩායමක් ලෙස මේ විෂයේ ඉගෙනගත යුතූ දේ තව බොහෝමක් තියනවා. ඉතින් සිනමා නිර්මාණකරණය පැත්තෙන් නොනවතින නව්‍යකරණය තමයි මේ විෂයේ තියන විශේෂත්වය විදිහට මම දකින්නේ.

Q: ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරනවා නම්?

ඉදිරියේදී අපේ යූටුයුබ් නාලිකාව තුලින් කෙටි චිත්‍රපට නිර්මාණයන් කිහිපයක්ම ගෙන එන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම අද කතා කළ The Tunnel animation කෙටි චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම, අපි, කණ්ඩායම එකතුවෙලා තව අලුත්ම Animation film එකකුත් නිර්මාණය සදහා මේ දිනවල වැඩකටයුතු කරනවා.

පහත සබැඳිය ඔස්සේ ඔබටත් ඔවුන්ගේ කෙටි චිත්‍රපටය නරඹන්නට පුලුවන්.

සංවාදය සහ සටහන – කවිනු වීරක්කොඩි

Share

316 Views 4.67 On 12 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.