දර්ශන් සහ ලොස්ලියා සමගින් Google Kuttappa

Avatar Nisanka Weheraduwa | September 2, 2021 26 Views 0 Likes 0 Ratings

26 Views 0 Ratings Rate it

Android Kunjappan Version 5.25 කියන්නේ කේරළ ප්‍රාන්ත සම්මානයෙන් පවා පිදුම් ලැබූ මලයාලම් සිනමාපටයක්. බොහෝමයක් මලයාලම් චිත්‍රපට වගේම සරල කතා තේමාවකින් නිර්මාණය වුණු මේ චිත්‍රපටයට ආදායම් වාර්තා අතින් පවා හොඳ සාර්ථකත්වයක් ලැබුනා. මේ සියලුම කාරණා අතරේ Android Kunjappan මලයාලම් සිනමාපටය දෙමළ භාෂාවට ප්‍රතිනිර්මාණය වන බවටත් ආරංචි පැතිරුනා.  නමුත්, ප්‍රධාන චරිත ද්විත්වයට ලාංකිකයින් දෙදෙනෙක් තෝරාගත් බව සැල වීමත් එක්කම, අපේ රසිකයින් බොහොම උනන්දුවෙන් මේ ගැන හොයන්න පටන් ගත්තා.

මේ වනවිට චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පෝස්ටර් කිහිපයක් සහ Teaser trailer එකත්, එළි දක්වලා තිබෙනවා. Android Kunjappan Version 5.25 මලයාලම් සිනමාපටයේ නිළ දමිළ ප්‍රතිනිර්මාණය විදිහට නිපදවෙන මේ චිත්‍රපටිය නම් කරලා තිබෙන්නේ Google Kuttappa කියලා. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය රඟ දක්වන්නට තෝරා ගෙන තිබෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වෙන්නේ ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්‍යාගරාජායි.

යාපනයේ උපත ලැබූ දර්ශන් ත්‍යාගරාජා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විදිහට සේවය කළ අයෙක්. නමුත් රංගනයට ඇති ආසාව නිසාම ඒ වෘත්තියට සමු දුන් දර්ශන්, පසුව දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම රංගන වරම් හිමි කරගත්තා. 2016 වසරේදී Mr. Sri Lanka for Mr. International තරඟාවලිය ජයග්‍රහණය කරන ඔහු 2019දී ජනප්‍රිය දකුණු ඉන්දීය රියැලිටි වැඩසටහනක් වන Big Boss Season 03 සඳහා එක්වූවා. ඔහුගේ ජනප්‍රියත්වය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ රියැලිටි තරඟාවලියට එක් වීමත් සමඟයි.

Shakthi TV නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක ලෙස සේවය කළ ලොස්ලියා මරියනේසන් කිලිනොච්චි ප්‍රදේශයේ උපත ලැබූ අයෙක්. මුලදී මෝස්තර නිරූපිකාවක ලෙසින් ක්ෂේත්‍රයට පැමිණ ඇයට පසුව දමිළ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. දර්ශන් ත්‍යාගරාජා වගේම ඇයත් ජනප්‍රිය වන්නේ කමලාසන් විසින් මෙහෙය වූ Big Boss Season 03 වැඩසටහනට එක්වීමත් සමඟයි. සමාජ මාධ්‍ය ජාලා තුළ පවා අනෙත් තරඟකරුවන්ට වඩා වැඩි ආකර්ෂණයක් දිනාගන්නට ලොස්ලියා සමත් වුණා.

ලොස්ලියා සහ දර්ශන් ප්‍රධාන රංගනයෙන් දායක වන මෙම Google Kuttappa දමිළ සිනමාපටයේ සෙසු චරිත සඳහා එක් වන්නේත් තමිල්නාඩුවේ main stream රංගන ශිල්පීන් පිරිසක් වීමත් විශේෂත්වයක්. වර්තමාන දමිළ සිනමාවේ හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට ශක්තිමත් ස්ථාවරත්වයක් ගොඩ නඟාගෙන සිටින Yogi Babu වගේම දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන K.S. Ravikumarත් Google Kuttappa චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්.

විශේෂත්වය තමයි, මෙහි remake rights මිලදීගෙන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් K.S. Ravikumarමයි. සිනමාපට කිහිපයකම ඔහු යටතේ සහය අධ්‍යක්ෂණය කළ Sabari සහ Saravanan  මෙහි අධ්‍යක්ෂකවරයා වනවා. රොබෝවරයාගේ චරිතය නිරූපණය කරන්න තෝරගෙන තියෙන්නේ Master (2021) දමිළ සිනමාපටය හරහා අපට දැකගන්නට හැකි වූ Poovaiyaarවයි. මලයාලම් සිනමාපටයක ප්‍රතිනිර්මාණයක් වුණත්, දෙමළ ප්‍රේක්ෂකාගාරයට ගැළපෙන අන්දටම මෙහි බොහෝ දර්ශන වෙනස් කර තිබෙන බවකුත් පැවසෙනවා.

පසුගිය අගෝස්තු 03වනදා ජනප්‍රිය දමිළ නළු Surya Sivakumar විසින් මෙහි පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරය අන්තර්ජාලයට මුදා හරිද්දි අගෝස්තු මාසයේම 27වනදා තවත් ජනප්‍රිය දමිළ රංගන ශිල්පියෙකු වන Sivakarthikeyan අතින් මෙහි Teaser එක එළි දැක්වුණා. මේ වෙනකොට, තමිල්නාඩුවේ සහ කේරළයේ වගේම ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරෙත් Google Kuttappa ගැන හොයලා බලන්න විශාල උනන්දුවක් ඇති වී තිබෙන බව නොරහසක්.

Share

26 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.